‘ශෂිකලා සිරිවර්ධන’ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවක් වන ශෂිකලා සිරිවර්ධන තමා එළඹෙන 2020 ලෝක කුසලාන කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කළ බව පසුගිය දා නිවේදනය කළාය.

පිතිකරණය හා පන්දු ‍යැවීම යන ද්විත්වයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට අනගි දායකත්වයක් සැපයීමට ශෂිකලා සමත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ එක්දින ලකුණු 2000 සීමාව හා කඩුලු 100 සීමාව පසු කළ එකම ක්‍රීඩිකාව ද එක්දින හා T20 තරගවල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභිනිය වන්නේ ද ඇයයි.

2014 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ කාන්තා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණ ගැනීමට ද ඇගේ ක‍්‍රීඩා දිවියේ සුුවිශේෂ අවස්ථාවකි.

ජාත්‍යන්තර ක‍්‍රීඩා පිටියෙන් සමුගැනීම ගැන අදහස් දක්වමින් ශෂීකලා මෙසේ සදහන් කළාය.

‘මම ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් වරම් දිනා ගත්තේ 2003 දී. එදා සිට මවුබිම වෙනුවෙන් බොහෝ දේ කිරීමට මට හැකියාව ලැබුණා. ඒ ගැන මම නිහතමානීව සතුටු වෙනවා’

තම ක‍්‍රීඩා දිවියේ සාර්ථකත්වය ගැන කතා කළ ඇය ’ 2013 තමයි මගේ ක‍්‍රීඩා ජීවිතේ සාර්ථකව වසර. එම වසරේ දී එක්දින පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානය දිනා ගැනීමටත් T20 පන්දු ‍යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දිනා ගැනීමටත් මට හැකියාව ලැබුණා’

ඒ වගේම එම වසර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුවිශේෂී වසරක් වුණා. ඒ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තිබුණ නිසයි. මේ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ මටයි. ප්‍රබල කණ්ඩායම් වූ ඉන්දියාව හා එංගලන්තය පරාජය කරමින් ලෝකයේම අවධානය දිනා ගැනීමට අපි සමත් වුණා’

ශෂිකලා 2003 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත් අතර මේ වන තෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 98ක් ක්‍රීඩා කර තිබේ.

Recommended For You

About the Author: Editor