‘දියවැඩියාවට වංගු ගසා’ කුස සනහන බත් කටක්

වී තැම්බූ හාලේ බතේ දෘඩ පිෂ්ඨය වැඩියි, දිරවීම ප්‍රමාදයි

කැකුළු හාලේ බත් වලින් රුධිරයට සීනි ඉක්මනට

සීතල කැකුළු බත් රත්කර කෑමෙන් වැඩි වාසියක්

ආසනික් වලට බියෙන් හෝ බත් අඩුකිරීම හොඳයි

පසුගිය සතියකදී තම්බාපු හාල් හා කැකුළු හාල් ගැන සංසන්දනාත්මක ලිපියක් පළකිරීමෙන් පසුවද පෙර පුරුද්දට විද්‍යුත් ලිපිනයේ ‘ලැබීම්’ ගොනුව විවෘත කල මට දෑස් අදහා ගැනීමට පවා අපහසු විය. ලියුම් මල්ලේ බර, පරිගණක යතුරු පුවරුවට එබෙන ඇඟිලි තුඩු හරහා කාන්දුවී ශරීරයට උරාගෙන, කර මතටද පැටවුනා සේ දැනෙන්නට විය. ඒ තරමට එය බරින් වැඩිය.

එදා ලිපියේ සඳහන් කල තම්බපු හාලේ ඇති ‘දෘඩ පිෂ්ඨය’ ගැන බොහෝ දෙනෙක් තව තවත් තොරතුරු විමසා තිබුණි. බහුතරය දියවැඩියාව ගැන උනන්දු වන්නන්ය. බත් මුට්ටියෙන් ගසා කෑමේ අන්දරයේ සිට සහල් ගැන ලියා හෙම්බත්ව සිටි මා මේ යටතේ ලියන අන්තිම ලිපිය යයි සිතා එම ලිපිය ලියූවේ, ලිපිය තුලම ඒ ගැනද සඳහන් කරමින් වුවත් දැන් ඉතින් නැවතත් මේ මාතෘකාව යටතේම අන්තිම ලිපිය යයි සිතා කඩිමුඩියේම තව එකක් ලියන්නට හිත හදාගත යුතුව තිබේ. සැලසුම් කරගත් වෙනත් මාතෘකා පස්සට ඇද දමන්නටද සිදුවී තිබේ.

වැඩ නිමවා ගෙදර ඇවිත් හාල් හුන්ඩුවක් රයිස් කුකරයට දමා තම්බාගෙන, මස් මාළු බිත්තර නැතිනම් කරවල කෑල්ලක්වත් සමග අනාගත් එළවළුවක් මිශ්‍ර බත් කටක් මුව තුලට ඔබාගන්නට විවේකයක් නොමැති කාර්යබහුල ජනතාවක්, ජංගම වෑන් එකේ විකුණන සම්බෝල මැදිකල ඉඳිආප්ප මුලට ග්‍රොසරි බෑග් එක කඩා කිරි හොද්ද හලාගෙන වලඳනා අතරතුර, තැම්බූ හාලේ හා කැකුළු හාලේ ගුණදොස් විමසීමට ඉදිරිපත්වීම ගැන නම් මට ඇත්තේ ආඩම්බරයකි. තෝරමාළු තිබියදී මඩකරි කන්නා සේ මෙවන් දෑ කෙරුවත් ඒ සියල්ලෝම තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ඇතැම්විට උවමනාවටත් වඩා යටිහිතෙන් සැලකිලිමත් වෙන බවද, ඒ විමසීම් හරහා පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත් ජනතාවට යහපත් සෞඛ්‍යය පුරුදු ගැන දේශනා කරන්නටවත්, දියවැඩියාවට බෙහෙත් නියම කරන්නටවත්, ලාවට කෘෂිකර්මය ඉගෙනගෙන ඇති අපට අයිතියක් නැත. ඒ සඳහා පෝෂණවේදීන්, වෛද්‍යවරුන් වැනි කණ්ඩායම් සිටී. එහෙත් අප දන්නා දේ නොකියා සිටිය යුතු වන්නේද නැත.

ඇතැමෙක් අසන්නේ දියවැඩියාවට වඩා හොඳ කැකුළු හාල්ද තම්බපු හාල්ද යනුවෙනි. තවත් අයෙක් බාස්මතී ගැනද අසති. පසේ තිබෙන ආසනික් හාල් වලට ඇතුළුවී බත්කන මිනිසුන්ට වින කටින එක ගැන දැන් කතා නැත්තේ මොකදැයි, කල්ගතවූ කුණු ගොඩක්ද තවත් ලිපියකින් අවුස්සා තිබිණ. මේ සියල්ලට උත්තර බඳින්නට මා හට විශේෂඥ දැනුමක් නම් නැත.

අපේ රටේ සමහර ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් හා පූජ්‍ය පක්ෂයේ අය කෘෂිකර්මය දන්නා තරමට ‘අනේ අපිනම් දන්නේ නැතැයි’ බොහොමයක් කෘෂි විද්‍යාඥයින් වේදනාව හිර කරගෙන හිත හදාගෙන ඉන්නා විලසින්, මාද පුරුදුවී ඇත්තේ පරිස්සමෙන් පසු පාදයේ ක්‍රීඩා කිරීමටයි. ඉඳ හිටලා සික්සරයක් ගසන්නේ අතේ පයේ හිරි යන්නට මිස කවුරුන් සමග හෝ ඇති ආරෝවක් පිරිමහන්නට නොවේ.

රූප පෙට්ටියේත්, පත්තර පිටුවලත් පිරවෙන බොහොමයක් කෘෂිකර්ම තොරතුරු ලියවෙන්නේ කෘෂි විද්වතුන් අතින් නොවන බව කාලයක් තිස්සේ අවබෝධවීම නිසා එලෙස හිත හදා ගන්නට ඇතැම් කෘෂි විද්වතුන්  නැඹුරු වූවා වියහැකිය. ලියන්න කියන්න අත කට හයිය අයට, දන්නා නොදන්නා හැමදේම සිතැඟි පරිදි වමාරන්නට දොරගුළු හැරදීමේ වරදේ වැඩිහරියක් මා නම් පටවන්නේ කෘෂිකර්මයෙන් ඩබල් ට්‍රිබල් ඩිග්රි ගසා ඇති මෙම කණ්ඩායමටයි.

හොම්බේ තණකොළ ගහක් වැදුනත් පෙන පෙරාගෙන කටුව ඇතුලට රිංගන ගොලුබෙලි පුරුද්ද අත්හරිනා තාක්කල් ගොවිතැන ගැන වැරදි මත ජනගත වීම වැළක්විය නොහැකිය. පොඩි එවුන් නැති ගෙදර නාකි දනගාන එක ගැන ඒ නිසා වැරද්දක් කියන්නටද බැරිය. ඒ අනුව පටන් ගැනීමේදීම කියන්නට ඇත්තේ මෙම ලිපිය මගින් ඉදිරිපත් කෙරෙන්නේ කෘෂිකර්මය හා බැඳී පවතින ආහාර තාක්ෂනය හා පෝෂණය සම්බන්ධ කරුණු මිස දියවැඩියාවට බෙහෙත්වත්, ඔවුන්ගේ කෑම වට්ටෝරුවත් නොවන බවය.

මෙම තොරතුරු වලින් යම් ආභාෂයක් ලබමින් දියවැඩියාවට අදාළ උපදෙස් රෝගීනට නිකුත්කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරයක් වන අතර, අප දුන් නිලාකූර පත්තුකර, එහි එළියෙන් සිත සනහාගෙන, දොස්තර ගෙදර රබන් ගහන්නට යාම රෝගියාගේ වගකීමක්ද වන්නේය.     

