ශ‍්‍රීලනිපය – පොහොට්ටුව සහ ගෝඨා සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් එළියට දමයි

ශ‍්‍රීලනිපය – පොහොට්ටුව සහ ගෝඨා සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් එළියට දමයි පක්ෂයේ ගරුත්වය සහ බලය රැක ගන්න කළ වැඩක් – ශ‍්‍රීලනිපය

2015 මහා පවාදීම අමතක කළ නොහැකියි – පොහොට්ටු තරුණ නායකයෝ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා.

තම පක්ෂය විසින් ගත් මේ තීරණයට හේතු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිිවිසුමක් නැති බවට ඇතැම් පිරිස් නගන චෝදනාවලට පිළිතුරු වශයෙන් තම පක්ෂය විසින් අදාළ අවබෝධතා ගිවිසුම් දෙක ප‍්‍රසිද්ධියට පත්කළ බවයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් මෙසේ සඳහන් කළා.

‘අපි මේ තීරණය ගත්තේ බොහෝ දුරට කරුණු කාරණා ගැන විමසා බැලීමකින් පසුවයි. ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු අපේක්ෂක සංඛ්‍යාව, නැතිනම් ප‍්‍රතිශතය පිළිබඳව වගේම ජාතික ලැයිස්තුවේ කෝටාව පිළිබඳවත් අපට ගැටලූ තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අපි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් සහාය ලඝු කරලා, නැතිනම් අවතක්සේරු කරලා කතා කරනවා.

අපි පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණෙන් ලබාගත් සියයට 60කට ආසන්න ඡුන්ද ප‍්‍රතිශතය තුළ අපේ ඡුන්ද සැලකිය යුතු ප‍්‍රතිශතයක් තිබෙනවා. එය එසේ නොවුණා නම් එතුමාගේ ජයග‍්‍රහණය මීට වඩා අඩු වෙන්න, ඇතැම් විට අතිෂය තියුණු වෙන්න තිබුණා. ඒ ගැන අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිතුමාට 3/2ක බලයක් ලබා ගන්න නම් අපේ සහාය අත්‍යවශයි. එය නැතිව සරල බහුතරයක් තමයි එතුමාට ගන්න වෙන්නේ.

ඒත් අපි මේ දෙන, ලබා දුන් සහායට නිසි පිළිගැනීමක් ලැබෙන බවක් පේන්න නැහැ. අපි හඳෙන් පාත් වුණ පක්ෂයක් විදිහටයි ඇතැමුන් කතා කරන්නේ. ඒත් ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පසුගිය 2019 ඔක්තෝබර් 10 වැනිදාත්, එවකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔක්තෝබර් 19 වැනිදාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම් අත්සන් කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මේ ගිවිසුම් අත්සන් කළේ ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ගිවිසුම්වලට අත්සන් කළා. මේ ගිවිසුම කරුණු 22කින් යුත් අවබෝධතා ගිවිසුමක්.

ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුළ කරුණු 17ක් ඇතුළත් බවත් අපි සිතේ තබාගත යුතුයි.

මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. ඒ තමයි මේ ගිවිසුම් දෙකට ද අදාළවයි නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ද අනුමතර කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්නේ දෙපාර්ශ්වය අතර ඇති වුණ එකඟතා අනුව ඉදිරි කටයුතු සිදුවිය යුතුයි’

2015 මහා පාවාදීම කළ ශ‍්‍රීලනිප නායකයෝ එක්ක පොහොට්ටුවට ගමනක් නෑ

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ඇමැතිවරුන් කිහිප දෙනකුම සඳහන් කළේ වත්මන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ජාතික වශයෙන් සියයට එකකවත් ඡුන්ද පදමක් නැති බවයි.

‘2018 පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත ඡුන්ද ප‍්‍රතිශතය අනුව අද ගණනය කිරීම විහිළුවක්. එදා ජනාධිපතිවරයාට යම් ජනප‍්‍රසාදයක් තිබුණා. ඡන්ද පදනමක් තිබුණා. ඒ වගේම එජාපය ගැන කළකිරීමට පත්ව සිටි එක්සත් ජාතික පාක්ෂියන් පවා එදා ජනපතිවරයා ගැන තිබූ විශ්වාසයෙන් ශ‍්‍රීලනිපයට ඡුන්දය දුන්නා. විශේෂයෙන් සුළුජාතීන්, මුස්ලිම් ජනතාව.

උදාහරණයක් විදිහට බියගම ප‍්‍රාදේශීය සභාවේ මල්වාන ඡන්ද කොට්ඨාශය ජයග‍්‍රහණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එය සියයට සියයක් මුස්ලිම් ජනතාවක් ජීවත් වන ප‍්‍රදේශයක්. ශ‍්‍රීලමුකෝ සහාය එජාපයට ලැබුණත් ඔවුන්ට එය ජයග‍්‍රහණය කළ නොහැකි වුණා. මේ වගේ තත්ත්වයක් රටපුරාම තිබුණා. පොළොන්නරුවේ ලංකාපුර වාගේ තැන්වල එය සිදු වුණා.

ඒත් මෛත‍්‍රීපාල සිිරිසේන මහතාට ඊට පසුව තම ජනප‍්‍රියභාවය රැක ගන්න බැරි වුණා. පාස්කු ප‍්‍රහාරය ඔහුව දේශපාලනිකව අනාථ කළා. ඒ නිසා අද ඔහුට ජාතික තලයේ කිසිදු බලපෑමක් කළ නොහැකියි. අනෙක ශ‍්‍රීලනිපයේ ඡන්ද පදනමක් තිබුණ සියලූ දෙනා අද ඉන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගයි. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද අතීතයට හිමි පක්ෂයක්. එයට දැන් අනාගතයක් නැහැ.

ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හිතනවා නම් තමන්ට සියයට 15ක පමණ ඡුන්ද ප‍්‍රතිශතයක් තිබෙනවා කියලා පැහැදිලිව තනිවම මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවේදී අපට සහාය දෙන්න. බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි කියලා කියන්නා වාගේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ අතිෂය දුර්වල ශ‍්‍රීලනිපය සමග අපිට කිසිදු ආකාරයක සම අසුන් ගැනීමක් නැහැ. එය සිදුකළ නොහැකියි.

ඔවුන් ජනාධිපතිකම් දරමින්, ඇමතිකම් දරමින් රාජ්‍ය බලය අභ්‍යාස කරමින් ඉන්න කොට අපිි අපේ නායකයින් හිරේ ඉන්න කොට, රිමාන්ඞ් එකේ ඉන්න කොට, දවස ගානේ උසාවි ගානේ යමින් තමයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළේ. ශක්තිමත් කළේ. ඒ ඉතිහාසය මතක කිිසිවෙක් 2015 දී මහා පාවාදීම කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයෝ එක්ක එකට හිට ගන්නේ නැහැ’ ඔහු අවධාරණාත්මකව සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor