කොදෙව්වන්ට එරෙහි පළමු පුහුණුවට නවකයන් රැසක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගය සඳහා නවකයන් රැසකගෙන් සමන්විතව නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ නායකත්වය සඳහා උපුල් තරංගව පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටියද ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරී තිබේ. ඔහුට අමතරව ශිරාන් ප්‍රනාන්දුද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවත් ආබාධයක් හේතුවෙන් ඔහුටද මෙම තරගය මග හැරෙනු ඇත. ඒ වෙනුවට සධීර සමරවික්‍රම සහ තික්ෂිල ද සිල්වා සංචිතයට එක් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අතර මෙම කණ්ඩායමට මෑතකදී වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ලද සහ නියෝජනය කරන ක්‍රීඩකයින් කීපදෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. නවකයන්ගේ දක්ෂතා පිළිබඳව විශ්වාස තබා ඇති තේරීම් කමිටුව වර්තමාන වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරනු ලබන ඩිල්ෂාන් මධුශංක සහ කවිඳු නදීෂාන්ව කණ්ඩායමට එක් කොට තිබේ.

හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ මධුශංක අවසන් වුණු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි ස්ථානයේ රැදී සිටියේය. කවිඳු නදීෂාන්ට ලෝක කුසලාන තරගාවලියේදී එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වුවත් ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී කඩුලු 18 ක් දවා ගනිමින් කුසලාන දිනා ගැනීම වෙනුවෙන් වැඩි මෙහෙවරක් කරමින් දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානයට හිමිකම් කීවේය.

නම් කරන ලද කණ්ඩායමේ වේග පන්දු යැවීමේ ප්‍රධාන වගකීම අසිත ප්‍රනාන්දු වෙත හිමිවද්දී ඔහුට සහායකයින් ලෙස තික්ෂිල ද සිල්වා, ඩිල්ෂාන් මධුශංක සහ චාමික ගුණසේකර නම් කර තිබේ. මීට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් තරිඳු කෞෂාල් ටද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම කැපී පෙනෙයි. ඔහුට අමතරව සචිදු කොළඹගේ කවිඳු නදීෂාන් සහ පුලින තරංග ද දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

කලක් ශ්‍රී ලංකා පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත්ව සිටි අසේල ගුණරත්න කෙරෙහිද අවධානය යොමු කර සිටින තේරීම් කමිටුව ඔහුගේ දක්ෂතා යළි මැන බැලීම වෙනුවෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දී තිබේ. ඒ අතර ඇන්ජලෝ පෙරේරාද ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා සංචිතය – උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ශාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර.

Text by sl cricket

Recommended For You

About the Author: Editor