වී තම්බා සහල් නිපදවීමේ ප්‍රධාන පියවරයන් තුන වන වී පෙඟවීම, තැම්බීම හා කෙටීම යන කාර්යාවලිය හරහා යන විට සහල් කිලෝවක් නිපදවීමට යන මුලික වියදම වැඩිවෙනවා සේම, සහලේ රසායනික හා ගුණාත්මක ගතිගුණද සැලකිය යුතු තරමින් වෙනස්වේ. මේ වෙනස්වීම් වලට සමහරු කැමතිය, තවත් අය අකමැතිය. මේ හේතුව නිසාම ලෝක වී නිෂ්පාදනයෙන් 50% ක් පමණ මේ වනවිට තම්බා කොටන තත්වයට පත්වී තිබෙන අතර ඉතිරිය කැකුලෙන් පාරිභෝජනය කරනු ලබයි.

වී තැම්බීමේදී ඇතුලත අන්තර්ගත පිෂ්ටය හොඳටම ‘බෙරි’ වී නැවත වියලෙන නිසා සහල් ඇටයට අතිරේක සවියක් ලැබෙන අතර, වී කෙටීමේදී සුලභව සිදුවෙන සහල් කැබලිවීම මේ නිසා අවම වන්නේය. ඒ නිසා කැකුලට කොටනවාට වඩා 3% – 4% කින් සහල් අස්වැන්න වී තම්බා කොටන විට වැඩිය. අපතේ යාම අඩුය. තම්බන උෂ්ණත්වය හමුවේ වී ඇටය තුල තිබූ එන්සයිම යනාදිය විනාශවී ගොස්, ගොයම් පැලයක් සාදන කලලයද මැරී සම්පූර්ණයෙන්ම සෑදෙන්නේ අජීවී ව්‍යුහයකි.

මේ නිසා දිලීර වර්ධනයක් නොහොත් ‘පුස්කෑම’ ක් වී ඇටය තුල සිදුවෙමින් තිබුනානම් එයද අවසන්වේ. වී පොතු එකිනෙක ඈත්වීම නිසා දැන් ඉතින් වී කොටා සහල් කිරීමද පහසුය. මෙලෙස ලැබෙන තැම්බූ සහල් වල ඇටවල තිබෙන දැඩි බව නිසාම පහසුවෙන් ගුල්ලෝ නොගසයි. වී පොතුවල ඇති යම් කොටස් සහල් ඇටයට උරාගන්නා නිසා දැන් එය තරමක් අවපැහැ ගැන්වීද තිබේ. දිනපතා ඛනිජ අවශ්‍යතාවය පැත්තෙන් බලනකල මෙය ඉතා ප්‍රයෝජනවත්ය.

කැකුළු සහලෙන් බතක් පිසිනවාට වඩා මඳක් වැඩි කාලයක් ගත්තද, බත ‘බෙරි’ නොවීම සහ එකට නොඇලීම අනුභව කරන්නාට වාසියකි. බෙරි වූ බතකින් රුධිරයට ග්ලූකෝස් නිදහස්වීම පහසුවෙන් සිදුවේ. රුධිරයේ සීනි පාලනය කරන්නට අවශ්‍ය තරමට ඉන්සියුලින් නම් හෝමෝනය නිපදවාගන්නට බැරි දියවැඩියා රෝගීන්ට හෝ එය සෑදීමට ආසන්න තත්වයේ සිටින පුද්ගලයින්ට මේ නිසා කැකුළු හාලේ බතට වඩා තම්බපු හාල් බත් වඩාත් සුදුසුය.

රුධිරයට සීනි නිදහස් කිරීමේ වේගය ‘ග්ලයිසෙමික් අගය’ වශයෙන් අප පසුගිය ලිපියකින්ද හඳුන්වා දුන්නෙමු. ස්වාභාවිකවම තම්බපු හාලේ ඇති දැඩි බව නිසාම එහි ග්ලයිසෙමික් අගය අඩුය. සහල් මාදිලිය අනුවද ග්ලයිසෙමික් අගය එහා මෙහා වෙයි. බාස්මතී සහල්වලත් ග්ලයිසෙමික් අගය අඩුය.

ලංකාවේ වෙළඳසැල්වල කිලෝ ගණනට කිරා සිල්ලරට විකුණන සහල් බාස්මතී නොවන බවද, ඒවාහි ග්ලයිසෙමික් අගය ඉහල බවද, දියවැඩියාවට ඒවා යෝග්‍ය නොවන බවද, මෙතැන් සිටවත් අප තේරුම් ගත යුතුවේ. නියම බාස්මතී කිලෝව ලංකාවේ මුදලින් රුපියල් තුන් හාරසීයක් පමණ වේවි. ඒවා දිග ඇට වන අතර පිසීමේදී මහත් නොවී දිගින් පමණක් වැඩිවේ. දිග වැඩිවෙන නිසාම පිසින ලද බත් ඇට මඳක් වක්‍රවීමක් පෙන්වයි.

දියවැඩියාවට බාස්මතී හොඳයි කියා සිතමින්, හොර බාස්මතී පාරිභෝජනය කර ලෙඩේ වැඩිකරගැනීම නම් නොදන්නාකම මෙන්ම නොසැලකිල්ලත් එකට අමුණා ලබාගන්නා වූ ප්‍රතිපලයන්ය. තම්බපු හාලෙන් සැනහීම ඊට වඩා දහසක් වටින්නේය.

බත් කන බොහොමයක් දෙනා එය කෑමට කැමති උණු උණුවේ අත කට පිච්චෙද්දීය. හිඟමනේ යන තැනැත්තාට දෙන්නේ පරණ බත්ය. ඒවා සීතලය. හිඟන්නාට මොන උණු බත්දැයි අසන්නේ මේ නිසාය.

මේ හා බැඳුනු පුවතක් විදෙස් වාර්තාවකින් මා හට කියවන්නට ලැබුණි. සුදු සහලේ කැකුළු බතක් උයා එය සෙන්ටිග්‍රේඩ් අංශක 4 ක උෂ්ණත්වයකට පැය 24 ක් තිස්සේ තබා, එනම් සාමාන්‍ය ශීතකරණයක දිනක් තැබීමෙන් අනතුරුව නැවත රත්කර නිරෝගී මිනිසුන් 15 දෙනෙකුට කෑමට දී තිබේ. ඔවුන්ගේ රුධිරයට නිකුත්කෙරෙන ග්ලූකෝස් මැන බැලුවිට පෙනෙන්නේ, එවේලේම පිසින ලද එම වර්ගයේම බත් කෑ අයට වඩා රුධිරගත ග්ලූකෝස් මේ 15 දෙනාගේ අඩු බවයි.

තැම්බූ සහලේ බතක් නොවුවත්, වරක් රත්කර සිසිල් වූ නිසා මේ සහලේද දෘඩ පිෂ්ඨය සෑදී ඇති බවකි මින් පෙනෙන්නේ. දියවැඩියා අවදානම් කලාපයේ ජීවත්වෙන කැකුළු බත් ලෝලීන්ට නම් මෙය අගේ ඇති ආරංචියකි. හිඟන්නාට මින්පසු උණුබත් ලැබෙනු ඇත. ගෙදර එක්කෙනා බඩගිනි දැනෙන විට ශීතකරණය අසලය.

විදෙස් රටවල නම් සීතල බතෙන්ම සාදන කෑම වට්ටෝරු පවා තිබේ. ඔවුන් ඒවා අනුභව කරමින් නොදැනුවත්වම මේ වාසිය කලෙක සිට ලබා ගන්නටද ඇත. උණු බතටම පෙම් බඳිමින් එය පසුපසම ගියත්, අපගේ අතීත ආහාර පුරුදු තුලද මෙවැනි දෑ තිබුණි. පැරණි සිරිතකට අනුව අප ‘දියබත්’ කෑමෙන්ද ලැබුවේ මෙම වාසියම නොවේයැයි කාට කිව හැකිද? එකල ගමේ ගෙවල්වල ශීතකරණ තිබුනේ නැත.

බත්මුට්ටියේ ඉතිරියට වතුර පුරවා තබා, පසුදා එය නැවත රත්කර පතරාසය සඳහා යොදාගත් අතර, පිසූ බත් නැවත සිසිල්වීමෙදී බිහිවෙන දෘඩ පිෂ්ටයේ ආශ්වාදය ගැමියා ලැබුවේ මෙහි අලගිය මුලගිය තැන ගැන විද්‍යාත්මක අවබෝධයක් ඇතුව නොවේ. කුසපුරා තුන් වේලම බත් වලඳමින් ඔහු ආරක්ෂාවී ඇත්තේ කය වෙහෙසා වැඩකිරීමට අමතරව, නොදැනුවත්වම හෝ ජීවිතයට ලංකරගෙන සිටි මෙවැනි ආහාර පුරුදු හරහාය.

පිසූ බත්, හොඳින් වැසිය හැකි භාජයක දමා ශීතකරණයේ තබන මෙන් මා කියවූ වාර්තාවේ තවදුරටත් උපදෙස් දී තිබුණි. බාහිරයෙන් පැමිණෙන බැක්ටීරියා වැනි ක්ෂුද්‍රජීවීන්ට බත්පත දූෂණය කිරීමට ඉඩ නොදීමයි එහි බලාපොරොත්තුව.

වී තම්බා වේලන විට සහලේ පිෂ්ඨ කොටසක් බත් මුට්ටිය ඉදෙන්නට පෙරදීම ‘දෘඩ පිෂ්ඨය’ බවට පත්වී තිබේ. ඒ නිසා ජීර්ණය හෙමිහිට සිදුවෙන අතර රුධිරයට සීනි නිදහස් වීමද ඊට සම්පාතව සෙමෙන් සිදුවේ. කැකුළු සහලේ බත් පිස, පසුව සිසිල් කිරීමේදීද මේ ආකාරයටම දෘඩ පිෂ්ඨය සෑදෙන බව පෙන්වීමට මේ කුඩා සමීක්ෂණය හොඳ අත්වැලක් සපයයි.

ප්‍රී බයොටික් (Prebiotic) සේ ඇතැම් විස්තරවල හඳුන්වන්නේද කුඩා බඩවැල තුලදී ජීර්ණයට ප්‍රතිරෝධීව ක්‍රියාකර, එහෙත් මහ බඩවැල තුල ඇති බැක්ටීරියාවන් හමුවේ බිඳ වැටෙන, මෙම දෘඩ පිෂ්ඨය හා ආහාරමය තන්තු කොටස්ය. අහවල් දේ තෝරාගන්න යයි අප නිර්දේශයක් නොදුන්නත්, දියවැඩියාවෙන් බේරෙන්නට හෝ බෙහෙත් නොබී දියවැඩියාව පාලනය කරගෙන ජීවත් වීම සඳහා තම බත්පත සරසා ගන්නට යොදාගත යුත්තේ කැකුළුද, තම්බපුවාද, සීතලටද, රස්නෙටද බාස්මතී නම් ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියා දැන් ඉතින් පාඨක ඔබටම තීරණය කල හැකිවේවි.

ලොව පවතින විෂ සහිත මූලද්‍රව්‍ය අතුරින් ආසනික් වලට ඇත්තේ ඉහල ස්ථානයකි. මෙය අංශු මාත්‍ර මූලද්‍රව්‍යයක් සේ හැඳින්වෙන්නේ එය ස්වභාවිකව ඉතා සුලු වශයෙන් පරිසරයේ පවතින නිසාය. ඉතිහාසය පුරාම මේ මූලද්‍රව්‍යය පරිසරයේ ක්‍රියාත්මක වන ‘ආහාර දාමය’ ඔස්සේ ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමින් දාමයේ අන්තිම පුරුක් ලෙස ක්‍රියාකරන මිනිසා ඇතුළු තවත් සතුන් කීපදෙනෙකුගේ සිරුරු තුලටද ඇතුළුවී තිබේ.

වර්තමානයේ සිදුවන පරිසර දූෂණය හමුවේ මේ තත්වය දැන් තරමක් කනගාටුදායක මට්ටමකට පිවිසෙමින් සිටිනා බවට  විද්වත් මත පළවේ. පසුගිය කාලයේ ලෝකයේ සැලකිය යුතු පිරිසකගේ ප්‍රධාන ආහාරය සාදන සහල් තුලද ආසනික් යම් තරමින් අන්තර්ගත වෙන බවට කතා පැතිරී ගියේය. පරිසරයේ ආකාර දෙකකට ආසනික් පවතින්නේය. අකාබනික ආසනික් වඩාත් හානිදායක වන අතර එය පසෙහි පවතී. ශාක සහ සත්ව දේහ තුලඇත්තේ  කාබනික ආසනික්ය.

