සල්ලි මවන මැෂිමක් වැනි ‘ගැනෝඩර්ම’ බිම්මල් වගාවට අත ගහමුද ?

බොහොමයක් දෙනාගේ දෙසවනට මීපැණි හලනවා වැනි පුවතක්ද ‘ගැනෝඩර්මා’ ෆාර්මසිය පැත්තෙන් අසන්නටලැබේ. ඒ තරුණ බව රැකදීමට මේ බිම්මලට ඇති හැකියාවයි. විද්‍යාගාර මීයන් යොදාගෙන සිදුකර ඇති පර්යේෂණ මගින් සනාථවී ඇත්තේ ‘ගැනෝඩර්මා’ ප්‍රතිකාරය හරහා මීයන්ගේ ආයුකාලය 9%- 20%ක් ප්‍රමාණයකින් ඉහල යන බවකි. මිනිසාගේ ජීවිත චාරිකාවට මෙය ආරෝපණය කළහොත් වසර 7-16ක් දක්වා කාලයකට එය සම්පාත වන්නේය

අවුරුදු 2000 සිට එන ඖෂධීය බිම්මලක්

බීජානු කිලෝවක් රුපියල් 20,000ක්

වයසට නොයන්නත් ප්‍රතිකාරකයක්ලු!

හදිසියේ කඩාපාත්වෙන සිදුවීමකට ‘ගහෙන් ගෙඩි එන්නාක් මෙන් ‘ කියන්නට පැරණි ජනවහරේ පුරුද්දක් තිබුනද, ගහෙන් ගෙඩියක් එන්නට එතරම් පහසු නොවනා බව මේ යුගයේ දී සාමාන්‍ය පෙළ පන්තියේ සිටිනා පාසැල් දරුවෝ පවාදනිති. පළමුව මලක් බිහිවිය යුතුය. අනතුරුව එය පරාගනයවී, පෙතිහැලී ගොස් ඩිම්බකෝෂය නමැති පුෂ්ප කොටස විශාලවීම ඇරඹිය යුතුය. ගෙඩියක්සේ එය පිටතට පෙනෙන්නට පටන් ගන්නේ ඉන් පසුවයි.

හදිසි සිදුවීමක් උදෙසා ‘හතු පිපෙනවා වාගේ’ යයි පැවසීම ඊට වඩා ගැලපෙනවා යයි සිතේ. ඊට ගත වන්නේ නම් දිනකටත් වඩා අඩු කාලයක්ය. දිලීර ජාලය නමැති ශාකදේහය එකට සමුහගත වෙමින් ලපටි බිම්මල බොත්තමක් ආකාරයට පසමතුපිට උපදිනවා කාටවත්පෙනෙන්නේ නැත. ඒතුල සෛල අපමණ ගණනකි. හදිසියේ වැටෙන වැස්සක් හමුවේ පැයකීපයක් ඇතුලත මේ සෛල සියල්ල ජලය උරාගෙන දිගින් වැඩිවේ.

පෙරදා රැයෙහි කිසිවක් නොතිබුණු පොළොවේ පසුදා උදෑසනවන විට බිම්මල් පිපී තිබෙන්නේ ඒ අනුවය. ප්‍රධාන වශයෙන්ම එම දේහ නිර්මානයේදී සිදුවන්නේ සෛල බෙදීම නොව, තිබෙන සෛල ජලය උරාගෙන විශාලවීමයි. හදිසියේ පිපෙන මේ බිම්මල්, ‘බීජානු මුදාහැරීම’ නමැති ක්‍රියාව හරහා තම වර්ගයාගේ ඉදිරි පරපුරද මිහිමත රැඳවීමෙන්ද පසු, දිනක් දෙකක් ඇතුලත ආ හදිස්සියෙන්ම වියලීය න්නේය.

හතු පිපෙන්නාක්මෙන් හදිසියේ බිභිවන්නේ නැතිවුවත්, හතු පරපුරේ ඇත්තන්ගේම කතාවක් පසුගියදා කෘෂිකර්මදෙපාර්තමේන්තුව මෙහෙයවූ රැස්වීමකදීද අසන්නටලැබුණි. කෘෂි විද්‍යාඥයින් විසින් බිහිකර, ගොවීන් වෙතට බෝග මාදිලි නිකුත් කිරීමට පෙර ඒසඳහා අවශ්‍ය නෛතික අනුමැතිය ලබාගැනීම උදෙසා කාලයෙන් කාලයට මෙවැනි රැස්වීම් පැවැත්වීම සාමාන්‍ය සිරිතයි.

කෘෂි විද්වතුන් තමා නිර්මාණය කල බෝග මාදිලියන් හි සාම්පලද රැගෙන එදින රැස්වීමට පැමිණ තිබුනේය. ඒ අතර අඹ, පේර, බඩඉරිඟු, වී, රටකජු ආදිය තිබුණි. මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනයේ ප්‍රධානියාවූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පාලිත රාජපක්‍ෂ මහතා රැගෙනවිත් තිබුනේ බිම්මල් හට ගත් පොලිතීන් බඳුන් කීපයක්ය.

ඒවා අප ගෙමිදුලේදී දකිනා ඉහිලූ කුඩ වැනි බිම්මල්වත්, ග්‍රෑම් 200 පැකට්වල අසුරා එළවලු කඩේ තිබෙන ‘ඔයිස්ටර්’ බිම්මල්වත් නොව, දැවයෙන් තනා මතුපිට වානිෂ් ආලේප කෙරුවා වැනි පෙනුමක් තිබෙන අමුතුම මාදිලියක ඒවා ය. එවැන්නක් පිපී පරිනත වන්නටනම් හදිස්සියේ බැරි බව බැලූබැල්මටම අවබෝධ වෙන කරුණකි. ඒ නිසා මේවා හතු පිපෙනවා වාගේ උපන් හතු නම් නොවේ.

“මේ තමයි ‘ගැනෝඩර්මා’ ලෝක ප්‍රසිද්ධ බිම් මල්ව ර්ගයක්. ඉපදිලා පරිනත වෙන්න දවස් 10ක් විතර යනවා’

තමා රැගෙන ආ අමුත්තාව පාලිත මහතා විසින් මා හට හඳුන්වා දුන්නේ එලෙසිනි. පිටස්තරයෙකු වූ මගේ සිත පැටලුම් හැරගත නොහැකි ගැටළුවක් අබියසය. එදාමෙදාතුර මේ රැස්වීම මගින් නිර්දේශ ලබාදුන්නේ බෝග මාදිලිවලටය. ඒ සියල්ල අපගේ ආහාරයන්වූ වී, එළවලු, පලතුරු, අල බෝගයනාදී මහ පොළොවේ පැල වෙන ශාකයන්ය. එහෙත් මේ පෙන්වන දැවයෙන් නිමවා වානිෂ් ගෑ සැරසිල්ල නම් කෙසේ අනුභව කරන්නද ? එවන් බැරිකමක් ඇත්නම් එය බෝග ප්‍රභේදයක් වන්නේද?

“මෙය කෙලින්ම කටේ දාගෙන හපල  කන්න බැරිබව ඇත්ත. ඒ උනාට මෙය ඖෂධීය බිම්මලක්. අනිත් එක මේක අපි හොයාගත්ත අපේ නිර්මාණයක් නෙවෙයි. අවුරුදු 2000කටත් ඈත අතීතයේ පවාවි ශේෂයෙන් ආසියාකරයේ සමාජය, අද දවසේ “ගැනෝඩර්මා ලුසිඩම්” (Ganodermalucidum) නමින් හඳුන්වන මේ බිම්මල භාවිතා කරලා තියෙනවා. අපි කෙරුවේ මෙය දේශීය වගා මාධ්‍යයකට ගැලපෙනතත්වයට ‘හීලෑ’ කරගැනීම වැනි වැඩක්. වෙනත් බෝගවල විදේශ මාදිලි උනත් මෙහෙ පරිසරයට ගලපලා අපි දේශීය නම් දාල නිදහස් කරනවනේ. වෙනත් රටවලට අපේ ප්‍රභේදත් ගෙනිහින් එහෙම කරනවනේ. මේ හඳුන්වාදීමත් ඒවගේ. අපේ නමකුත්දැමී මේ අදහසක් තියෙනවා.

පාලිත මහතා පවසන දෑ හමුවේ ම සිත ඇතිවූ පැටලුම තරමක් ලිහීයනවා සේ දැනේ. ඒ සමගම මගේ මතකයට එන්නේ අද වෙළඳපොලේ තිබෙන ‘ඔයිස්ටර්බිම්මල් සඳහා වගා ක්‍රමවේදයන් හඳුන්වාදී, පුහුණු පන්තිද පවත්වා රටපුරා ‘බිම්මල් ගොවිතැන’ ප්‍රචලිත කිරීමට එවකට බිම්මල් භාරව කටුතුකල ශ්‍රීමතී උඩුගම වැනි කෘෂි විද්වතුන් විසින් කල අගනා මෙහෙවරයි.

පිදුරු ගොඩකින් හෝ වේ හුඹසක් මතින් නෙලා ගන්නා බිම්මල් ටිකක් අනුභව කිරීමේ ගමේ පුරුද්ද නගරයේ සළුපිලි වලින් හැඩවැඩ කර, බිම්මල් වගාව වෙළඳව්‍යාපාරයක් කල අයුරුත්, ගෙදරදොරේ පොදු ව්‍යංජනයක් බවට බිම්මල් පත්කල අයුරුත් කලකට ඉහතදී අනාවරණය කෙරුවේ ශ්‍රීමතී මහත්මිය කල සේවය ඇගයීමකටද ලක්කරමිනි.

එදා එම සිරිත ජනමාධ්‍යයන් ඔස්සේසන් නිවේදනය කරමින් සමාජ ගතකිරීමට කටයුතු කළා මිස, ‘ඔයිස්ටර් බිම්මල්’ නමින් හැඳින්වෙන එම බිම්මල් වර්ගය මෙවැනි කමිටුවක් හරහා නිර්දේශ කෙරුවේ නම් නැත. එසේ වුවත් අද නිල වශයෙන් නිර්දේශයක් ලබාගැනීමේ තත්වය දක්වා කටයුතු ඉදිරියට පැමිණ තිබේ.

එපමණක් නොව, කෙලින්ම කෑමට ගන්නා බෝග මාදිලි නිර්දේශ කිරීමේ සම්ප්‍රදායෙනුත් මඳක් ඉදිරියට ගොස්, ඖෂධයක් ලෙස හෝ භාවිතා කරන ශාක කොටස් කෙරෙහි තම අවධානය යොමුකරන්නටත් බලධාරීන් උනන්දු වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මසට කදිම බ්‍රොයිලර් වර්ගයක් නිර්දේශකිරීමක් වැනි බරපතල අලකලංචියක් මෙතන සිදුවී නැත. රූල්ගසා සීමාමායිම් සලකුණු කරගෙන, ඒතුල පිනුම් ගසනවාට වඩා, ඉඳහිට ලා මේ තරමින් වැටපැන්නත් දොසක් කියන්නට ද බැරිය. මන්ද යත් ප්‍රතිලාභය අපගේ ජනතාවටම බැවිනි.

කරුණු මෙසේ වුවත් මේ සම්බන්ධයෙන් වැදගත් පණිවිඩයක් ද ඉතා ඕනෑකමින් පාඨක ඔබට මතක් කල යුතුවේ. කෘෂි විද්වතුන් විසින් පරීක්ෂණ පවත්වා මේ අනාවරණය කරගෙන ඇත්තේ ‘ගැනෝඩර්මා’ නමැති හතු විශේෂය දේශීය පරිසර තත්වයන් යටතේ සාර්ථකව වගාකළ හැකි ක්‍රමවේදය පමණි. වෙනත් වචනවලින් කියනවා නම් පාලිත මහතා කීපරිදි මේ කර ඇත්තේ ලොව සුපතල ‘ගැනෝඩර්මා’ බිම්මල දේශීය පරිසරයට හා වගා තත්වයන්ට ගැලපෙන පරිදි ‘හීලෑ’ කරගැනීමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව පර්යේෂණ වැඩසහන් රැසක් මෙහෙය වන කොරියානු ව්‍යාපෘතියක් මගින් මීට අවශ්‍ය අනුග්‍රාහකත්වය සපයා දී තිබේ.

“අපි සොයාගත් ‘ගැනෝඩර්මා’ රෝපණ මාධ්‍යයේ ප්‍රධාන සංරචකය වන්නේ ලීකුඩු. එය බොහෝ දුරට ඔයිස්ටර් බිම්මල් හදන්න නිර්දේශ කරන ලද එකට සමානයි. පිළියෙළ කරගන්නෙත් ඒවිධියටමයි”

පාලිත මහතා සඳහන් කර සිටී. ලෝකය පුරා විවිධජාතීහු ‘ගැනෝඩර්මා’ හි කොටස් නොයෙකුත් ආකාරයෙන් පරිභෝජනය කරති. චීනයේ හා කොරියාවේ ඇතැම් වෙළඳසැල්වල, අපේ රටේ සිංහල බෙහෙත් කඩවල කෑලිකැපූ වෙනිවැල්ගැට ආදිය ගෝනිවල බහා විකුණන්නට තබා ඇති ආකාරයට වේලපු ‘ගැනෝඩර්මා’ අලෙවියට තබා ඇත්තේය. ඔවුහුඒවාග්‍රෑම්ගණනින්මිලටගෙනගොස්තම්බාපානයකරනබවටතොරතුරුතිබේ. තවත් විටෙක මේරූ ‘ගැනෝඩර්මා’ බිම්මල මතුපිට පෘෂ්ඨයෙන් පිටවෙන ‘පිටි’ වැනි බීජානු සූරා එකතු කරගෙන, කිරි වැනි පානයන් සමග මිශ්‍රකර බීමට ගනු ලැබේ. ගෙදරදොරේ කෙරෙන මෙවැනි කටයුතුවලට වඩා ලෝකය ඉදිරියට ගොස් ඇත්තේ’ ගැනෝඩර්මා’ නිෂ්පාදනවලින්ය. ඖෂධීය පෙති හෝ කරල් වශයෙන් සැකසූ නිෂ්පාදනයන් ලාංකික වෙළඳපොලේද විකුණනු ලබයි.

‘ගැනෝඩර්මා’  හි ඖෂධීය ගුණ හෝ ඒ හරහා මිනිස් සිරුර ලබාගන්නා ප්‍රතිලාභයන් හෝ නිර්දේශ කිරීමට කෘෂි විද්වතුන් ඉදිරිපත්වන්නේ නැත. ඒ ගැන කතා කල යුත්තේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලෙනඅ යයි. ඖෂධයක් වුවත් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඇඟේ තවරා ගැනීම හෝ උගුරෙන් පහලට දමා ගැනීම නොකළ යුතු දෙයකි.

දැන්වීම්වල පළවූ පමණින් ‘නුහුරු නුපුරුදුදෑ ඇසුරු කිරීම ගැන වඩාත් ප්‍රවේසම් විය යුත්තේ එකිනෙකාට පුද්ගලිකවන විෂවීම්, අසාත්මිකතාවයන් වැනි සිදුවීම් පවා නිතරම අපට අසන්නට ලැබෙන නිසාය. එසේ වුවත් ‘ගැනෝඩර්මා’ නිසා අත්කරගත හැකි සෞඛ්‍යය ප්‍රතිලාභයන් ගැන දැනගෙන සිටීමේ වරදක් නැත. අදටත් දිනපතාම පාහේ ‘ගැනෝඩර්මා’ සතු තවත් එකරසායනයක් සොයාගැනී විද්‍යාත්මක ලෝකයේ සුලභ සිදුවීමකි. පුදුමය වන්නේ සොයා ගන්නා එම ද්‍රව්‍යයය, මිනිස් සිරුරේ යම් ප්‍රතිකාරයක් සඳහා දැනට භාවිතා කරන කෘතිම නිෂ්පාදනයකට, ක්‍රියාකාරීත්වයෙන් සමානවීමයි. මේ සොයා ගැනීම් පෙරහැර වැලනොකැඩී එනවා මිස නතරවෙන පාටක් ද නැත. සොයාගත් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ‘ගැනෝඩර්මා’ තුල තවමත් සැඟව ඇතිබව බොහෝ පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

චීන බසින් ‘ගැනෝඩර්මා’ හඳුන්වන්නේ ‘ලින්ග්සී’ (Lingzhi) යන වචනයෙන්ය. ඇතැම්විට ‘රෙයිෂි’ (Reishi) යන වචනයද භාවිතා වේ. එහි තේරුම වන්නේ ‘අධ්‍යාත්මික ශක්තිය’ වැනි අදහසකි. සාර්ථකත්වය, සමෘද්ධිය, දිව්‍යමය ශක්තිය, දීර්ඝායුෂ වැනි පදයන් හා සම්බන්ධ කරමින්  දිරායන දැව කඳක් මත හටගන්නා මෙ මහතුවර්ගය චීන ජාතිකයින් විසින් ‘අධ්‍යාත්මික ශක්තියේ පැලෑටිය’ වශයෙන්ද හඳුන්වමින් ගරු බුහුමන්කර හමාරය. එයටද හේතුව විය හැක්කේ විචිත්‍රවත් රසායනික සංයුතියෙන් මිනිස් දේහයට ඇතිවන බලපෑමයි.

“‘ගැනෝඩර්මා ‘හතු වගාව ප්‍රචලිත කිරීමට අප ඉදිරියට ආවේ යම් හේතුවක් ඇතිව. රෝපණ මාධ්‍යය හා වගාක්‍රමවේදයන් සොයාගත්තත් අපිට ප්‍රශ්නයක් තිබුනේ හදන හතු කාටද විකුනන්නේ කියලයි. ලංකාවේ භාවිතයටත් ව්‍යපාරිකයින් ‘ගැනෝඩර්මා’ ආනයනයකරනවා. පසුගිය දිනෙකදී මෙවැනි සමාගමකින් අපිට දැන්වූවා අපේ නිෂ්පාදන මිලදීගැනීමට කැමති බව. දැන් බාධකය ඉවරයි. ඊට අමතරව සාදන බිම්මල් සැකසුමකින් තොරව මැලේසියාවටත් අපනයනය කරන මාර්ග පවා විවෘත වෙලයි තියෙන්නේ. මැලේසියාව තමයි මේ බිම්මල් වර්ගයෙන් වැඩියෙන්ම නිෂ්පාදන බිහිකරන රට. ඒ අය අමුද්‍රව්‍ය ගෙන්වන්නේ චීනයෙන් හෝ කොරියාවෙන්. ඒවා මිල අධිකයි. අපිට පුළුවන් ඊට වඩා අඩු මුදලකට හතු යවලා ඒ වෙළඳපොළවල් අල්ලා ගන්න.”

පාලිත මහතාගේ ඉදිරි වැඩසටහන පෙළගැසෙන්නේ එලෙසින්ය. වටින් ගොඩින් ඇසුණු ආරංචිවලට සංවේදී වූ වගාකරුවන් පණිවිඩ පිට පණිවිඩ එවමින් කල විමසීම්වලට පිළිතුරුය වන්නට මාකඳුර පර්යේෂනායතනයේ බිම්මල් පර්යේෂණ කණ්ඩායම මේ දිනවල ලියුම්කවර අලවමින් සිටී. ඔබටත් කර්මාන්තයක් ලෙස’ගැනෝඩර්මා’ වගාකරන්නට අදහසක් තිබේ නම් මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනය අමතා ඒ ගැන විස්තර ලබාගත හැකිය.

ක්‍රමවේදය බොහෝ දුරටදැනට සුලභව වගාකරන ඔයිස්ටර් බිම්මල් වගා කිරීමේක්‍රමයට සමාන නිසා මේ වනවිටත් එම කර්මාන්තයේ නියැලෙන්නන්ට ‘ගැනෝඩර්මා’ වෙත පිවිසීම ඉතාපහසුය. පුහුණු පන්ති ඇරඹීම ලබන මාසයේදී පමණ කළ හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. ‘මීයක් කඩන්නේ අතලෙවකන්නට’ නොවේ. මේරූ බිම්මලේ මතුපිට සූරාගෙනඑකතුකරන’පිටි’ වැනි බීජානු කිලෝවක මිල රුපියල් 20,000ක් පමණවේ. කිලෝවක් සෑදීමට බිම්මල් දෙකතුනක් වවාගෙන බැරි බවද ඇත්තකි. එහෙත් එළිමහන් ගොවිතැනේ ඇති අවදානම හා මිල උච්ඡාවචනය හමුවේ බිම්මල් ගොවිතැන සිටින්නේ සාපේක්ෂව ප්‍රවේසම්තැනකය.

මිනිස් සිරුර තුල ‘ගැනෝඩර්මා’ සිදුකරන මෙහෙවර අතරින් කීපයක් හෝ සඳහන් නොකළහොත් අපගේ විස්තරයට එයමහත් අඩුවක් වනු ඇත. පිළිකා මර්දනයට ඇතැයි කියන හැකියාව මේ අතරින් ඉහලින්ම කතාකරන මාතෘකාවකි. පිළිකාකාරක සෛල අපගේ සිරුර තුල නොනවතාම උපදී. එයට සිරුර තුල තැනක් හෝ බිහිවෙන වේලාවක් හෝ නැත. ප්‍රතිශක්තිකරණ යභාරව සිටින, රුධිර තරලය තුල ජීවත් වෙමින් ඒමේ අත සැරිසරන මුර බල්ලන් වැනි සෛල වර්ග, හොර රහසේ උපදින මෙවන් පිළිකා සෛල ගැන හොඳ අවධානයකින් සිටී.

බොහොමයක් පිළිකා කාරක සෛල මොවුන්ගේ පහරදීම හරහා විනාශවී යයි. අප පිළිකාවට ගොදුරු නොවී සිටින්නේ මෙම ආරක්ෂණ යාන්ත්‍රණයේ පිහිටෙනි. එසේ නමුත් වයස්ගත වෙත්ම ඇතැම් විට හටන්නා නිදන්ගත රෝගී තත්වයන් වැනි දේ නිසා හෝ, දිගින් දිගටම පාරිසරික විෂ ද්‍රව්‍යයන්ට නිරාවරණය වීම නිසා හෝ, අපගේ ප්‍රතිශක්ති බලය අඩුවීම ස්වභාවිකය. එනම් පෙරකී ආරක්ෂණ යාන්ත්‍රණය ද එවන්විටකදී නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර පිළිකා කාරක සෛලයක් මුරබල්ලන් මගහැර, කොතැනක හෝ නැවතී ගුණනයවීමට තිබෙන හැකියාව ද ඉහලය. ආරක්ෂක පද්ධතිය මගහැර යන තනි පිළිකා කාරකසෛලයකට වුවද මෙමඅනතුර සිදුකිරීමේ අවස්ථාව තිබේ. ‘ගැනෝඩර්මා’ හි අන්තර්ගත ඇතැම් සංයෝග ඍජුවම පිළිකා සෛලවලටවිෂ සහිතය. සාමාන්‍ය දේහ සෛලවලට එම සංයෝගවලින් කිසිදු අනතුරක් නැතිබවද සනාථ කරගෙන හමාරය.

ප්‍රතිශක්තිකරන පද්ධතියකෙරෙහි ‘ගැනෝඩර්මා’ බලපාන ආකාරය විශ්මයජනකය. ඒ සම්බන්ධයෙන් මේ වනවිටපර්යේෂණ තොරතුරු රැසක් සමාජයට නිරාවරනය වීතිබේ. ප්‍රතිශක්තිකරණය උත්තේජනයවී, අනවශ්‍ය තරමට ක්‍රියාකාරීවී ඇත්නම්‘ගැනෝඩර්මා’  හි ඇති සංයෝග මගින් ප්‍රතිෂක්තිකරණයේ සැර බාලකරනවා මෙන්ම, එය ඉහතකී ආකාරයට දුර්වලවී මන්දගාමීව තිබේනම්, ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමටද මේතුල ඇති සංයෝග ක්‍රියාකරන බව පැවසේ.

‘ඩයබෙටිසී’ වලට ‘ගැනෝඩර්මා’ විසින් හොඳ පිළිතුරක් ලබාදෙන බව වාර්තාවල සඳහන්වී ඇති අතර, එහි ඇති පොලිසැකරයිඩ හා ට්‍රයිටර්ෆීන වැනි සංයෝග අලුතින් මේදසෛල හට ගැනීම හා වර්ධනයවීම අවහිරකරන බව පෙන්වාදී ඇති නිසා, මහත උදවිය තවත් මහත්වීම වලකාලන්නේය.

දියවැඩියාව හා තරබාරුකම දුප්පත්=-පොහොසත් භේදය පසෙකලා ලෝකය පුරා පැතිරෙමින් පවතින සෞඛ්‍යය ප්‍රශ්නයක් බවටපත් වෙමින් තිබේ. මේ රෝගද්විත්වය අයියාමලෝ මෙන් එකිනෙකාට බොහොම හිතවත්ය.Diabetes සහ Obesity වශයෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන මෙම තත්වයන් දෙක එකටයාකර ‘ඩයබෙටිසී’ (Diabeticy) යනුවෙන් තනි රෝගයක් වශයෙන් එය සලකන්නටත් වෛද්‍යවරු පියවරගෙන ඇත්තේ රෝග දෙක අතර පවතින මේ සමීපතාවය හේතුවෙනි. ‘ඩයබෙටිසී’ වලට ‘ගැනෝඩර්මා’ විසින් හොඳ පිළිතුරක් ලබාදෙන බව වාර්තාවල සඳහන්වී ඇති අතර, එහි ඇති පොලිසැකරයිඩ හා ට්‍රයිටර්ෆීන වැනි සංයෝග අලුතින් මේදසෛල හට ගැනීම හා වර්ධනයවීම අවහිරකරන බව පෙන්වාදී ඇති නිසා, මහත උදවිය තවත් මහත්වීම වලකාලන්නේය.

බොහොමයක් දෙනාගේ දෙසවනට මීපැණි හලනවා වැනි පුවතක්ද ‘ගැනෝඩර්මා’ ෆාර්මසිය පැත්තෙන් අසන්නටලැබේ. ඒ තරුණ බව රැකදීමට මේ බිම්මලට ඇති හැකියාවයි. විද්‍යාගාර මීයන් යොදාගෙන සිදුකර ඇති පර්යේෂණ මගින් සනාථවී ඇත්තේ ‘ගැනෝඩර්මා’ ප්‍රතිකාරය හරහා මීයන්ගේ ආයුකාලය 9%- 20%ක් ප්‍රමාණයකින් ඉහල යන බවකි. මිනිසාගේ ජීවිත චාරිකාවට මෙය ආරෝපණය කළහොත් වසර 7-16ක් දක්වා කාලයකට එය සම්පාත වන්නේය.

ලිපියේ අවසාන භාගයේදී ‘ගැනෝඩර්මා’ මගින් ලබා ගතහැකි සෞඛ්‍යයමය ප්‍රතිලාභයන් ගැන අපසඳහන් කෙරුවේ සූර්යග්‍රහණය හමුවේ පනහ දශකයේදී ලස්සනවෙන්නට වදකහ බිව්වා සේ, දිරන දර කොට අද්දර පිපීඇති ‘ගැනෝඩර්මා’ හතු කඩාගෙන අනුභව කිරීම උසිගන්වන්නට නොවන බව නැවතත් අවධාරණය කලයුතුය. කෘෂිකර්මාන්තය හා බැඳුනු පුද්ගලයින් ලෙස අප මේ පෙන්වාදෙන්නේ වගාකල හැකි තවත් පැලෑටියක් පිලිබඳ තොරතුරුත්, එවන් වගාවක් වෙත පිවිසෙන්නට දොරටුව ඇති ස්ථානයත්ය. කලයුතු දෙය වන්නේ ෆාමසියක් පෙන්වූ පමණින් එතුලට කඩාපැන වෛද්‍ය උපදෙස් නොමැතිව බෝතල් කුප්පි කටේ හලා ගැනීම නොව, තමනුත් ෆාමසියක් දමාගෙන ආදායම්මාර්ගයක් සලසා ගැනීමයි. ‘ගැනෝඩර්මා’ ෆාමසිය ඊට හොඳ ප්‍රවේශයකි.

සනත්එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor