යහපාලනය ආනයනය කළ කෝටි 287ක වාහන සොයා ජවිපෙ මන්ත්‍රී CIDයට යයි

පසුගිය රනිල් – මෛත‍්‍රී රජය සමයේ මැති – ඇමැතිවරුන් සදහා ආනයනය කරන ලද බව කියන රුපියල් ලක්ෂ 28.700ක් වන වාහන 78 තිබෙන්නේ කොහේද කා සතුවද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

තම පැමිණිල්ල ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජයතිස්ස මහතා,

පසුගිය ආණ්ඩු කාලයේ ඇමතිවරු මිලදී ගත් වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලා අපි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ වාහන සම්බන්ධයෙන් 2017 මැයි මාසයේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඒ වාහන සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලුවා. ඒත් වාර 5 ක් සති දෙක ගානෙත් තවත් වාරයක් මාසයක් ලෙසත් කල් ගනිමින් උත්තර දීම මග හැරියා. අන්තිමට 2019 අගෝස්තු මාසයේදී මාස 6 ක් කල් ගත්තා. එහෙමයි ඔහු මේක මගහැරියේ.

ආණ්ඩුව මාරු වුණාට පස්සේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ ප්‍රශ්නයට උත්තර දුන්නා. ඒ වාර්තාව අනුව වාහන 78 ක් රුපියල් ලක්ෂ 28,700 කට මිලදී ගෙන තිබෙනවා. 

දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ වාහන තිබෙන්නේ කොහෙද කියන එක. සමහරු අපි ගත්තේ නැහැයිලු. සමහරු කියනවා මම දන්නේ නැහැ කියලා. දැන් මේ වාහන තියෙන්නේ කොහෙද? කවුද භාවිතා කරන්නේ කියලා පරීක්ෂණයක් කරන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාවට නීතිඥ සුනිල් වටගල මහතාද එක්ව සිටියේය.

Recommended For You

About the Author: Editor