News of the day: විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප‍්‍රකාශය

පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19)

2020 පෙබරවාරි මස 27 වැනි දින

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා සහ කම්කරු සබඳතා අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය

සභාපතිතුමියනි,

මහ කොමසාරිස්තුමියනි,

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් සහ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසි වාරයට සහභාගී වූ නියෝජිතවරුනි,

නෝනාවරුනි, මහත්වරුනි,

මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන්, මහ කොමසාරිස්තුමිය විසින් ඉදිරිපත් කරන ලද ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම මෙම සභාව විසින් සමාලෝචනයට භාජනය කරනු ලබන මෙම අවස්ථාවේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිමහත් බහුතරයකින් ජයග්‍රහණය කරන ලද, පසුගිය නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ජනතාව ලබා දුන් ප්‍රශස්ත ජනවරමින් අනුමත කරන ලද ජාතික ක්‍රියාකාරිත්ව රාමුව තුළ, තිරසාර සංවර්ධනය, සාමය සහ සංහිඳියාව සාක්ෂාත්කර ගැනීම සඳහා මහ කොමසාරිස්තුමිය සහ ඇයගේ කාර්යාලය හා සමඟ කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව ඇපකැපවී සිටින බව අවධාරණය කරනු කැමැත්තෙමි.

මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්මුති 30/1 පිළිබඳ ස්වකීය ස්ථාවරය, විශේෂයෙන්ම 2015 ඔක්තෝබර් මස 30/1 හා 2017 මාර්තු මස 34/1 යන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 40/1 යෝජනා සම්මුතියේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමේ ස්වකීය තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් ඊයේ පැවැති ඉහළ මට්ටමේ රැස්වීමේ දී පැහැදිලි කරන ලදී.

මෙම යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද, දේශීය විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම, රජයේ කැපවීම තුළ මුල්බැසගත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, තිරසාර සංවර්ධන අරමුණු (SDGs) ක්‍රියාත්මක කිරීමට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සහ එහි නියෝජිතායතනවල සහාය ඇතිව අඛණ්ඩව කටයුතු කිරීම තුළින්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා වන අපගේ කැපවීම අවධාරණය කළෙමු.

තිරසාර සාමය හා සංහිඳියාව උදෙසා වගවීම හා මානව අයිතිවාසිකම් මත පදනම්වූ ඉලක්ක සාක්ෂාත්කර ගැනීමට ඇති කැපවීම රජය විසින් මෙම කවුන්සිලය වෙත තහවුරු කර තිබියදීත්, 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව අපේක්ෂාභංගත්වය පළ කර ඇති පාර්ශ්වයන්, තිරසාර සාමය හා සංහිඳියාව සඳහා ජන වරමකින් තහවුරු වූ අව්‍යාජ හැකියාවකට වඩා, වසර හතරහමාරක් තිස්සේ ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වූ මතුපිට මුහුණුවරකට ඔවුන් ගෞරවය ලබා දී ඇති බව පැහැදිලිය.

මෙම මූලික යථාර්ථයන් මානව අයිතිවාසිකම් කවුන්සිලය විසින් අවබෝධ කර ගනු ඇත යන අංවක අපේක්ෂාව ඇතිව, මානව හිමිකම් කවුන්සිලය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමේ අපගේ ස්ථාවර ප්‍රතිපත්තියට අනුකූලව, අද දින වර්තමාන මහ කොමසාරිස්වරයාගේ වාර්තාවට ප්‍රතිචාර දැක්වීමටත්, මෙම උත්තරීතර සභාව සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වීමටත් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නීය.

40/1 යෝජනා සම්මුතියට අනුගතවීමෙන් 1 වසරකට පසු සහ මූලක 30/1 යෝජනා සම්මුතියට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් වසර හතර හමාරකට පසු අප එසේ කරනුයේ, එකී කාල පරිච්ඡේදය තුළ අපගේ රජය බලයේ රැඳී සිට ඇත්තේ දින 100 කට මඳක් වැඩි කාල පරාසයක දී බව ද සිහියේ තබාගනිමිනි.

මීට වසරකට පමණ පෙර මෙම කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී, ශ්‍රී ලංකා රජය නියෝජනය කළ මගේ පූර්වගාමියා වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් විසින්, මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මුතිය ‘පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම’ හා සම්බන්ධ ව්‍යවස්ථාමය, නෛතික හා සමාජ-දේශපාලනික අභියෝග පිළිබඳව දීර්ඝ වශයෙන් පැහැදිලි කරන ලදී. මෙම සන්දර්භය තුළ, 30/1 යෝජනා සම්මුතියෙන් ශ්‍රී ලංකාව සඳහා කරන ලද ඉල්ලීම් ‘පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම’ පිළිබඳව මහ කොමසාරිස්වරිය විසින් වත්මන් වාර්තාවේ අවධාරණය කිරීමෙන් පෙනී යන්නේ, ගැටළු විසඳා ගැනීම පිණිස ඒ ඒ රාජ්‍යයන් විසින් සද්භාවයෙන් ඉදිරිපත් කරනු ලබන තාර්කික හා නීත්‍යානුකූල උනන්දුව හඳුණා ගැනීමට මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අසමත්වීම පෙන්නුම් කිරීමක් ලෙස අපි සළකමු.

මෙම කවුන්සිලය ඉදිරියේ අවස්ථා කිහිපයක දී අවධාරණය ඇති පරිදි, ශ්‍රී ලංකාවේ වර්තමාන හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල කොට ඇති අසත්‍ය හා සනාථ නොකළ චෝදනාවල විශ්වසනීයත්වය ශ්‍රී ලංකාව නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාවල ලුතිනන් ජනරාල් සිල්වා මහතාට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ලද අත්තනෝමතික චෝදනා සහ මෙම කවුන්සිලයේ කරන ලද වෙනත් ප්‍රකාශ සහ ඇතැම් රටවල ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග පිළිගත නොහැකි බවත් එය ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකාව සලකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාවේ හෝ ඉන් පසුව ඇති නිල ලේඛනයක යුද අපරාධ හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන්ට එරෙහිව සනාථ කරන ලද චෝදනා නොමැති බව අපි අවධාරණය කරන්නෙමු. ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ සේවය කරන හෝ විශ්‍රාමික නිලධාරියෙකුගේ අයිතිවාසිකම් අහිමි කිරීම අසාධාරණයකි.

මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් “බිය ගැන්වීමේ චාරිකා”, “සෝදිසි කිරීම්”, “හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” සම්බන්ධයෙන් ගත් කල, රජය මේ වන විටත් මෙම චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ඇපකැප වී සිටින අතර, මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට සහ සිවිල් සමාජයට එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කොට නඩු පැවරීමට කටයුතු කරයි.

පළාත් සභා පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මෙම වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ගත් කල, ගැටුම අවසන් වූ විගස, අවුරුදු 25 ක ප්‍රමාදයකින් පසුව උතුරු පළාතේ පුරවැසියන්ට පළාත් සභා මැතිවරණයක දී තම ඡන්ද බලය භාවිතා කිරීමට හැකි වූ බව සැලකිල්ලට ගත යුතුය. කෙසේ වෙතත්, 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ පසුගිය රජය විසින්, උතුරු හා නැගෙනහිර නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරී සහයෝගය ඇතිව රටේ ඕනෑම ප්‍රදේශයක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආසන්න වශයෙන් දෙවසරක් ප්‍රමාද කිරීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි බලය බෙදා හැරීම ක්‍රියාත්මක වීමට බාධාවක් වී තිබේ. නීතියට අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි අවශ්‍ය සංශෝධන සිදුකරමින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව රජය කැපවී සිටී.

සියල්ල ඇතුළත්, දේශීයව සැලසුම් කරන ලද සහ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් තුළින් තිරසාර සාමය ළඟා කර ගැනීම සඳහා ඉහළ මට්ටමේ රැස්වීමේ දී ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ කැපවීම මෙම කවුන්සිලය වෙත අවධාරණය කිරීමට අපි කැමැත්තෙමු.

පාර්ලිමේන්තු අනපනත්  මගින් ස්ථාපිතව දැනට පවතින අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ හානිපූර්ණ කාර්යාලය වැනි සංහිඳියා යාන්ත්‍රණ, රජයේ ප්‍රතිපත්ති කාර්ය රාමුව ප්‍රකාර යෝග්‍ය අනුවර්තනයන් සහිතව අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇත;   අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන්, අවශ්‍ය  විමර්ශනවලින් අනතුරුව, මරණ සහතික හෝ අතුරුදන් වීමේ සහතික නිකුත් කිරීමට සහ පීඩාවට පත් පවුල් සඳහා ජීවනෝපාය හා වෙනත් ආධාර ලබා දීමට පියවර ගනු ලැබේ;

මානව අයිතිවාසිකම හා ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනයනට අදාලව ලද පැමිණිළි විමර්ෂනය කරන ලද මුල් විමර්ෂණ කොමිෂන් සභා වාර්තා සමාලොචනයට භාජනය කිරීම පිණිස ශ්‍රෙෂ්ඨාධිකරණ  විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත්  විමර්ෂණ කොමිෂන් සභාවක් පත් කෙරෙනු ඇත.  එකී කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තක්සේරු කිරීමට හා නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාර එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර යෝජනා කිරීමද එමගින් සිදු වනු ඇත.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කළ මුල් ශ්‍රී ලාංකික විමර්ශන කොමිෂන් සභා වාර්තා සමාලෝචනය කිරීමට, එකී කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය තක්සේරු කිරීමට හා නව රජයේ ප්‍රතිපත්තියට අනුකූලව ඒවා ක්‍රියාත්මක කිරීමට යෝග්‍ය පියවර යෝජනා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරනු ලැබේ;

දැනට අධිකරණය ඉදිරියේ පවත්නා, වධහිංසා පැමිණවීමේ චෝදනා සහ අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් විමර්ශනය කර, නීති මගින් කටයුතු කිරීම පිණිස පවත්නා ජාතික බලාත්මක කිරීමේ ක්‍රමවේදයන් අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත.

කිසිදා ක්‍රියාත්මක නොකිරීමේ අදහසින් යුතුව ඉටු කළ නොහැකි බැඳීම් ඇතිකර ගැනීමේ පිළිවෙත වෙනුවට, ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතාවන්ට අනුකූල වන සාක්ෂාත් කරගත හැකි සංහිඳියා පියවර කෙරෙහි අවධානය යොමු කිරීමේ මෙම ප්‍රවේශය, මෙම කවුන්සිලය විසින් අගය කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

ඉහත පරාමිතීන් තුළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් හා ක්‍රියා පටිපාටි සමඟ අඛණ්ඩව කටයුතු කිරීමටත්, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති වලට අනුකූලව එකඟ වූ ක්ෂේත්‍රවල දී අන්‍යෝන්‍ය වශයෙන් ධාරිතා වර්ධනය හා තාක්ෂණික සහාය තුළින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කිරීමටත් අපි අපේක්ෂා කරමු.

ස්තුතියි.

Recommended For You

About the Author: Editor