අපිරිසිදු බොන ජලයෙන් අකාබනික ආසනික් මිනිසා තුලට පිවිසෙන අතර, මාළුන්, ඉස්සන් බෙල්ලන් වැනි සාගර වාසීන්ගේ දේහතුලද ආසනික් අන්තර්ගත වෙන නිසා ඔවුන් අනුභව කිරීමෙන්ද මේ දායාදය අපට  ලැබේ. නමුත් ඒ කාබනික ස්වරුපයෙන්ය. එනම් විෂ අඩු තත්වයෙන්ය. අකාබණික ආසනික් ඇතුල් වියහැකි තුන්වෙනි ආකාරය වන්නේ සහල් හරහා බව විද්වතුන් අනාවරණය කරගෙන තිබේ. මන්දයත් ගොයම් ශාකය අන් බෝග ශාක වලට වඩා පසේ තිබෙන ආසනික් අවශෝෂණය කරගෙන ගබඩා කරගැනීමට වැඩි නැඹුරුවක් තිබීමයි.

කන බත්පතට අමතරව බොන වතුර උගුරටත් ආසනික් එකත්වීමේ අවදානමක් තිබේ. පසේ ඉතා සුළු වශයෙන් ස්වභාවිකව තිබුනත් ඇතැම්  පළිබෝධනාශක හා වල්නාශක, දැව ආරක්ෂණ සංයෝග, පොස්ෆේට් පොහොර හා කාබනික අපද්‍රව්‍ය ඉවක් බවක් නැතිව පරිසරයට මුදාහැරීම නිසා පසේ ආසනික් ප්‍රතිශතය ස්වභාවිකව පවතින සීමා පසුකර යයි. මේවා පහසුවෙන් පස තුලින් පහලට රූටා ගොස් භූ ජලයට එකතුවේ. දැන් ළිං ජලයට පිවිසීම ඉතාම පහසුය. බංගලාදේශය වැනි රටවල් මෙම ප්‍රශ්නය හමුවේ දැඩිලෙස පීඩාවට පත්වූ රටවල් අතර සිටී. මීටඅඩ සියවසකට පමණ උඩදී ආසනික් සංයෝග වල් නාශකයක් ලෙස පවා අප භාවිතා කල බැවින් ස්වභාවිකව පවතින ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් ආසනික් සංයෝග පසෙහි හමුවන්නේනම් අප පුදුම විය යුතු නැත. එහෙත් දැන් කලක් ගතවී ඇති නිසා තත්වය යථා තත්වයට පැමිණ තිබෙනවාද විය හැකිය.  

අපේ කුඹුරටයි බත් පතටයි මේ තත්වය බලපාන්නේ කෙසේදැයි මා විමසුවේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතාගෙනි.

ලංකාවේ පසේ ආසනික්  තිබිය හැකි බව 1972 වගේ ඈත කාලෙකදී තමයි මුලින්ම ප්‍රකාශ උනේ. ඊට පසුව පේරාදෙණියේ සරසවියේ විද්‍යා පීඨයෙන් මේ ගැන සමීක්ෂණයක් පවා කෙරුවා ලංකාවේ තිබෙන බැර ලෝහ සහ ආසනික් වගේ ලෝහාලෝහ ගැන. මමත් පුද්ගලිකවම මෙවැනි ගවේෂණයන්ට මැදිහත්වෙලා තියෙනවා. පසේ ආසනික් තියෙනවා කියන කතාව ඇත්ත. මේක ස්වාභාවිකවම තිබෙන මූලද්‍රව්‍යයක්නේ. හැබැයි ලංකාව පුරාම සුළු වෙනස්වීමක් සහිතව තිබෙනවා මිස, පලාතෙන් පලාතට ලොකු එහාමෙහා වීම් නෑ.

පොලොව මතුපිට පසේ තිබෙන මූලද්‍රව්‍ය අතරින් 20 වෙනියට තියෙන්නේ ආසනික්. 2006  දී ඉන්දීය විද්‍යාඥයෙක් ලෝකයේ පාංශු ආසනික් තිබෙන කලාප වල සිතියමක් පවා හදල තියෙනවා. ඒකෙත් ලංකාව තියෙනවා. ඉතින් කුඹුරු පසේත් ආසනික් තිබුනොත් වී ශාකයත් එය උරාගනීවී. ඒකෙන් කියන්නේ නෑ එය සහල් ඇටය තුලම ගබඩා කරනවා කියලා. මොකද පුෂ්පය කියන්නේ ශාකයේ ප්‍රජනක අවයවය, ඕනෑම ජීවියෙක් තමාගේ ඊළඟ පරපුර බිහිකරන ඒකකය හදන්නේ ඉතා ආරක්ෂාකාරීව

 මහාචාර්යවරයා නොකියා විමසන්නේ එවන් වැදගත් අවයවයක් වෙතට ආසනික් වැනි ද්‍රව්‍යයක් සමූහගත කිරීමට තරම් සොබාදහම අකාරුණික වේවිද කියා වියහැකිය. කෙසේ වෙතත් පිළිගතහැකි පර්යේෂණ පත්‍රිකා ගණනාවක්ම සහල් වල අන්තර්ගත විය හැකි ආසනික් ගැන සඳහන් කර තිබේ.

ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවා  සහල් කිලෝග්‍රෑමයක තිබීම අනුමත කළහැකි උපරිම ආසනික් සීමාව වශයෙන් මයික්‍රෝග්‍රෑම් 200 ක අගයක් තීරණය කර ඇත. ලෝකයේ මිනිසුන් බත් කන තරම අනුව නම් තිබෙන ආසනික් ප්‍රශ්නයක් නොවේ. ඔවුන් එය සඳහන් කරන්නේ සතියකට දෙතුන් වරක් බත් කන අයට ඔය කියන ආසනික් ඉතා පහසුවෙන් බහිශ්‍රාවය කර පිටකර හැකි බවයි.

එහෙත් අප සතියකට නොව දිනකට දෙතුන් වරක් බත් කන්නෝ වෙමු. අතීත ගැමියාත්, තුන්වේල බත් කෑවා නේදැයි අසන්නට ඉක්මන් නොවන්න. ඔවුන් ගව් ගණන් පයින් ගිය, ට්‍රැක්ටර් නැතිව උදලු තලයෙන් පස පෙරලූ, සුනාමි හෝ භූතයා නැතිව දෙකට නැමී ගොයම් කැපූ ගැමියන් බවද අමතක නොකරන්න.

බත් කෑම අධෛර්යමත් කර පාන්පිටි කැවීමට උනන්දු වෙන කුමන්ත්‍රණයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නට දත කට මදිනවා යයි පවසන්නටද හදිස්සි නොවන්න. අතීතයේ මෙන් නොව පරිසරය වනසා විවිධ රසායන ද්‍රව්‍යයන් දැන් පසට හෙලා ඇත. ඒ අතර තුර කුසීත ඔත් ජීවිතයකට මිනිසා පුරුදුවී ඇත. රසකාරක හා රස උත්තේජක වල ආනුභාවයෙන් බුදින බත්පතෙහි විශාලත්වයද එදාට වඩා වැඩිවී ඇත.

දැකලාවත් නැති ලෝකල් යක්ෂයින්ට බියවී, කහනූල් දමාගෙන, හවස හයෙන් පසු තනිපංගලමේ එලියට පහලියට නොයමින් පරිස්සම් වෙනවා සේ, යන්තමින් දැක ඇති ආසනික් යකාටත් තරමකටවත් බියවී, බත් පතෙහි බර අඩුකර ගන්නට සමාජය අදිටන් කරගන්නේ නම්, ආසනික් මාකට් කරන අතරතුරදී, ඔබ රැකෙන්නේ දියවැඩියාවෙන්ය.

සනත් එම්. බණ්ඩාර

​Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor