ලංකාව හතේ අපේ පොතට ‘පයින් ගසද්දී’ බ‍්‍රසීලය ‘හතේ අපේ පොත’ අලුතින් ලියන්නේ ඇයි ?

සිද්ධ විය යුතු ලෙසම ‘හතේ අපේ පොත’ ගැන ඇති වුණ උණුසුම් සංවාදයත් ‘ලැත් තැනම ලොප් වුණා. මහජනතාවගේ බදුවලින් මිලියන ගාණක් වැටුප් ලබපු, පොත ලියන්න, හදන්න දීමනා ගත්තු ආචාර්ය මහාචාර්යවරු තමන් කළ දේ වෙනුවෙන් පෙනී නොසිටි නිසා අවසානයේ ‘ඊනියා චීවරධාරීන්’ ජයග‍්‍රහණය කළා.

ඒත් ප‍්‍රශ්නේ තවමත් එතැනම බව දිනපතා ජනමාධ්‍ය මගින් වාර්තා වන තොරතුරු වගේම ජනමාධ්‍ය හමුවට නොඑන පවුල තුළ, පාසල තුළ අඛණ්ඩව සිදුවන මැසිවිලි, ශාප කිරීම් සහ තර්ජනය කිරීම් මගින් මනාව පැහැදිලි වෙනවා.

මේ ලේඛකයා මීට කලකට ඉහත ‘ළමා අපයෝජන හා අපචාර වළක්වා ගැනීම හමුවේ ජනමාධ්‍යයේ කාර්යභාරය’ කියලා නම් කළ වැඩමුළුවක සම්පත්දායකයෙක් විදිහට ගියා. එයට සහභාගී වුණේ 10 – 12 පන්තිවල සිසු සිසුවියන් කණ්ඩායමක්. සුපුරුදු විදිහට ගුරුවරු – ගුරුවරියොත් වේදිකාවේ සහ අසුන්මත සිටියා.

‘දිග කතාවක් නැහැ. ඒත් දුවේ ඔයා පෙම්වතියක් වෙන්නේ කුමන මොහොතකද ඔබ ඒ මොහොතේ සිට අපයෝජනයට හෝ අපචාරයට ලක් වෙනවා’ කියලා මම කිව්වා.

බලාපොරොත්තු වුණ විදිහටම දැරියන් විළියෙන් ඇඹරුණා. කොල්ලෝ ටික ටිකක් අවුලට පත් වුණා. මම ගුරුවරියන්ගේ මුහුණු නිරීක්ෂණය කළා. ඒවත් ‘අවුල්’ වාගේ තමයි පෙනුණේ. ගුරුවරුත් එහෙමයි.

මම අපේක්ෂා කළ ආකාරයටම සංවාදය උණුසුම් වුණා. ඒත් තවත් මොහොතකින් මගේ අතට ‘චිට් එකක්’ ලැබුණා. ‘කතාව අවසන් කරන්න’ එහි තිබුණා.

ආත්ම ගරුත්වය පිළිබඳ ගැටලූවක් නිසා මට ඇති වුණේ කම්පනයක්. ඒත් ඒ බව නොපෙන්නා සිසුන් කෙටි විවේකයක් දුන්න මම දැඩි කෝපයෙන් යුතුව ආදාළ ගුරුවරිය වෙත ගියා.

‘ඇයි මොක්කද ප‍්‍රශ්නේ ?’ මම ඇහුවා.

‘ඇයි ඔබතුමා මේ වාගේ කතා කියන්නේ ’ ඇය කෝපයට පත් ස්වරයෙන් ඇසුවා.

‘මොන කතාවද ? මම නරක වචනයක්වත් කිව්වේ නැහැ’ මමත් කෝපයෙන් කිව්වා.

මට මොහොතකින් වැටහුණු සිදු වුණ දේ. තවත් ආචාර්යවරු කිහිප දෙනෙක් මා අසලට ආවා.

