පක්ෂය ආරක්ෂා කිරීමටනම් මේ මොහොතේ සජිත් සමග සිටගත යුතුයි – නීතිඥ හිරන්‍යා හේරත්

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම අවසාන නොවන මොහොතක පාක්ෂිකයින්ගේ හා දිස්ත්‍රික්කයේ ජනතාවගේ දැඩි ඉල්ලීම මත අනුව  ඉදිරි මහ මැතිවරණයේදී  සජිත් සමග සමගි ජන බලවේගයෙන් එක්වී තරඟ කරන බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ ආසන සංවිධායිකා නීතිඥ හිරන්‍යා හේරත් මහත්මිය මාධ්‍ය හමුවක් වෙත අදහස් පළකරමින් කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් හිරන්‍යා හේරත් මහත්මිය පවසා සිටියේ තමන් විසින් පසුගියදා වලපනේ ආසන බල මණ්ඩලය හා නුවරඑළිය දිස්ත්‍රික් ජනතා නියෝජිතයින් ඇතුළු ක්‍රියාකාරින්ගේ රැස්වීමක් කැඳවූ බවත් එහිදි සියළු දෙනාගේ ඉල්ලීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා සමග සිටගන්නා ලෙසත්, ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරඟ කරන ලෙසත්ය. එසේ නොවුනහොත් ඔවුන් සියළුදෙනාම ඉදිරි මැතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තරඟ කරන අපේක්ෂකයකුට බවය.

එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක් බවත්, එය අද වන විට ගොඩනැගිලි ආරක්ෂා කරන, ගොඩනැගිලි වලට සීමාවූ පක්ෂයක් බවත්, තමන්ගේ පාක්ෂිකයින්ගේ හඩට ඇහුම්කම් නොදෙන නායකත්වයක් යටතේ ඉදිරි ගමනක් නොමැති බවත්, මෙම පක්ෂය ආරක්ෂා කිරීමටනම් මේ මොහොතේ සජිත් සමග සිටගත යුතු බවයි.

අප ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොතරම් කතා කළත් පක්ෂය තුළ එම ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිනම් එ ඇති කරගැනීම සඳහා අලුත් ගමනක් ආරම්භ කළ යුතු බවත් හිරන්‍යා හේරත් මහත්මිය වැඩිදුරටත් පැවැසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා වලපනේ, හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුළු හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ජනතා නියෝතයින් ඇතුළු එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලවල නිලධාරින් හා සිවිල් සංවිධාන වල නියෝජිතයින් සහභාගී වී සිටියහ.

Recommended For You

About the Author: Editor