Voice of දියවන්නා UNP: රනිල්ගෙන් රංජිත් මද්දුම බණ්ඩාර ගැන චරිත සහතිකයක්

සටහන : ගජබා නාගහවත්ත

බ්‍රහස්පතින්දා එ.ජා.ප නායකයා වේලාසනින්ම පාර්ලිමේන්තු ගියේ ඊට කලින් දා අගමැති මහින්ද පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අදාළව එ.ජා.ප යේ පිළිතුර සුදානම් කිරීමටය. ඒ අතර පැමිණ සිටි එ.ජා.ප ප්‍රබලයන් සමග ද ඔහු විටින් විට කතා බහ කළේය.

“එ.ජා.ප ප්‍රශ්නය අතක් පයක් කඩා නොගෙන විසදා ගැනීම වටිනවා. දැන් නායකතුමායි විපක්ෂ නායකතුමායි එකතු වෙලා ජනතාවට තිත්ත වෙච්ච මේ ආණ්ඩුවට මහා මැතිවරණයේදි පාඩමක් ඉගැන්වීමට සැලසුම් හදන්න ඕනේ. දෙපැත්තෙන්ම කකුලෙන් ඇදිලි නොකිරීම වැදගත් වෙනවා.” ජේ.සි අලවතුවල ප්‍රකාශ කළේය.

“ඔව් නායකත්ව ප්‍රශ්නය ඉවරයි. දැන් කව්රුත් එකතුවෙලා මහ ඡන්දයට බහින්න ඕනේ.” නායකයා කීවේ සැහැල්ලුවෙනි.

“මෛත්‍රිපාල සිරිසේන නිදහස් උත්සවයට ආවේ නැත්තේ එයාට පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානයේ සම සභාපතිකම නොදීම හා ශ්‍රීලනිපයට පළ නොකියා පළා බෙදීම නිසා කියලායි ආරංචි. ඒත් ඔබතුමා නොගියේ ඇයි.” කේ.කේ පියදාස ඇසුවේ එවැන්නකි.

“මම අවුරුදු විසි ගණනක් නිදහස් උත්සවයට අගමැති, විපක්ෂ නායක, ඇමති තනතුරු දරමින් ගියා. විපක්ෂ නායක සජිත් එතනදි කැපී පෙනෙන්න ඕන නේද කියලායි මම බැලුවේ. ඒත් හවස ජනාධිපති මන්දිරයේ තිබුණු නිදහස් සමරුම් සාදයට මමත් ගියා.” නායකයා කීවේය.

“එ.ජා.පෙ ප්‍රශ්නේ ඉවර නම් මද්දුම බණ්ඩාර මහලේකම්ගේ නම කෘත්‍යාධිකාරියේදිත් සම්මත වෙන්න ඕනේ කියලා ඔබතුමා කීවේ ඇයි? එතන පොඩි කොස්සක් නැද්ද?” චම්පිකා ප්‍රේමදාස ඇසුවේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදි වුනේ මහලේකම්ගේ නම නිවේදනය කිරිමයි. ඒක කෘත්‍යධිකාරි මණ්ඩලයේදීත්, පක්ෂ නායක රැස්වීමේදිත් අනුමත වෙන්න ඕනේ. ඒකේ ගැටළුවක් වෙන්නේ නැහැ.” නායකයාගේ පිළිතුර එය විය.

“මහලේකම් හොර සල්ලි අච්චු ගැහුවා කියලා මහා මඩක් යනවා. මේවා අපි රටට පැහැදිලි කරන්න ඕනේ.” ජේ.සි අලවතුවල කීවේය.

“මද්දුම බණ්ඩාරට ටිපෙක්ස් ප්‍රශ්නයක් නම් තිබුණා. ඔය සල්ලි කේස් එක ගැන මම ඇහුවා, මගේ කිසිම සම්බන්ධයක් නෑ. ඔෆිස් එකේ කෙනෙකුටයි චෝදනාව තියෙන්නේ. ඒත් තාම එයාගෙන් ප්‍රශ්න කරලාවත් නෑ කියලා මද්දුම බණ්ඩාර කීවා. මද්දුම බණ්ඩාරලා දේශපාලනිකව මට ඇටෑක් කළත් ඔහු කිසිදාක වංචා දූෂණ කරපු කෙනෙක් නොවෙයි.” එ.ජා.ප නායකයා රංජිත් මද්දුම බණ්ඩාරට චරිත සහතිකයක් ලබා දුන්නේය.

“2015 ට කලින් රාජපක්ෂ ආණ්ඩුව එයාර් බස් 10 ක් ගන්න ඩීල් එක දාලා ඩොලර් මිලියන 16 ක අල්ලසක් ගන්න උත්සාහ කළා කියලා එංගලන්තයේ අධිකරණයක දී එළි වුනා. මේකෙන් රාජපක්ෂලාගේ ඔළුව ගිනි ගත්තා. එතනදිත් පහළ තැනින් වතුර යවලා නිලධාරියෙකුගේ ඇගේ මේක ගහන්නයි හදන්නේ. එයාර් බස් සමාගම එ් ඒ රටවල් එක්ක එකගතාවයකට ඇවිත් එංගලන්ත අධිකරණයට ඩොලර් බිලියන 05 ක් වගේ විශාල මුදලක් ගෙවලා ෂෙප් වෙලා තියෙනවා. ලංකාවේ කෙනාට ලැබෙන්න තිබු කොමිස් මුදල කියනවාටත් වඩා වැඩියි කියලායි ආරංචි. අතට ගත්ත පගාවත් කියනවාට වඩා වැඩියි කියලායි ආරංචි. සිංගප්පුරුවේදිත් අතට ගත්ත මුදල් ගිණුම් හතරකට මාරු වෙලා. ඒ ගිණුම් කාගෙද කියලායි අපි අහන්නේ. ලංකාවට මේ සමාගමෙන් වන්දියක් ගන්න මේ මහා දේශප්‍රේමි ආණ්ඩුව දැන් උත්සාහ කරන්න ඕනේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කතාව වෙනතකට යොමු කළේය.

“ එයාර් බස් ගණුදෙනුව දූෂිත බව අපට තේරුණා. අපි යම් මුදලක් ඒ සමාගමට ගෙවලා ඇණවුම අහෝසි කළේ ඒකයි. 2016 දි අපි මේ ගැන දැනගෙන අවශ්‍ය කටයුතු කළා. අධිකරණ ලේකම් හරහා සීඅයිඩියට හා නීතිපතිට තොරතුරු වාර්තා කළා. ගිය අවුරුද්දේ නොවැම්බර් වෙනකොට සියළු තොරතුරු ලංකාවට ලැබුණා. අලුත් ආණ්ඩුව එංගලන්තයේ අධිකරණයේ දි වැඩේ හෙළි වෙනකම් සද්ද නැතුව හිටියේ ඇයි කියලායි අපි අහන්නේ. දැන් ලංකාව ඔය සමාගමෙන් පගා ගන්න බව ඔප්පු වෙලා තියෙන නිසා අපිට මින් මතු එයාර් බස් මිලදි ගන්න බැරි වෙන අනතුරක් තියෙනවා.” එ.ජා.ප නායකයා කීවේය.

“නිදහස් දින ජනපතිගෙ කතාව ෂෝක් කියලා හැමෝම කියනවා. වසර 70 ක් අපි ෂෝක් කතා ඇහුවා. වැඩයි රටේ දියුණුවට අවශ්‍ය වෙන්නේ.” නවීන් දිසානායක කී දේ සියළු දෙනා අනුමත කළහ.

“වෝහාරික බැදුම්කර වාර්තාව එළි දක්වන්න කියලා විතරයි හැමෝම කිව්වේ. ඒත් කබ්රාල් විතරක් මේ වාර්තාවේ වැරදි පත්තර හා ටී.වී වලින් උදේ හවස කියන්න ගත්තා. අබ කෑ මිනිහාගෙයි මොළේ දන්නේ කියලා මේ රටේ මිනිස්සු දන්නවා.” දයා ගමගේ කීවේ කාගේත් සිනා මැදය.

“රටේ ප්‍රශ්න උග්‍ර වෙලා, ජීවන බර වැඩි වෙලා, විරැකියාව හා ශිෂ්‍ය ගැටළු උපරිමයට ගිහිල්ලා, පාරවල් හරස් කරලා ආණ්ඩුව දන ගස්සවන තැනට කෙටි කලකින් ඇවිත්. ප්‍රශ්න විසදනවා වෙනුවට උද්ඝෝෂණය කරන්න වෙනම ස්ථානයක් වෙන් කිරිම පමණයි මේ ආණ්ඩුව කරපු එකම වැඩේ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනා මැදය.

“ක්‍රිෂාන්ත කුරේට විරුද්ධව කුමන්ත්‍රණ චෝදනා රැසක් ලේක් හවුස් එකේ පිරිසක් සීඅයිඩි යට පැමිණිලි කලා. ඔහුට ලේසි වෙන්නේ නැති පාටයි. අනවශ්‍ය අය කරට අරන් නායකතුමා හැමදාම කරපු වැරැදි නිසයි මේවා වෙන්නේ.” එ.ජා.ප නීති උපදේශකයෙකු කී විට නායකයා හිස සැලුවේය..

Recommended For You

About the Author: Editor