සත පහක් වත් වාරිකය නොගෙවා ‘ගොවියා ගොඩ යන’ කෘෂි රක්ෂණය මෙන්න !

බෝග හයකට නොමිලේ රක්ෂණය රජයෙන්

කුඹුරු අක්කර පහකට වන්දිය ලක්ෂ දෙකක් !

සියලු සතුන්ගෙන් ආරක්‍ෂාවෙන්න අමතර රු. 400 යි

ලියා පදිංචියක් නෑ, ඔබ දැනටමත් ආවරණය තුල

පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත.

එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ සියලු වාර්ෂික බෝග වනසා දැම්මේ, ආණ්ඩු මාරුවත් සමග කුල්මත්වූ පිරිස් ලාබෙට කන්න බොන්න දත කට මදිනා අයුරු හොරැහින් නරඹමිනි.

“බූරුවා ගහන්න තහනම් රටේ එළිපිටම කෙරෙන ලොකුම සූදුව තමයි ගොවිතැන, ඕන් ඔච්චරයි මෙදාපාර ඉතුරු.”

කරමත තබාගෙන ඔසවාගෙන ආ පොහොර මල්ලේ තිබුණු දෑ හෙතෙම බිමට හැලුවේය. මහනුවර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සතිපොළකදී ඒ හිමිදිරි උදෑසනදී වා තලය රත්වෙන්න සැර සුසුමක්ද පිටකළ ඔහු එතනම ඇන තියාගෙන වාඩිවුනි. ගෝනි පඩංගුව මතට හැලුණු ඇතැම් කැරට් අල, ටික දුරක් රෝල්වී ගොස් අහල පහලම නතර විය.

මේ අල නම් දේශපාලනඥයින්ටවත් වැඩක් නැත. මන්දයත් පුංචිසිංඤෝගේ කර මතට නැගී රැහැනක දවටාගෙන මුහුණ ඉස්සරහින් එල්ලා පෙන්වන්නටවත් ඒවාහි කැපී පෙනෙන පෙනුමක් නොතිබීමයි. ඒවා දෙස බලාගෙන දේශපාලකයාව කර තබාගත් පුංචිසිංඤෝ ගමන් අරඹාවි යයි සිතන්නටද බැරිය. මේ ලපටි වයසේදීම අලටික ගැලවූවේ ඇයිදැයි මා හෙමිහිට ඔහුගෙන් විමසුවේ හේතුව නොදන්නා නිසාම නොව මා දන්නා යමක් කියාදීමට තිබූ බරපතල උවමනාව සිත තුලින් මතුවූ නිසාවෙනි.

සුහුරු ගොවිතැනට වඩා කතා කළ යුතු වැදගත් ම මාතෘකාව

මේ මොහොතේ හදිස්සියෙන්ම කතාකල යුත්තේ සාහසික කාලගුණය හැකි තරමින් පරදවා, සිහින් කැරට් අල ගෝනි බාගයක්වත් බේරාගෙන සතිපොලට ආ ගැමියාටය. ගොවිතැන වනාහී සූදුවක් බව ගැමියා කියත්දී, සුහුරු ගොවිතැනේ සැණකෙළි සිරිය පෙන්වූ පමණින් කොළඹ වැඩබිමේ වාඩියේ හිඳිනා ඔහුගේ දරුවා කඩිමුඩියේ ආපසු ඒවියයි සිතන්නටද බැරිය

“සේරෝම විනාස උනා, උල්දිය දාල මුළු ඉඩමම මඩ ගොඩක්. තව දවස් දෙකක් තිබ්බනම් මේ ටිකත් පොළොවටම පස් වෙනවා”

ගොවියා නගා සිටුවීමේ කතා පරදා දැන් වඩාත් සුලභව ඇසෙන්නේ  තරුණ පරපුර ගොවිතැන හැරදා යන කතාවයි. සුහුරු නොහොත් ස්මාර්ට් ගොවිතැනක් හඳුන්වා දෙමින් යම්කිසි පෙරලියක් කර, කොළොම්පුරයේ වැඩබිමක බදාම අනන්නට යන ගමේ ගැටවරයාව නියර මතම හිඳුවා ගන්නට හැකිය යන මතයටද ඇතැමුන් ලොකු බරක් තබා ඇත. එවැනි දිගුකාලීන සැලසුම් පසෙක තිබුනාවේ. මේ මොහොතේ හදිස්සියෙන්ම කතාකල යුත්තේ සාහසික කාලගුණය හැකි තරමින් පරදවා, සිහින් කැරට් අල ගෝනි බාගයක්වත් බේරාගෙන සතිපොලට ආ ගැමියාටය. ගොවිතැන වනාහී සූදුවක් බව ගැමියා කියත්දී, සුහුරු ගොවිතැනේ සැණකෙළි සිරිය පෙන්වූ පමණින් කොළඹ වැඩබිමේ වාඩියේ හිඳිනා ඔහුගේ දරුවා කඩිමුඩියේ ආපසු ඒවියයි සිතන්නටද බැරිය.

ආරක්‍ෂිත ගෘහ තුල වැනි දැඩි රැකවරණයක් සහිත පරිසරයක කෙරෙන ගොවිතැන මෙන් නොව, එළිමහනේ කෙරෙන බෝග වගාවට තිබෙන අවදානම අධිකය. මාසයක් වැනි කාල පරාසයක් තුල විසිරී ලැබෙන්නට නියමිත වර්ෂාපතනය එක රැයක් තුල පතිතවන්නේ නම්, තණකොළ පඳුරකට වුවද පණ රැකගන්නට නොදී  මිහිකත ඉරිතලා වියලී යන්නේ නම්, පොළොවේ සාරය මල්ලකට පුරවා ගෙට ගන්නට කරනා අරගලය බොහෝවිට නිෂ්පල ව්‍යායාමයක්ම වේ. එලෙස වගාහානි සිදුවූ අවස්ථාවක ගොවිතැනෙහි නියැලෙන්නන් ආරක්ෂා කරගැනීමට දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලුම රටවල් පාහේ කටයුතු කරන්නේ පාලකයින් සතු පරහිතකාමී සිතිවිලි නිසාම නොව, එක් කන්නයක් තුල ගොවියා බංකොලොත් වී නම්, ඊළඟ පිම්ම පනින්නට විශ්වාසයත් ශක්තියත් ඔහු සතුව නොමැත්තේනම්, රටටම හාමතේ ඉන්නට සිදුවෙන නිසාය. තම දේශපාලන අට්ටාලයද ඊට සමපාතව දෙදරමින් අස්ථාවර වන නිසාය. මානව සම්පත් ප්‍රභේද අතරින් ඉතාම අඩු පිරිවැයක් හා කාලයක් වැයකර නිර්මාණය කර මුදාහැරිය හැකි ඒකකය ගොවියා වුවත්, සිටින ගොවියා රැක ගැනීමට කවුරුත් උනන්දු වන්නේ දුර තිබෙන මොනර මසට වඩා ළඟ ඇති කපුටු මස හොඳ නිසා විය හැකිය.

ඉන්දියාවෙන් ලැබෙන අපූරු තොරතුර

අසල්වැසි ඉන්දියාවෙන් මේ පිළිබඳව ලැබෙන්නේ අපූරු තොරතුරකි. කෝටි 48 ක්වූ වැඩකරන ජනතාව අතරින් කෝටි 12 ක් නොහොත් 25% ක් වන ඉන්දීය ගොවියා වෙනුවෙන් 2014 මැතිවරණ ව්‍යාපාරය හරහා අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝදි මහතා ඇඟට දැනෙන පොරොන්දුවක් දුන්නේය. ඊට පාදක වූයේ ඉන්දීය ගොවි ප්‍රජාව පසුගිය දශකයට වඩා කෝටියකින් පමණ සංඛ්‍යාත්මකව අඩුවී ඇති බව 2011 දී සිට ඉන්දීය කොංග්‍රසය අවබෝධ කරගෙන සිටීමයි. තවත් අගනා ගණනය කිරීමකට අනුව, සෑම පැය 24 කටම වරක් ඉන්දීය ගොවීහු 2040 ක් දෙනා යලිත් නොඑන්නටම දෙපා සෝදාගෙන ගොවිබිම හැරදා පිටව යන බව පෙන්වා දී තිබේ. මෙම ඛේදවාචකය ආපසු හැරවීම උදෙසා මෝදි මැතිඳුන් පොරොන්දු වූයේ ගොවිපොළේ ආදායම දෙගුණයක් කරන්නට කටයුතු පෙළගස්වන බවටත්, වගාහානි වලදී කඩිනමින් වන්දි ගෙවමින් ගොවියාව රැකගන්නා බවටත්ය. කතිර බලය ලබාගත් පසු පොරොන්දු ඉටුකිරීමට බොහෝ දෙනෙකුට අමතක වන්නේය. එහෙත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නැති බවක් මෙතැනදී නම් පෙනෙන්නට තිබේ. හිටපු අගමැති මන්මෝහන් සිං විසින් අරඹා තිබුණු ගොවි රක්ෂණ ක්‍රමය නව තේමාවක් ලෙස ස්ථාපනය කරන්නට 2016 දී මෝදි රජය කටයුතු කරන ලදී. ඒ හරහා ඔහු ලැබූ ගොවි ජන ප්‍රසාදය තවත් වාරයක් අගමැති පුටුවේ හිඳින්නට හේතු වුවාටද සැක නැත.

එතුමන් හඳුන්වාදුන් නව රක්ෂණ ක්‍රමවේදය හරහා බොහොමයක් බෝග සඳහා ගොවීනට ගෙවන්නට සිදුවුයේ රක්ෂණය කල මුදලෙන් 5% ක් පමණ වන සුළු වාරිකයකි. ඉතිරිය දැරුවේ රක්ෂණ සමාගම් හෝ රජය මගින්ය. කෙසේ වෙතත් ග්‍රහයා නරක්වෙන වෙලාවට සඳුන් ගසේ අරටුවටත් ගුල්ලන් ගසන්නේය. තම මුදල් වංචා කරතැයි චෝදනා කරමින්, රක්ෂණ සමාගම් වලට එරෙහිව දුප්පත් ගොවි ජනතාව වීදි බටහ. ඔවුන් ඇතැමෙක් අත රක්ෂණ සමාගමෙන්  වන්දි වශයෙන් ගොවීනට නිකුත් කල චෙක්පත් පවා තිබිණ. ඇතැම් චෙක්පත්වල වන්දි මුදල වශයෙන් සඳහන් කර තිබුනේ ඉන්දීය රුපියල් 5 කි. තවත් එකක් රුපියල් හතක චෙක්පතකි. 2016-17 කාල පරාසය තුල රක්ෂණ ආයතන විසින් රුපියල් කෝටි 22179 ක් එකතු කරගෙන ඇත්තේ ගොවි වාරික ලෙස කෝටි 4383 ක් සහ රජයෙන් ගෙවන දායකත්වය වශයෙන් කෝටි 17796 ක් වශයෙනි. ගොවීන් කෝටි 1.2 දෙනෙකුට වන්දි වශයෙන් කෝටි 12949 ක මුදලක්  ගෙවා ඇති නිසා එක ගොවියෙකුට ලැබුණු සාමාන්‍ය වන්දි මුදල ඉන්දියානු රුපියල් 10790.83 ක් වේ. ඒ අතර රුපියල් පහේ දහයේ චෙක්පත් පවා තිබීමයි මේ කලබැගෑනියට හේතුව. මේ ගණන් හිලව් අපට අදාළ නැතිවුවත්, කෙටියෙන්වත් සඳහන් කෙරුවේ අසල්වැසියාගේ ගොවි රක්ෂණයේ තරම පෙන්වා දෙන්නටය.

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කතාව

“2017 අවුරුද්දේ යල කන්නයට බලපෑ නියඟයේදි පමණක් අපි කෝටි 500 කට වඩා ගොවීන්ට වන්දි ගෙව්වා, මේ වන විට කන්නයක් පාසා අපි ගෙවනවා. පහුගිය දෙතුන් අවුරුද්දට කෝටි 800 පහුකරන්න ගෙවලා ඇති”

කාලගුණ, රෝග පළිබෝධ හා වන සත්ව උවදුරු වලින් පීඩා විඳින අහිංසක ගොවි ජනතාවගේ දැනගැනීම පිණිස මෙරට ක්‍රියාත්මකවෙන ගොවි රක්‍ෂණ වැඩසටහනේ තතු විමසන අරමුණින් මා හමුවූයේ කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ කැලුම් කළුආරච්චි මහතාවය. එතුමන් කතාව පටන්ගැනීමට ගෙනහැර පෑ තොරතුරු අනුව නම් අපේ ගොවියාටද කෝටි ගණනින් වන්දි ලැබී තිබේ. මෙවන් රක්ෂනාවරනයකින් ආරක්ෂා වී තිබියදී මෙරට ගැමියා ගොවිතැන සූදුවක් යනුවෙන් හඳුන්වා දෙන්නේ ඇයි ? සූදුපොලේදී නම් ගියොත් ගියාය, ආවොත් ආවාය. පැරදුනොත් වන්දි ගෙවන්නට කෙනෙක් නැත. කළුආරච්චි මහතා පවසන ආකාරයට අක්කර විසිහත් ලක්ෂයක් යයි දැනට ගණන් බලා තිබෙන වාර්ෂික බෝග වගාකරන මෙරට පිහිටන සමස්ත ගොවි ඉඩම් ප්‍රමාණයම මේ වනවිට රක්ෂනාවරණයට යටත්වී තිබේ. එසේනම් සූදුපොලේදී පැරදුනා මෙන් නොව ගොවිපොළේදී පැරදුනොත් ආණ්ඩුවෙන් වන්දි ගෙවා ගොවි සිත සුවපත් කරවයි. අවාසනාව වන්නේ එම ඉඩම් පරිහරණය කරන ගොවියා ඒ බව නොදැන සිටීමය. සතිපොළට ආ ගැමියාද ගොවිතැන සූදුවක් යයි කීවේ එබැවිනි.

බෝග රක්ෂණය සිදුකරන ආසියාවේ පිහිටි රටවල් අතුරින් පැරණිම රටවල් කීපයන් එකකි ශ්‍රී ලංකාව. මෙවැන්නක් මෙරට තුල ස්ථාපිත කළහැකිද යන්න පිළිබඳව මුල් වරට විපරම් කර ඇත්තේ 50 දශකයේදී ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගීත්වයෙන් කුඹුරු අක්කර 28000 ක් යොදාගෙන කරන ලද නියමු ව්‍යාපෘතියක් හරහාය. 1961 දී මෙම විපරුම නොහොත් නියමු ව්‍යාපෘතිය අක්කර ලක්ෂ දෙක දක්වා වැඩිකර තිබේ. අපේ උදවිය පුරුදුවී තිබෙන්නේ භාජන පතුලේ වදින්නම හැන්ද ඔබා තමාගේ පංගුව බෙදා ගන්නටය. නියමු ව්‍යාපෘතිය මගින් ගෙවූ වන්දි මුදල මදිවීම නිසාත්, රක්ෂණය ගැන තබාගෙන සිටි සිහින බලාපොරොත්තු ඉටු නොවීම නිසාත්, නොබෝ දිනකින් නියමු ව්‍යාපෘතිය දින නියමයක් නැතිව අතහැර දමා තිබේ.

එසේ නමුත්, වැරදුනු තැන්වලිනුත් පාඩම් ඉගෙනගෙන 1973 දී ජාතික කෘෂි රක්ෂණ නීතිරීති හඳුන්වා දීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව පිහිටුවා ඇත්තේ කෘෂි රක්ෂණ මණ්ඩලයයි. ඒ සමගම දිවයින පුරාවටම රක්ෂනාවරණයද වලංගු කර ඇත.

 හුස්ම පොදක්වත් නිකං නොදෙනා ධනවත් රටවල වැසියෝ අපට වඩා බොහෝ සේ රක්ෂණාවරණ වලට සමීපව සිටිති. මන්දයත් අතේ වියදමෙන් හදිසියක් පිරිමසාගැනීම ඒ රටවලදී ඉතා දුෂ්කර කාර්යයක් වීමයි. නිදහස් සෞඛ්‍යය පහසුකම් ආදිය නොමැති රටවල සියල්ලෝම පාහේ සතුව සෞඛ්‍ය රක්ෂනාවරනයක් තිබේ. ලෙඩක් කරදරයක් හමුවේදී අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමෙන් පසුව රක්ෂිතයා කරන්නේ තමාට ලබාදී ඇති කාඩ්පත රෝහලට ඉදිරිපත් කර, නිදහසේ ගෙදර යාමයි. මුදල් ගනුදෙනු ගැන කිසිදු වගවීමක් රක්ෂිතයාට නැත. රෝහල හා රක්‍ෂණ සමාගම ඒ ටික බලාකියා ගනී. මේ කුමන රක්ෂනයකදී වුවත් සැලකිය යුතු මුදලක් රක්ෂණාවරණය ලබන්නා විසින් වාරික පිළිවෙලට අදාළ සමාගමට හෝ රජයට ගෙවිය යුතුවන අතර මෙම වාරික මුදලේ ඉහල අගය නිසාම රක්ෂණය ජනප්‍රිය කරවීම අප වැනි දුප්පත් රටවලට තරමක් දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේය.

නොමිලේ ලබාදෙන වගා රක්ෂණයක්

මෙවන් පසුබිමක් තුල නොමිලේ ලබාදෙන වගා රක්ෂණයක් මෙරට ඇතැයි පවසන්නේ නම් ගොවියාට එය අත්පුඩි තලා සතුටු විය හැකි තොරතුරකි.

“නොමිලේ දෙන වගා රක්ෂණය අපි පටන් ගත්තේ 2013 අවුරුද්දේ. ඊට කලින් මේ වෙනුවෙන් ගොවියාගෙන් මුදල් ගත්ත. අක්කරයකට රුපියල් 10,000 ක් ගෙවනවා කියල මෙය ආරම්භ කෙරුවේ ගංවතුර, නියඟය හා වනඅලි කියන සාධක මත කුඹුර පාලු උන අය වෙනුවෙන්. ගොවියා මුලදී කිසිම ගානක් ගෙවන්න ඕනේ නෑ. ඊට පස්සේ මේ මුදල 2017 දී රුපියල් 40,000 දක්වා වැඩි කෙරුවා. එපමණක් නෙවෙයි තව බෝග පහක් මේකට එකතුකෙරුවා. බඩඉරිඟු, අර්තාපල්, ලොකුලූණු, සෝයාබෝංචි, හා මිරිස්. ලංකාවේ ඕනෑම පලාතක මේ වගාවන් කල ගොවියෙකුට ඉහත හේතු මත වගා හානියක් සිදුවූවානම්, වී වලට උපරිම අක්කර පහකටත්, අනෙක් බෝග වලට උපරිමය අක්කර දෙක හමාරක් වෙන පරිදිත් අක්කරයකට රුපියල් 40,000 ක් බැගින් අපි වන්දි ගෙවනවා පුර්ණ වගා හානියක් නම්.”

කැලුම් කළුආරච්චි මහතා තම වගා රක්ෂණ සැලැස්ම ඉදිරිපත් කෙරුවේ එලෙසිනි. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ උදැල්ල අතට ගත් පමණින් කිසිදු මුදලක් අය නොකර රාජ්‍ය රක්‍ෂණ ක්‍රමවේදයකට ගොවියාව ඇතුළු කරගත් බව මෙරට ගොවීන් කී දෙනෙක් දැනුවත් වී ඇතිද යන්නයි. ගොවියාගේ මුදල් පසුම්බියෙන් යමක් ඉල්ලා නොසිටියද, මහා භාණ්ඩාගාරය විසින් ඔහු වෙනුවෙන් ගෙවිය යුතු වාරික මුදල් සියල්ල කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ගෙවනු ලබයි.

යම් ගොවියෙකු සතුව කුඹුරු අක්කර පහකට වැඩිව තිබුනා යයි සිතමු. ඔහුට නොමිලේම රක්ෂණාවරණය ලැබෙන්නේ කුඹුරු අක්කර  පහකට පමණක් නිසා, ඉතිරිය වෙනුවෙන් ඔහු වාරික මුදල් ගෙවමින් රක්ෂණාවරණය තව දුරටත් බලාත්මක කරගත යුතුවේ. අමතර අක්කරයක් සඳහා මෙසේ ගෙවිය යුතු මුදල වන්නේ රක්ෂිත මුදලෙන් 9% කි. එනම් රුපියල් 3600 කි. මේ අනුව වර්ෂාව, නියඟය හා වන අලි යන ආපදා ත්‍රිත්වයෙන් එකක් යටතේ, අක්කර හතක කුඹුරක් කරන ගොවියෙකුගේ මුළු කුඹුරම විනාශ වූයේ නම්, රුපියල් දෙලක්ෂ අසුදාහක වන්දි මුදලකට හෙතෙම හිමිකම් කියන්නේය. අතිරේක අක්කර දෙක සඳහා (3600 X 2) රුපියල් හත්දාස් දෙසීයක් මුදල් ගෙවා අතිරේක රක්ෂණාවරණයක් ඔහු ලබා ගෙන නැත්නම් හිමිවන්නේ අක්කර පහකට නොමිලේ හිමිවෙන රක්ෂනාවරණයට අදාළ රුපියල් ලක්ෂ දෙක පමණකි. මේ ආකාරයටම බඩඉරිඟු, සෝයාබෝංචි, මිරිස්, ලොකුලුණු සහ අර්තාපල් යන බෝග සඳහාද නොමිලේ රක්ෂණය අක්කර දෙක හමාරක් දක්වා ක්‍රියාත්මක වන අතර ඉන් ඔබ්බට ප්‍රසාරණය වන වගා වපසරියක් සඳහා අක්කරයකට රුපියල් 3600 ක් ගෙවා ආවරණය ලබාගත හැකිය.

ඕනෑම වාර්ෂික බෝගයක් රක්ෂණය කරගන්න ගොවියාට පුළුවන්

“ඔය ටික විතරක් නෙවෙයි. ඕනෑම වාර්ෂික බෝගයක් රක්ෂණය කරගන්න ගොවියාට පුළුවන්. හැබැයි ඒවායේ නොමිලේ රක්ෂණය වෙන ප්‍රමාණයක් නෑ. කැකිරි පිපිඤ්ඤා කවුපි රටකජු වලට උනත් අපි ගාව රක්ෂණ සැලසුම් තියෙනවා. නොමිලේ නැතිඋනත් බොහොම සුළු වාරිකයයි ගෙවන්න වෙන්නේ. ගොවිජනසේවා කාර්යාලයට හරි, කෘෂි රක්ෂණ මණ්ඩලයට හරි දැනුම් දුන්නහම එතැනින් දන්වනවා ගෙවිය යුතු වාරිකය. එය ගෙවලා රක්ෂණාවරණය ලබාගන්න පුළුවන්.”

කැලුම් මහතා පවසන කරුණු අනුව කැරට් ගෝනි බාගයක් කුදලාගෙන පැමිණි අහිංසක ගැමියා නොදන්නා කම නිසාම කරගෙන ඇත්තේ මහ විනාසයක් යයි සිතේ.පරිසරයට වින කටින මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් නිසාම, ආපදා තත්වයන්ගේ වැඩිවීමක් මිස සහනදායී යුගයක් අප ඉදිරියේ නැති බව ක්‍රම ක්‍රමයෙන් තහවුරු වෙමින් තිබේ. ඕස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවිය 2017 වසරේ ප්‍රකාශයට පත්කළ පර්යේෂණ වාර්තාවක දක්වා තිබුනේ සෙන්ටිග්‍රේට් අංශක එකකින් පරිසර උෂ්ණත්වය ඉහල ගියවිට ලංකාවේ තේ නිෂ්පාදනය අවම වශයෙන් 4.6 % කින් පහල වැටෙනා බවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 2018 වසරේදී වාර්තා කර තිබුනේ අඩු තරමින් ලක්ෂ තුනක ජනතාවක් උතුරු පළාතේ පමණක් නියඟයෙන් පීඩා විඳිනා බවයි.

ගංවතුර, නියඟය හා වන අලි යන හානි සංඝටක හැරුණුවිට රෝග හා පලිබෝධකයින්, කෘමි උවදුරු, ගිනිගැනීම්, වෙනත් සතුන්ගෙන් සිදුවෙන හානිවලට අදාළ ආවරනයන්ද මුලික ආවරණයට බද්ධව ලබාගත හැකි බව කළුආරච්චි මහතා තව දුරටත් පවසයි. ඒ වෙනුවෙන් මූලික රක්ෂනාවරණයට ගෙවිය යුත්තේ 1% ක් නොහොත් රුපියල් 400 ක් පමණි. උදාහරණයක් වශයෙන් අක්කර දෙකක බඩඉරිඟු වගාවක් තිබුනේයයි සිතමු.

මෙය මූලික බෝග හයෙන් එකක් නිසා අක්කර 2.5 ක් සඳහා අක්කරයකට රුපියල් 40000 ක නොමිලේ ආවරණය ආරම්භයේදීම තිබේ. ඒ ගංවතුර, නියඟය හෝ වන අලි හානි සඳහාය. සේනා දළඹුවා වෙනුවෙන් මෙම ආවරරණය දිගු කරගැනීම සඳහා ගෙවිය යුත්තේ රුපියල් 400 කි. ඒ රෝග හා පළිබෝධ ආවරණය ලබා ගැනීමටයි. දැන් බඩඉරිඟු වලට සෑදෙන ඕනෑම රෝගයක් හෝ පැමිණෙන ඕනෑම පලිබෝධකයෙක් හමුවේ ගොවියා ආරක්ෂිතය. තවත් 400 ක් ගෙවා වෙනත් සතුන් වෙනුවෙන් ආවරණය ලබාගන්නේ නම් මිනිසා නමැති දෙපා සතාගෙන් සිදුවියහැකි හානියක් හැර ඉත්තෑවුන්, දඬුලේනුන්, රිලවුන්, වල්ඌරන් ආදී එකී නොකී සියලු සතුන් නිසා සිදුවෙන හානි වෙනුවෙන් ගොවියාට වන්දි ලැබේ. එසේනම් අක්කර දෙකක බඩඉරිඟු වගාවක් වෙනුවෙන් වාරිකය ලෙස රුපියල් 800 ගෙවන ගොවියා වගාහානි ගැන සිතමින් කිසිදු කනස්සල්ලක් ඇතිකරගත යුතු නැත.

සෙවනැල්ලට බිය නොවිය යුතු බවත්, එහි සැබෑ තේරුම ආසන්නයේම ප්‍රබල ආලෝකයක් තිබීම බවත් යනුවෙන් ප්‍රසිද්ධ කියමනක් තිබේ. ආපදා නමැති සෙවනැල්ලට දැන් ඉතින් ගොවියා ලොකුවට බිය විය යුතු නොවේ. රජයෙන් ලබාදෙන කෘෂි රක්ෂණ ආවරණය තමා අසලින් ඇති ප්‍රබල ආලෝකය බව හෙතම වහ වහා අවබෝධ කරගත යුතුව ඇත.   

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor