කොරෝනා වෛරසය හමුවේ නිරුවත් වුණ ‘ඊනියා ශ‍්‍රී ලාංකික මිත‍්‍රත්වය’

මේ නිෂේධනීය ප්‍රතිචාර ගැන කම්පා වී ඇති කොළඹ සිටින චීන තානාපතිතුමා ඒ ගැන පුවත්පත් නිවේදනයක්ද නිකුත් කර ඇත. “මිතුරෙකුට විපතක් සිදුවූ විට හැසිරෙන්නේ ඔහොම නොවේ යැ”යි එතුමා ලංකාවේ ජනයාට මතක් කර තිබුණේ මහත් කනගාටුවෙන් බව පෙනේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අප රටේ මහජනතාවගේ සමහර කොටස් ද, ජනමාධ්‍යයේ සමහර කොටස් ද ප්‍රතිචාර දක්වන ආකාරය, ලැජ්ජා එලවනසුලුය. මේ නිෂේධනීය ප්‍රතිචාර ගැන කම්පා වී ඇති කොළඹ සිටින චීන තානාපතිතුමා ඒ ගැන පුවත්පත් නිවේදනයක්ද නිකුත් කර ඇත. “මිතුරෙකුට විපතක් සිදුවූ විට හැසිරෙන්නේ ඔහොම නොවේ යැ”යි එතුමා ලංකාවේ ජනයාට මතක් කර තිබුණේ මහත් කනගාටුවෙන් බව පෙනේ.

මහජනතාවගේ මෙම වියරු ප්‍රතිචාරයට නිදසුන් බොහොමයක් පසුගිය සතිය තුළ වාර්තා විය. චීන ජාතිකයන් බස්, ටැක්සි, ත්‍රීවීලර් ආදියට ගැනීම ප්‍රතික්ෂේප කිරීම, වෙළෙඳ සැල්වලදී මෙන්ම මහපාරේදීද ඔවුන්ට අපහාස කිරීම මෙන්ම එදිනෙදා කතාබහේදී චීනය මෙන්ම මුළු චීන ජනතාවත්, ඔවුන්ගේ සංස්කෘතියත් ගර්හාවට ලක් කිරීම ඒ අතර ප්‍රධාන විය.

සාමාන්‍ය ජනතාව මෙන්ම මධ්‍යම පාන්තික පුරවැසියන් වෙතින්ද පැන නැගි මෙම අතාර්කික සහ අශිෂ්ට මහජන ප්‍රතිචාරයට අප රටේ ජනමාධ්‍ය, විශේෂයෙන් පුද්ගලික රූපවාහිනී, පුවත්පත් සහ සමාජ මාධ්‍ය වගකිව යුතුය. රන්ජන් රාමනායකගේ අවුලේ උණුසුම තිබෙන විට, මෙම මහජන වගකීම් රහිත ජනමාධ්‍යවලට, කොරෝනා වයිරසය චීනයේ නගරයක මතුවීම, ලොතරැයියක් ඇදීමට සමාන විය.

රාමනායක සිද්ධියෙන් මෙන්ම කොරෝනා වෛරසයේ සිද්ධියේදීද ජනමාධ්‍යවල චර්යාධාර්මික සහ සමාජ වගකීම් පිළිබඳ කරුණ ඍජුවම මතු වේ. එහෙත් ඒ ගැන අප රටේ බැරෑරුම් සාකච්ඡාවක් සිදුවන්නේ නැත. එවැනි සාකච්ඡාවක පුරෝගාමීන් විය යුතු, අපේ විශ්වවිද්‍යාලවල ජනමාධ්‍ය අධ්‍යයන අංශවලින් කිසිදු විස්තරාත්මක ප්‍රතිචාරයක් නොලැබේ.

ප්‍රථම උපාධි අපේක්ෂකයන්ට සහ ඩිප්ලෝමාද ශාස්ත්‍රපතිද අපේක්ෂකයන්ට අවුරුද්ද පුරාම උගන්වනවා හැරෙන්නට ජනමාධ්‍ය චර්යාව සහ භාවිතය පිළිබඳව විචාරාත්මක සමාජ කතිකාවක් ගොඩ නැගීමට, එම ජනමාධ්‍ය සහ ජනසන්නිවේදන ශාස්ත්‍රඥයන්ගෙන් දායකත්වයක් නොලැබේ. ආදායම් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය පර්යේෂණ පවත්වන ජනමාධ්‍ය ආයතනවලින්ද විචාරාත්මක කතිකාවකට මුල පිරෙන්නේ නැත.

වාර්ගික අගතීන්

එහෙත් එවැනි විස්තරාත්මක සාකච්ඡාවක් ඇති කිරීම සඳහා පාදක කරගත හැකි, තේමාවක් මෙම සතියේ මතුවිය. එය හැඳින්විය හැක්කේ ජනමාධ්‍ය විසින් බෝවෙන ලෙඩ රෝග වර්ග වාදකරණයට පාත්‍ර කිරීම යන වචනවලිනි. ‘රේශීයලයිසේෂන්’ යන ඉංග්‍රීසි සංකල්පයේ මූලික අර්ථ දෙකක් තිබෙන අතර, ඒවා ‘වර්ගවාදකරණය’ යනුවෙන් අපට සාදාගත හැකි සිංහල සංකල්පයටද අදාළ කරගතහැකිය.

පළමුවැනි අර්ථය නම් ලෝකයේ බෝවෙන රෝග, දුප්පත්කම, ඌන සංවර්ධනය වැනි සමාජ ව්‍යවසායන්ගේ දෝෂය ඒවාට ගොදුරු වන ජනවර්ගවලට ආරෝපණය කිරීමයි. දෙවැන්න, යම් යම් ජනවාර්ගික කොටස්, මනුෂ්‍ය සංවර්ධනයේ ඉහළ අවධීන් කරා ළඟාවීමට නිසර්ගයෙන්ම නොහැකි, ස්වාභාවික අඩුපාඩු, නොහැකියා, දුර්වලකම් සහිත, අර්ධ සහ පහත් මනුෂ්‍ය කොට්ඨාස වන්නේය යන වර්ගවාදී ධර්මයයි. මේවා මූලික වශයෙන්ම වාර්ගික අගතිගාමීත්වය නැවත නැවතත් ගොඩ නගන මතවාදී ස්ථාවර ද වේ.

මෙයට නිදසුනක් ජනමාධ්‍යයෙන් දෙන්නේ නම් මෙසේය. ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන, සෑම වසරකම ඉහළ ජනමාධ්‍ය ත්‍යාග ලබා ගන්නා, එපමණක් නොව මගේ ගෙදරටත් දිනපතා මිලදී ගන්නා එකම පුවත්පත වන, සමාජයට විශාල ලෙස බලපෑම් කරන ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති පත්‍රයක, ප්‍රවෘත්ති වාර්තාවල ශීර්ෂ පාඨයේ අවස්ථා ගණනාවක භාවිත කළ වචනයක් වූයේ ‘චීන්නු’ යන්නයි.

‘චීන්නු’ යනු වර්ගවාදී කතිකාවේ එන සංකල්පයක් සහ වචනයක්ද වෙයි. එය චීන ජනතාවට අපහාස කිරීම සඳහා, එදිනෙදා සිංහල භාෂාවේ භාවිත කරන අපහාසාත්මක වචනයකි. එය වනාහී ශිෂ්ට සම්පන්න සාකච්ඡාවක භාවිත නොවෙන, භාවිත නොකළ යුතු බව, එම පුවත්පතේ කතුතුමාවත්, ශීර්ෂ පාඨ සකස් කරන උප කර්තෘවරුනුත් දන්නේ නැත. ඇතැම් ජන කොට්ඨාස වර්ගවාදීමය වශයෙන්, අපේ හෙළා දැකීමට, සිනහවට සහ අවමානයට පාත්‍රවිය යුතු අර්ධ-මනුෂ්‍ය කොට්ඨාස ලෙස ජනමාධ්‍ය විසින් චිත්‍රණය කරනු ලැබීම, ප්‍රශ්න නොකළ යුතු, සාමාන්‍ය දෙයක් ලෙස සැලකීම ලංකාවේ ජනමාධ්‍ය සංස්කෘතියේ පොදු පිළිගැනීමකි. වාර්ගික අගතිගාමීත්වය එදිනෙදා විඥානයේ මුල් බැස තිබෙන තත්ත්වයකි.


මෙම ගැටලුවට තවත් නිදසුනක් ජනමාධ්‍යයෙන් සිදුකරන ක්‍රීඩා වාර්තාකරණයෙන් ලබාගත හැකිය. සිංහල පුවත්පත්, එංගලන්තය, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සම්බන්ධව ක්‍රිකට් වාර්තාකරණයේදී, එම රටවල් සහ ක්‍රීඩකයන් ගැන සඳහන් කරන්නේ, ඔවුන් ඇත්තටම ලැබිය යුතු, ගෞරවය හා ගෞරව පුරස්සරභාවය සහිතවය. ඒ අතර බටහිර ඉන්දීය කණ්ඩායම ගැන අපේ සිංහල පුවත්පත් භාවිත කරන්නේ ‘කොදෙව්වන්’ යන වචනයයි.

‘කොදෙව්වන්’ යනු ඉංග්‍රීසියෙන් භාවිත වන සමාන්තර වචනයක් නැති සිංහල වචනයකි. එහි වාචික තේරුම ‘ඉතා කුඩා දිවයින්වල මිනිසුන්’ යන්නයි. ලංකාවද ඉතා කුඩා දිවයිනකි. ලංකාවේ සිංහල පත්තර, තවත් කුඩා දිවයින්වල ජීවත් වන ජනයා ‘කොදෙව්වන්’ යනුවෙන් හැඳින්වීම වනාහී අතිශයින්ම වර්ගවාදී, අශීලාචාර සහ යටත්විජිතවාදී සහ මහාද්වීපිකවාදී මාධ්‍ය භාවිතයකි. මෙය වනාහී ප්‍රශ්න කළ යුතු, විවේචනය කළ යුතු සහ වහාම අතහැර දැමිය යුතු මාධ්‍ය අවභාවිතාවකි.

මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් 2020 පෙබරවාරි 09 දින රාවය පුවත්පතට සම්පාදිත ලිපියකි. කාලීන භාවය සලකා එහි මුල් කොටස පමණක් පළ කරන ලදි. ඡුායාරූපය සහ ශීර්ෂපාඨය වෙනස් කර ඇත – ප‍්‍රධාන සංස්කාරක

Recommended For You

About the Author: Editor