‘මම හෘද සාක්ෂියත් එක්ක කතා කරන කෙනෙක්. මම කිව්වේ අපි බොහෝ දෙනකුට පොදු අත්දැකීමක්. පුළුවන් නම් හෘද සාක්ෂියට කතා කරලා අහන්න’ මම මදක් සන්සුන් වෙමින් කිව්වා.

කොහොම වුණත් ඊට පස්සේ මා වෙනුවෙන් තවත් තරුණ ගුරුවරු කිහිප දෙනෙක් පෙනී සිටියා. ඒත් මම දේශනය අතරමග අවසන් කර පිටත් වුණා.

ඊට පස්සේ මගේ ජංගම දුරකථනයට අදාළ පාසලේ ගුරුවරු කිහිප දෙනෙක්ම කතා කරලා අදාළ ගුරුවරිය ගැන කතා (කැත) කිහිපයක් කිව්වා.

මට මේ කතාව ලියන්න හිතුණේ ‘හතේ අපේ පොත’ හමස් පෙට්ටියට ගියත් ප‍්‍රශ්නේ තාම එතැනම තියෙන බව දැනුණ නිසා වගේම මීට කලකට ඉහත මා හමුවට පැමිණි මවක් කළ ආයාචනයක් සිහිපත් වුණ නිසයි. මම ඒ දිනවල සේවය කළේ මේ රටේ ප‍්‍රකට නීති උපදේශන ආයතනයක. වැඩසටහන් කළමනාකරු විදිහට.

‘අනේ මහත්තයෝ අපි ලොකු ආමාරුවක වැටිලා ඉන්නේ’ තවමත් තරුණ වියේ සිටින මවක් කිව්වා.

ඊට පසු ඇය දීර්ඝ කතාවක් කිව්වා. කතාව හරය වශයෙන් ඉදිරිපත් කළහොත් සිදුවෙලා තියෙන්නේ ඇයගේ තවමත් උසස් අධ්‍යාපනය ලබන දියණිය සිය පෙම්වතා සමග කළ දුරකථන සංවාද පිළිබඳ ගැටලූවක්.

අපි අද රන්ජන්ගේ හඬපට ගැන කතා කළත් මේ කියන 2014දී මේ තරුණිය පත් වෙලා තියෙන්නෙත් හඬපට අවුලකට. ඇය සමග කතා කළ බොහෝ දේ ඇගේ පෙම්වතා පටිගත කරලා. දැන් සම්බන්ධතාව අවසන් කරන්න තරුණිය සූදානම් වන විට ඔහු තර්ජනය කරන්නේ ඒ හඬපට ලංකාවේ ප‍්‍රකට ‘අසභ්‍ය වෙබ් අඩවියකට’ යොමු කරන බවට තර්ජනය කරමින්.

මේ වගේ කතා සිය ගණනක් අපි බොහෝ දෙනෙක් ළඟ තියෙනවා. පසුගිය දිනවල ලංකාවේ අන්තර්ජාලය සහ ලිංගිකත්වය ගැන පර්යේෂණයක් සිදුකළ මගේ හිතවත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දත්ත සහිතව පෙන්වා දුන්නේ ලෝ ප‍්‍රකට කාම වෙබ් අඩවි රැසක ලංකාවේ දැරියන්, තරුණියන් හා මැදිවියේ ගැහැනුන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට තිබෙන බවයි.

‘ඇතැම් ඒවා බාල වයස්කාරියන්, පාසල් දැරියන් ලෙසයි නම් කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් පාසල් නිල ඇඳුම පිටින් පවා සිටින දර්ශන තියෙනවා’ ඔහු මා සමග කිව්වා.

‘ඔය කෙල්ලෝ – කොල්ලෝ කුටු කුටු ගගා හාල්වල ගණන්් අහනවා නෙමෙයිනේ’ එහෙම කිව්වේ මගේ ජනමාධ්‍ය මිතුරෙක්.

ඉතිං අපි බොහෝ දෙනෙක්ට මේ අත්දැකීම් තියෙනවා. ඒත් ප‍්‍රශ්නේ අපි ඒවාට විසඳුම් සොයන්න නොයෙන එකයි. ඒ නිසා දැවැන්ත ජාතික ව්‍යසනයක් ‘සිවුර හමුවේ’ වහන් වෙලා ගියා.

බ‍්‍රසීලයේ සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන මේ යොවුන් ගැබ්ගැනීම් පුළුවන් තරම් ඉක්මනින් අඩුකරගත යුතුයි. ලිංගික සබඳතා පවත්වන වයස දැනට තිබෙනවාට වඩා පහු කරන්න ඕන කියලා රජය දැන් හරි කට ඇරපු එක ගැන සතුටුයි. මොකද මෙච්චර කාලයක් හැමෝම හිතාගෙන හිටියේ ඒක ආගම්වලින් දාලා තියෙන නීතියක් කියලා

බ‍්‍රසීලය කියා දෙන පාඩම

පවුල් සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය වන ‘ඩැටාරෙස් ඇල්විස්’

නව යොවුන් වියේ දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඊනියා සුචරිතවාදීන් හමුවේ කැලේ පනින කොට අපිට බ‍්‍රසීලයෙන් සුවිශේෂ කතාවක් ඇසෙනවා.

බ‍්‍රසීලය කියන්නේ අති දැවැන්ත රටක්. කතෝලික ආගමික කේන්ද්‍රීය බලපෑම තිබුණත් බොහෝම නිදහස්, ලිබරල් සංස්කෘතියක් තමයි බ‍්‍රසීලයේ තිබෙන්නේ. මේ තත්ත්වය කොතරම් ද කියන එක වාර්ෂිකව බ‍්‍රසීලයේ පැවැත්වෙන විවිධ සැනකෙළිවලින් වටහා ගන්න පුළුවන්.

ඒත් බ‍්‍රසීලය අද දැවැන්ත සමාජ අර්බුදයකට ලක් වෙලා. ඔවුන් එය දකින්නේ වහාම පිටුදැකිය යුතු දෙයක් විදිහටයි. ඒ ‘නව යොවුන් වියේ දැරියන් ගැබ් ගැනීම වේගයෙන් ඉහළ යාම. බ‍්‍රසීල මාධ්‍ය වාර්තා කරන ආකාරයට ලතින් ඇමෙරිකාවේ බාල වයස්කාරියන් ගැබ් ගැනීම්වල ඉහළම ප‍්‍රතිශතයට හිමිකම් කියන්නේ බ‍්‍රසීලය. මේ තත්ත්වය දැඩි කතෝලික බලපෑමට පමණක් නොවෙයි පවුල් සබඳතාවලටත් විශාල අභියෝගයක් වෙලා. ගබ්සාව සම්බන්ධයෙන් කතෝලික ආගම විසින් අනුගමනය කරන ‘අනම්‍ය’ ප‍්‍රතිපත්තිය නිසා තත්ත්වය තවත් ව්‍යාකූල වෙලා.

මේක ආගමට අයිති වැඩක් නෙමෙයි

‘බ‍්‍රසීලයේ සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙන මේ යොවුන් ගැබ්ගැනීම් පුළුවන් තරම් ඉක්මනින් අඩුකරගත යුතුයි. ලිංගික සබඳතා පවත්වන වයස දැනට තිබෙනවාට වඩා පහු කරන්න ඕන කියලා රජය දැන් හරි කට ඇරපු එක ගැන සතුටුයි. මොකද මෙච්චර කාලයක් හැමෝම හිතාගෙන හිටියේ ඒක ආගම්වලින් දාලා තියෙන නීතියක් කියලා’

මෙහෙම කියන්නේ බ‍්‍රසීලයේ කාන්තා, පවුල් සහ මානව හිමිකම් පිළිබඳ අමාත්‍යවරිය වන ‘ඩැටාරෙස් ඇල්විස්’ Minister of Women, Family and Human Rights (MMFDH) of Brazil, Damares Alves.

මෙහිදී වැදගත්ම කාරණය තමයි ඇය ‘ශුභාරංචි දේවගැතිවරියක’ වීම. ඇගේ මේ පසුබිම යෞවනියන් අතර සිදුවන ගැබ් ගැනීම් අවම කිරීමට කාලය සිට කතෝලික පල්ලිය විසින් ගෙන ගිය වැඩපිළිවෙළට අමතර ශක්තියක් වෙලා තිබෙනවා.

මේ වන විට ඩැටාරෙස් වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ‘යෞවනය විඳීම අංක එකට: ගැබ් ගැනීම් පසුවට’ යන තේමාවෙන් යුතුව යෞවන යෞවනියන් ඉලක්ක කරගත් දැවැන්ත වැඩසටහනක් බ‍්‍රසීල රජය විසින් ආරම්භ කර තිබෙනවා.

‘අපි යොවුන් පරපුර වෙත ගෙන යන්නේ සරල, ඒත් ඉතා වැදගත් පණිවුඩයක්’ ඩැටාරෙස් කියනවා.

‘නවතින්න – සිතා බලන්න – යෞවනත්වය විඳින්න, ගැබ් ගැනීමෙන් වළකින්න’ එහි සරල තේමාවයි.

‘මේක මදක් ආගමික නැඹුරුවක් ඇති තේමාවක්. ඒත් එහි ගැටලූවක් නැහැ. අපි මෙතැනින් නවතින්නේ නැහැ. අපි යොවුන් පරපුරට කියන්නේ ‘හැම දෙයක්ම නිසි කලට’ කරන්න කියලයි. මේක අද යොවුන් පරපුර අතර අතිෂය ජනප‍්‍රිය පාඨයක්. එය සමාජමාධ්‍ය තුළ සුලභව හුවමාරු වෙනවා’ ඩැටාරෙස් කියනවා.

‘අපි, බ‍්‍රසීල රජය යොවුන් ප‍්‍රජාවට ඒත්තු ගන්වන්න හදන්නේ ‘ගැබ් ගැනීම් කිසිසේත් අනවශ්‍ය බවයි’

අද යොවුන් පරපුරට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙමින් දැවැන්ත අභියෝගක් කරට ගෙන සිටින්නේ බ‍්‍රසීල රජය පමණක් නොවෙයි. ආගමික නායකයින් සහ සංවිධාන ද එහි බරපතළ තත්ත්වය මනාව වටහා ගෙන සිටිනවා. එය ජය ගැනීමට අනලස්ව සටන් කරනවා. ඒ අතර ඉදිරියෙන්ම සිටින සංවිධානයක් වන්නේ ‘මම කල් ගන්න තීරණය කළා’ යන සිංහල තේරුම ඇති සංවිධානයක්.

මෙහි පුරෝගාමියෙකු වන ‘නෙල්සන් ජුනියර්’ දේවගැතිතුමාට අනුව රජය විසින් ආරම්භ කළ නව ව්‍යාපාරය නිසා මෙතෙක් කල් ආගමික සංවිධාන හරහා ගෙන ගිය වැඩපිළිවෙළට අලූත් වටිනාකමක් එකතු වෙලා තිබෙනවා.

‘ආගමික සංවිධාන, පූජකවරුන් මේ වාගේ ගැටලූ ගැන සමාජ ඉදිරියට ගොස් කතා කරන කොට බොහෝ විට අපි දිහා වපර ඇසින් තමයි බලන්නේ. ඒත් දැන් තත්ත්වය වෙනස් මේ දෙස විද්‍යාත්මකව, තර්කානුකූලව බැලීමට සමාජයට බලපෑමක් එල්ල වෙලා තිබෙනවා’ දේවගැතිතුමා කියනවා.

නිසි වයස එළඹෙන තෙක් ලිංගික සබඳතාවලට යොමු වීමෙන් වැළකීම හුදෙක් ආගමික දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව තර්කානුකූලව, සමාජයීය හා පෞද්ගලික සුවතාවය යනාදී අංශවලින් ද ඵලදායක වූ ආරක්ෂිත පූර්වෝපායක් බවයි නෙල්සන් දේවගැතිතුමා කියන්නේ.

‘ආගමික නායකත්වය හරහා සමාජගත කිරීමට තැත් කරන ඕනෑම දෙයක් දිහා බ‍්‍රසීල සමාජය බලන්නේ සැකයෙන්. ඔවුන් සිතනවා අපි කියන දේවල් කාලයට ඔබින්නේ නැති යල්පැන ගිය දේවල් කියලා. ඒත් දැන් තත්ත්වය වෙනස් වෙලා. රජය සහ ආගමික සංස්ථාව එක්වීම සමග මෙම ව්‍යාපාරයට තර්කානුකූලභාවයක් වගේම සුජාතභාවයකුත් ලැබිලා තියෙනවා. නිල තත්ත්වයක් ද තිබෙනවා. වැය කරන්න මුදල් හා පිරිස් බලය තිබෙනවා’ දේවගැතිතුමා විශ්වාසනීය ස්වරකින් කියනවා.

යොවුන් පරපුරේ ප‍්‍රතිචාරය

‘වික්ටෝරියා මරියා ඞී ඔලිවෙයිරා සිය මව සමග

හුඟක් පිරිමි ළමයි කොණ්ඩම් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒකට ගැහැනු ළමයිනුත් වගකියන්න ඕනෑ. මොකද තමන්ගේ පෙම්වතා උපත් පාලන කොපුවක් ළඟ තබාගෙන ඉන්නවා කියන එක එයාලා දකින්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙක් එක්ක ලිංගික සබඳතා පවත්වන්න පෙර සූදානමක් විදිහටයි. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට ඒක හේතුවක් වෙනවා’

ආණ්ඩුව සහ ආණ්ඩුවේ වැඩ ගැන බොහෝ සමාජවල, විශේෂයෙන් තරුණ පරපුර අතර එතරම් ප‍්‍රසාදයක් නැහැ. බ‍්‍රසීලයේ තත්ත්වය ඒ සියල්ලටම වඩා වැඩියි. ඒත් යොවුන් වියේ ගැබ් ගැනීම් පාලනය කිරීමට රජය ගන්නා පියවර ගැන ඔවුන්ට ‘බරපතළ’ සැකයක් හෝ ‘විරෝධයක්’ නැති බවයි පෙනී යන්නේ.

මේ තත්ත්වය හේතුව පහසුවෙන් වටහා ගත හැකියි.

‘ආගමික ඉදිරිපත් කිරීම්වලදී වගෙ නොවෙයි රජය යොවුන් පරපුරට ගෙන යන්නේ ඔවුන්ටත් අවස්ථාව දීමේ ප‍්‍රතිපත්තියක්. යොවුන් වියේදී ලිංගික සබඳතාවලින් මුළුමනින්ම ඉවත් වීම’ යන යෙදුමක් රජයේ ව්‍යාපෘතිය තුළ නැහැ. එය යොවුන් ප‍්‍රජාව අතර විශ්වාසය තහවුරු කිරීමට හේතු වී තිබෙනවා’ නෙල්සන් ජූනියර් දේවගැතිතුමා කියනවා.

යොවුන් පරපුරේ මේ ආකල්පය ගැන අපට ප‍්‍රායෝගික උදාහරණයක් ලබාගත හැකියි. ඒ තවත් මාස කිහිපයකින් මවක් වීමට යන, යාන්තම් 20 වැනි වියට පා තබමින් සිටින ‘වික්ටෝරියා මරියා ඞී ඔලිවෙයිරා’ ගෙන්.

බ‍්‍රසීලයේ සෙසු නව යොවුන් දැරියන් සේම යාන්තම් වසය අවුරුදු 15දී පමණ ලිංගික සබඳතා ආරම්භ කළ වික්ටෝරියා ලිංගික සබඳතා ගැන තමාට තවමත් විධිමත් දැනුමක් නැති බව පවසනවා. ඒ ඇයගේ පවුලේ වැඩිහිටි කිසිවෙක් ‘තහනම් මාතෘකා’ ගැන කතා කිරීමට ඉදිරිපත් නොවූ නිසයි. එහි ආදීන ඇයට පමණක් නොව ඇයගේ පවුලේ සෙසු අයට ද නොබෝ කලකින් අත්විඳීමට සිදු වුණා. ඒ වසය අවුරුදු 19 පසු කරමින් සිටින විට ඇය ගැබ් ගැනීම සමගයි. මේ වන විට මාස කිහිපයක දරු ගැබක් දරා සිටින ඇය කියන්නේ මෙවැනි කතාවක්.

‘ඇත්තම කිව්වොත් මම ගැබ්ගෙන ඇති බව දැනගත් විට දැඩි කම්පනයට පත් වුණා. ඒත් ගබ්සාවක් කිරීමට මට හිත හදා ගන්න බැහැ. ඒ නිසා මම අත්දැකීම් මතයි මේ කියන්නේ. මුළුමනින්ම ලිංගික සබඳතාවලින් වැළකී සිටීමට උපදෙස් දෙනවාට වඩා අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකෙන්නේ කෙසේද යන්න ගැන විද්‍යාත්මක දැනුමක් ලබා දෙනවාට මම කැමතියි’ වික්ටෝරියා කියයි.

‘කොණ්ඩම්, උපත් පාලන පෙති භාවිතය වැනි කරුණු මම සලකන්නේ ප‍්‍රායෝගික නැති දේවල් විදිහටයි. ඒ අත්දැකීමෙන්ම තමයි’ යැයි තම අත්දැකීම් ගැන කියන වික්ටෝරියා වැඩි දුරටත් කියන්නේ තව දුරටත් සිතා බැලිය යුතු යොවුන් පරපුර අතරම පවතින ප‍්‍රායෝගික කතාවක්.

‘හුඟක් පිරිමි ළමයි කොණ්ඩම් පාවිච්චි කරන්න කැමති නැහැ. ඒකට ගැහැනු ළමයිනුත් වගකියන්න ඕනෑ. මොකද තමන්ගේ පෙම්වතා උපත් පාලන කොපුවක් ළඟ තබාගෙන ඉන්නවා කියන එක එයාලා දකින්නේ ඕනෑම අවස්ථාවක, ඕනෑම කෙනෙක් එක්ක ලිංගික සබඳතා පවත්වන්න පෙර සූදානමක් විදිහටයි. දෙදෙනා අතර ගැටුම් ඇතිවීමට ඒක හේතුවක් වෙනවා’

ගැබ් ගැනීම්වලින් වැළකීමට නම් ලිංගික සබඳතාවලින් වැළකෙන්නේ කෙසේද යන්න නොවෙයි කියා දිය යුත්තේ. පාසල් හරහා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි’ ඩෑනී කියයි.

වින්නඹු මාතාවක් කියන කතාව

‘ඩෑනී සැම්පායෝ’

සා ඕපෝලෝ නගරයේ දිළිඳු ජනතාව සමග කටයුතු කරමින් ඔවුන්ගේ රුචි අරුචිකම් මනාව වටහා ගෙන සිටින වින්නඹු නිලධාරිනියක මෙන්ම සමාජ ක‍්‍රියාකාරිනියක ද වන ‘ඩෑනී සැම්පායෝ’ ද දරන්නේ වික්ටෝරියාගේ මතයට සමාන මතයක්.

‘ගැබ් ගැනීම්වලින් වැළකීමට නම් ලිංගික සබඳතාවලින් වැළකෙන්නේ කෙසේද යන්න නොවෙයි කියා දිය යුත්තේ. පාසල් හරහා විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට රජය මැදිහත් විය යුතුයි’ ඩෑනී කියයි.

ලිංගික සබඳතාවලින් වැළකෙන හැටි කියන්න පෙළාපාළි ගිහින් වැඩක් නැති බව ඇය කියයි.

‘ලිංගික සබඳතා වර්ජනය කිරීම කියන්නේ කෙනෙකු තුළ හට ගන්නා කිසියම් විශ්වාසයක් මත පදනම් වුණ තීරණයක්. ඒක අනවශ්‍ය ගැබ් ගැනීම් වැළැක්වීමට තියෙන එක් විකල්පයක් පමණයි. සමාජය තුළ මුල්බැස ගෙන තිබෙන සම්ප‍්‍රදායික විශ්වාස විතරක් නෙමෙයි, ඇතැම් විට ආගමික විශ්වාසත් මිනිස්සු විද්‍යාත්මක කරුණු සමග පටලවා ගන්නවා. සිරුර ක‍්‍රියා කරන ආකාරය සහ ලිංගික සබඳතා පිළිබඳ විද්‍යාත්මක දැනුමකුයි අද අපි තරුණ ප‍්‍රජාවට ලබා දෙන්න ඕනෑ’ ඩෑනී අවධාරණාත්මකව කියනවා. ඒ සිය ප‍්‍රායෝගික අත්දැකීම් මත වීම විශේෂත්වයක්.

අභියෝග මොනවාද ?

රජය සහ ආගමික අංශ විසින් මුළු වැර යොදා ගෙන යන මෙම වැඩපිළිවෙළට බාධාකාරී වන සමාජ – ආර්ථික බාධක රැුසක් පවතින බවයි ඩෑනි කියන්නේ.

‘බ‍්‍රසීලය කියන්නේ අමුතුම රටක්. අපේ තියෙන්නේ ආවේගශීලී පුරුෂ කේන්ද්‍රීය සමාජයක්. ඒ තුළ කාන්තාව කියන්නේ හුදෙක් ලිංගික භාණ්ඩයක් මිස වෙන කිසිවක් නොවෙයි. මේක යොවුන් වියේ ගැබ් ගැනීම් පාලනයට තිබෙන ප‍්‍රධානතම බාධාව බව මගේ අත්දැකීමයි’

මේ අතර ලංකාවේ මැදගොඩ අභයතිස්ස හිමි වැනි පාර්ශ්ව ද බ‍්‍රසීලයේ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සිටින බව ඩෑනී කියයි.

‘ලිංගික අධ්‍යාපනය නිසා ලිංගික ක‍්‍රියාකාරකම් කෙරෙහි තරුණ පරපුර තුළ පෙර පැවතියාට වඩා වැඩි උනන්දුවක් හෝ නැඹුරුවක් ඇතිවිය හැකියි කියලා තර්ක කරන කණ්ඩායම් අපි අතර බහුලව සිටිනවා. සමාජය තුළ ‘අනවශ්‍ය භීතියක්’ වපුරන මෙවැනි පිරිස් තමයි බලවත්ම බාධකය වන්නේ’ ඇය කියනවා.

‘අපි මේ ගැන සොයා බලමින් සිටිනවා. අප ගත් තීරණය යළි ආ පසු හැරවීමට අපි කිසි විටක සූදානම් නැහැ’ බ‍්‍රසීල කාන්තා කටයුතු ඇමතිනිය අවධාරණාත්මකව කියනවා.

දැන් අපි ලංකාව ගැන සිතමු…

Text and pictures by BBC.COM – සටහන : තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor