ශ‍්‍රී ලංකාව තුළ ‘ගණිකා වෘත්තීයේ යෙදීම වරදක් නොවන බවට’ අධිකරණ තීන්දුවක්

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව පසුගිය දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නඩු තීන්දුවකින් ප්‍රකාශ කර තිබෙනවා.

මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළ 2015 වර්ෂයේ දිනයකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි සැකපිට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාරියන් තිදෙනකුට එරෙහි නඩු විභාග කොට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

අයාල ආඥා පනත 1841 වර්ෂයේදී හදුන්වා දී ඇති අතර එය අවසාන වශයෙන් සංශෝධනය වී ඇත්තේ 1947දී බවද එම සංශෝධනයේ ද ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස කිසිදු ස්ථානයක හඳුන්වා දී නැති බවද තීන්දුවේ දැක්වෙනවා.

ගණිකා නිවාසයක රැඳී සිටිමින් ගණිකා වෘත්තියෙන් ලැබෙන ඉපැයීම් වලින් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් නම් ජීවිකාව පවත්වාගෙන යාම පිණිස රැදී සිටීමෙන් 1841 අංක 04, 1947 අංක 20, 1978 අංක 02 දරන පනත්වලින් සංශෝධිත පාදඩ ආඥා පනතේ 09 (අ) වන වගන්තිය උල්ලංඝනය කිරීමෙන් දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි කොල්ලුපිටිය පොලීසිය මෙම සිද්ධියට අදාළව තායිලන්ත කාන්තාවන් හය දෙනකු සහ මෙරට සැකකරුවන් තිදෙනකු සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබුණා.

මෙහිදි තායිලන්ත කාන්තාවන් හය දෙනා එම චෝදනාවට වරද පිළිගෙන තිබූ අතර අනෙක් සැකකරුවන් තිදෙනා එම චෝදනාවට තමන් නිවැරදිකරුවන් කියා සිටීම නිසා නඩු විභාගයක් පැවැත්වුණා.

මෙම නඩුවේ තුන්වැනි සැකකාරිය ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් වරද කියාදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම නඩු විභාගය ඉකුත් 2016 ඔක්තෝම්බර් මස 06 වැනිදා ආරම්භ වූ අතර චුදිත කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජීව ගමගේ මහතා ලිඛිත දේශන ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙම චූදිත සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නඩුවේ තුන්වැනි චූදිත කාන්තාව නිදොස් කොට නිදහස් කළ අධිකරණය ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ වරදක් නොවන බවට 1923 ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද SAIB0 V. CHELLAM නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බවත්, එම නඩු තීන්දුවෙන් පසුව යම් පනත් මගින් හෝ ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස දක්වා නොමැති බවත් තීන්දුවේ සදහන් තිබෙනවා.

Recommended For You

About the Author: Editor