සිහසුන කැඩී බිම ඇදවැටුණු කුළුබඩු ලොව මහරැජින ‘කරදමුංගු’

අපේ කරදමුංගු විදේශ විනිමය උල්පතක්

පහත රටටත් ගැළපෙන කරදමුංගු වගා තාක්ෂණය බිහිකර අවසන්

කරදමුංගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි, – ඉඟුරු පියලි, කොත්තමල්ලි, චුන්නපූග, නාගවල්ලි – මේවා එක පදමට ගෙන ……. ඉතිරි පදය මා නොලීවාට පැරණි සිංහල සංගීතය ඇසුරු කල අයෙකුගේ සිත තුල ලියවුනු ඒ පද දෙක දෙතොල් අතරින් එලියට පනින්නේ නිරායාසයෙන්මය.

තිස්ස ලියනසූරියගේ අධ්‍යක්ෂණයෙන් නිපදවා 1965 ජූනි 25 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹූ ‘සාරවිට’ චිත්‍රපටියේ රඟපෑ ජෝ අබේවික්‍රම ශූරීන් (චිත්‍රපටියේ සාරයියා) එම ගීතය කියමින් සාරවිට බඳුනත් කර බැඳගෙන කරනලද රංගනයේ සුන්දරත්වය අදටත් මාගේ මතකයේ තිබේ.

සාරවිට තුල බුලත් කොලයක් තිබෙන බව දන්නවා හැරෙනට මෙහි කියවුණු අඩුම කුඩුම ගැන මෙලෝ හසරක් එකල මා දැනසිටියේ නැතිමුත්, සම්පූර්ණ ගීතයම කටපාඩමින් කීමට නම් හැකියාව තිබිණ. අප කුඩා සන්ධියේදී දුටු සාරවිට කලාව, පොප්කෝන් හපන වර්තමානයේදී එතරම් ප්‍රබලව දකින්නට නැත. තිබෙන සාරවිට ඇතුලේ වුවද ඔය කියන අරක මේක තිබෙනවාදැයි යන්නද සැක සහිතය. එසේ තිබෙනවානම් ඒ සාරවිටේ ඇති සාරවත්භාවය ගැන අමුතුවෙන් ලියන්නටද අවශ්‍ය නොවෙනු ඇත.

මේ පැදි පෙළෙහි මුලින්ම කියවෙන කරදමුංගු වලට ලෝකයේ පටබැඳි නාමය වන්නේ ‘කුළුබඩු අතර රැජින’ (Queen of Spices) යන්නයි. ගම්මිරිස් ගැන ලියමින් පසුගිය සතියකදී ‘කුළුබඩු ලොවේ රජු’ හඳුන්වාදුන් අප රැජින ගැන කතා නොකළහොත් ඇයට කරන අසාධාරණයක්ද වනු ඇතැයි සිතේ. එපමණක්ද නොව, ධාන්‍යයක් නොවුනත් මෙය පාරාදීසයේ ධාන්‍යය (Grain of Paradise) වශයෙන් ගරුබුහුමන් ලබන අවස්ථාද පොතපතෙහි දක්නට ලැබේ.

සරලම ආහාරයක් ටික වෙලාවක් ඇතුලත, ලෝකයේ තිබෙන මිල වැඩිම ආහාරයක් බවට පත්කිරීමේ හැකියාව ඇත්තේ, සුළු ප්‍රමාණවලින්, එහෙත් වර්ග රැසකින් ආහාරයට එකතුකරන  කුළුබඩු වලට නිසා, ඒ අතර රජුන් හා රැජිනියන් සිටින්නේ ආහාරයට ඒ මගින් ඇතිකරන වෙනසේ ප්‍රබල බව කියන්නට මෙනි.

14 වෙනි සියවසේදී පවා ආසියාකරය ආශ්‍රිත සාගර වෙළඳ මාර්ග සියල්ලම පාහේ ශ්‍රී ලංකාව හරහා වැටී තිබුනේද කුළුබඩු හා ඇත්දළ සොයමින් මෙහි ආ ගිය මිනිසුන් නිසාවෙනි. පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් මේ රටේ කඳවුරු බැඳගන්නට හේතුවුයේද,  ඔවුනට නොතිබුණු අපට තිබුණු මෙවැනි සම්පත්ය.

වැනිලා හා සැෆ්රොන් වලට පසුව වැඩිම වටිනාකමක් ඇති කුළුබඩු වර්ගය ලෙස හඳුනාගන්නට ඇත්තේ කරදමුංගු ය. දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තය අවටදී සම්භවය ලැබුවා යයි විශ්වාස කරන මෙය, ඉංග්‍රීසීන් විසින් ඉන්දියාව හා මෙරට තුළ ව්‍යාප්ත කළ බවට වාර්තා තිබේ.

දැනට වසර දෙතුන් සීයක කාලයක පටන් ලංකාවේ පහත රට ප්‍රදේශ වල, එනම් සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව මෙම ශාකයේ දේශීය ප්‍රභේදයක් දක්නට තිබේ. දෙනියාය, කලවාන ආදී ප්‍රදේශයන්හි ඇති මේ දේශීය ආදිවාසියාගේ ශාක ව්‍යුහය, ගෙඩි හටගන්නා රටාව ආදිය සියල්ල ආර්ථිකව වගාකරන කරදමුංගු වලට සමාන වුවත්, ගෙඩිය විශාලත්වයෙන් වැඩිය. අඟලක් පමණ විශාල එය වියලූ කල හැකිලී යන ව්‍යුහයකි.

ආර්ථිකව වැදගත් වන්නේ එහි බීජ මිස වියලි ගෙඩි නොවේ. ඒ වැදගත්කමද ආයුර්වේද ඖෂධයක් සේ මිස ව්‍යංජනයට දමන කුළුබඩුවක් ලෙස නොවේ. එනසල් ලෙස හඳුන්වන්නේ මෙයයි. ව්‍යංජනයට දමන වර්ගය වන්නේ කරදමුංගු ය. අද දවසේ බොහෝ දෙනා මේ වචන දෙක පටලවා හිතුමනාපයට භාවිතා කරන නිසා බොහෝ දෙනෙකුට එනසාලුත්, කරදමුංගුත් යනු දෙකම එකක්ය. බෙහෙතට ගන්නා එනසාල්, ආහාර විකුණන වෙළඳසැලේ නැති නිසා, කුළුබඩුවක් වන අපේ රැජින කුමන නමින් ඇමතුවත් එතරම් අවුලක් වන්නේද නැත.

පසුගිය දිනෙක මහනුවර ආශ්‍රිත එක්තරා ජනප්‍රිය සුපිරි වෙළඳසැලකදී ලද අත්දැකීමක් මෙවැනි නම් පටලැවිල්ලකට අදාලව මේ මොහොතේ මතකයට නැගේ.  මුදල් අයකැමි තනතුරට බඳවාගත් නවක ගැහැණු ළමයෙක් මට ඉදිරියෙන් පෝලිමේ සිටි බවලතකුගේ එළවලු මල්ලට ගණන් දමමින් සිටියාය. ලේබලයේ එළවලු වර්ගයත්, ඊට අදාළ කේතයත් තිබෙන නිසා ඇය අවුලක් නැතිව හනි හනිකට ඉදිරියටම ගියාය. අවසානයේ අතට අසුවූයේ කංකුන් මිටියකි. එහි ලේබල්, කේත කිසිවක් නැත. වටපිට බැලු ඇය යාබද කවුන්ටරයේ සිටි අයකැමි මිතුරියගෙන් ‘අක්කේ මේ මුකුණුවැන්න’ දැයි ඇසුවේ වට පිටේ සිටි කීප දෙනෙකුගේ මුහුණුවලට දෙහි ඇඹුල් ඉසිමින්ය. ඉතින් අපි එනසාල්, කරදමුංගු පටලවා ගැනීම ඔයහැටි අරුමයක්ද? කෙසේ නමුත් හරි දේ දැනගැනීමයි යහපත්.

හරිදේ හරියටම සන්නිවේදනය කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගැටඹේ කාර්යාලයේ මාධ්‍ය අංශයේ දිශාන්ති කොඩිතුවක්කු මෙනෙවිය මෙවර මා වෙත හඳුන්වා දුන්නේ කරදමුංගු ගැන සුවිසල් දැනුමක් ඇත්තෙකි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මාතලේ තිබෙන මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා නොහොත් අධ්‍යක්‍ෂ (පර්යේෂණ) වන්නේ ඔහුය. නමින් හඳුන්වනවානම් ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම වේ.

“කරදමුංගු ඉස්සර වැඩිපුරම වැවුවේ ඉන්දියාවේ. පස්සේ ගෝතමාලාව කියන රට ඉන්දියාව පසුකර ගියා. දැන් ඒ අය තමයි පළමු තැන ඉන්නේ. අපේ නිෂ්පාදනය බැලුවොත් ලෝක නිෂ්පාදනයෙන් 1% ක් විතර. හැබැයි ගුණාත්මය අතින් ඒවා ඉහළයි. මේවා වවන්න විශේෂිත පරිසර තත්වයන් ඕනෑ කරනවා. එය තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 800 කට වඩා ඉහළින්.”

ආචාර්ය ධර්මපරාක්‍රම මහතා මේ කතා කරන්නේ මධ්‍යම කඳුකරය ගැනය. එහි සිසිල් උෂ්ණත්වයක් පවතී. පරිසරයද සෙවන සහිතය. පසෙහි කාබනික ද්‍රව්‍යයද ඇති පමණට තිබේ. කරදමුංගු වගාවට ඕනෑ කරන්නෙත් මේ ටිකමය. ඒ නිසා තේ වතු ආශ්‍රිතව තිබූ කුඩා ප්‍රමාණයේ වන ලැහැබ තුල කරදමුංගු වගාවන් අතීතයේදී ස්ථාපිතව තිබිණ. අස්වැන්න වියලා සකස් කෙරුවේද ඉතා පරිස්සමෙනි.

එල්. ජී. (LG) නොහොත් ලංකා ග්‍රීන් වශයෙන් හැඳින්වූ මේ ‘ලස්සන’ වියලි කරදමුංගු වලට ලෝකයේ ඉහල පිළිගැනීමක් තිබුණි. ගෙඩියේ කොළ පැහැය රැකෙන පරිදි වියලීම සඳහා එකල විශේෂ ‘උදුන් ගෙවල්’ පවා භාවිතා විය. වැඩේ පටන් ගන්නට කලින් උදුන් ගෙය නියමිත උෂ්ණත්වය දක්වා රත්කර ගත යුතුවේ. එය තුල අතුරන අලුත කඩාගත් පැසුණු කරදමුංගු ගෙඩි ඉර එලිය නොවැටෙන්න, දුමක් නොවදින්න සෙන්ටිග්‍රේට් අංශක 55 ක පමණ උණුසුමක් යටතේ පැය 36 ක් පමණ වියලීමෙනුයි ‘ලංකා ග්‍රීන්’ ලැබෙන්නේ.

මෙවන් උදුන් ගෙයක් සාදා පවත්වා ගන්නට නම් වරකට කිලෝග්‍රෑම් 50-60 ක ප්‍රමාණයක් වත් තිබිය යුතු වුවත් වගාවේ පරිහානියත් සමග එවන් නිෂ්පාදනයක් අප සතු නොවූ නිසා ‘උදුන් ගෙවල්’ වසා දැමුණු අතර නෙලනා සොච්චම මහ දවාලේ එලූ පැදුරු මත අතුරා වේලන්නට ජනතාව පුරුදු වුනි. දැන් ඉතින්  කොලපාට කරදමුංගු නම් නැත. ලා කොළ පාටක්වත් ඉතිරිවූයේ අහම්බෙනි. ඒවාට එල්.එල්.ජී. (LLG) නොහොත් ‘ලංකා ලයිට් ග්‍රීන්’ යන නම භාවිතා විය. මේවා වනාහී දෙවැනි ශ්‍රේණියේ නිෂ්පාදනයන්ය.

කෙසේ වෙතත් අද දේශීය වෙළඳපොලේ විකුණන බොහොමයක් කරදමුංගු වලට ලා කොළ පාටවත් නැත. ඇත්තේ දුඹුරු පාටයි. ඒවා බොහෝවිට ආනයනික කරදමුංගු ය. මුළුතැන්ගෙයි කරදමුංගු තිබේයැයි මගේ පැනයට ධනාත්මකව පිළිතුරු දුන් දස දෙනෙකුගෙන් සියලුම දෙනා ඒවාහි පැහැය කුමක්දැයි ඇසූවිට පැවසුවේ ලා දුඹුරු පාට බවයි! මේ කියවෙන්නේ කුළුබඩු ලොව රැජින, බලයෙන් පහවී ඇති බව නොවේද? ආචාර්ය ධර්මපරාක්‍රම සිනහමුසුව මාගේ විමසුම අනුමත කරයි.

“කතාව හරි තමයි. මධ්‍යම කඳුකරයේ, ඔය නකල්ස් ආශ්‍රිත ප්‍රදේශවල එහෙම කරදමුංගු වගාව පසුකාලීනව තහනම් කෙරුනා. පරිසරවේදීන්ගෙන් ඒකට විරෝධයක් ආවනේ. ඉතින් මිනිස්සු අලුතින් හිටෙව්වෙත් නෑ. තියෙන වගාව හැකිතාක් ප්‍රයෝජනයට අරගෙන පසුව අතහැර දැම්ම. හැත්තෑවේ දශකය තමයි අපේ හොඳම කාලය. 80 දශකය වෙනකොට මෙට්‍රික් ටොන් දෙසිය ගණනක් අපි වාර්ෂිකව හැදුව. දැන් නම් අවුරුද්දකට ටොන් එකක් විතර තමයි.”

රැජිනගේ සිහසුන කඩාවැටීම ගැන තවත් අටුවා ටීකා ලිවිය යුතු නැත. “කලාකරුවෙකුගේ ඇසට යමක් ලක්වන්නේ එය පවතින යථා තත්වයෙන් නොවේ. ඔහු එය එසේම දුටුවහොත් ඔහු කලාකරුවෙකු වන්නේද නැත.” මෙය අයර්ලන්ත ජාතික නාට්‍ය රචකයෙක්වූ ඔස්කාර් වයිල්ඩ්ගේ ප්‍රකාශයකි. කලාකරුවා එසේ වුවත් විද්‍යාඥයා නම් යමක් දකින්නේ යථා තත්වයෙන්මය. එතැනම හිඳිමින් ඒ ඇසුරෙන් නිර්මාණයක් කරනවාට වඩා, ඔවුන් උත්සාහ කරන්නේ ඊට වඩා සාධාරණ හා හිතවාදී තත්වයක් කරා යාමටයි.

සිහසුන කඩාවැටී කුළුබඩු රැජින බිම ඇද වැටී ඇති මොහොතේ ධර්මපරාක්‍රම ඇතුළු අපනයන කෘෂි බෝග බලඇණිය උත්සාහ ගත්තේද, සම්මතයට පිටින් ගොස් හෝ රැජින සතු කිරුල ඇයට පැළඳවීමටයි. තහංචි පැනවීම හේතුවෙන් කඳුකරයේ තුරු සෙවනේ සීතල ‘මහගෙදර’ තුල වසන්නට කරදමුංගු වලට තවදුරටත් නොහැකි බව වේදනාවෙන් වුවත් තේරුම්ගත් ඔවුහු, පහතරට කලාපයේ සෙවන සහිත බිම් කැබලි සොයා පල්ලම් බැස්සහ. වගාවට උචිත සිසිල් තත්වය එවන් පරිසරයන්හි නැති නිසා උණුසුම් පරිසර තත්වයන්ට ගැලපෙන කරදමුංගු ප්‍රභේද සොයමින් පර්යේෂණ කළහ. ඒ මාතලේ පර්යේෂණ ස්ථානය මූලික කරගෙනයි.

“අපිට තේරුම් ගියා පහතරට ගොඩාක් රබර් වතු තියෙනවා. හෙක්ටයාර් 114,000 ක් විතර විශාල ප්‍රමාණයක්. සීතල නැති වුවත් අවශ්‍ය සෙවන හා තෙතමනය රබර් වත්ත ඇතුලේ තිබෙනවා. උණුසුම් පරිසරයට ගැලපෙන ප්‍රභේදයක් ලැබුනොත් අපි දිනුම්. එම අභියෝගය අපි ජයගත්තා. ඊ සී 100, 101, 102, 200, 201, 202, 400 වැනි අප නිපදවූ ප්‍රභේද උණුසුම් පහතරට ජයගත් ඒවා. රබර් පේලි දෙකක් අතර අඩි 8 ක පරතරය තුල පහසුවෙන් අපි කරදමුංගු වැව්වා. හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 750 ක පමණ සාධාරණ අස්වැන්නක් ඒ ප්‍රදේශයෙන් ලැබුවා.”

ආචාර්ය ධර්මපරාක්‍රම මඳක් නිහඬවී කල්පනා කරයි. කොතැනක හෝ වැරදීමක් සිදුවූවාවත්ද ? රබර් වගාවේ සතුට තිබුනේ පස් වසරකටත් වඩා අඩු කාලයක් බව හෙතම හෙළිකරයි. කරදමුංගු පඳුර පොළොවෙන් ඉලිප්පෙන තරමට එහි පාදස්ථය වටා රබර් මුල් වැවෙන බව ඔහු පවසයි.

පැණි වරකාවට හෙන ගැහීම නතර වූයේද නැත. ඒ ටික කෙරුවේ අපේම රැකවරණයෙන් මෙරටට කඩාපාත්වූ පැලමැක්කෙකි.  

ශාක නිරෝධායනයක ඇති වැදගත්කම ගැන අප කීපවරක් ලිපි ලියා තිබේ. විදෙස් රටකදී දැක හඳුනාගෙන හිතගිය පමණින් ගමන් මල්ලේ දමාගෙන ගුවන් තොටේ කල්මරණ ශාක නිරෝධායන නිලධාරීන්ටද වෙට්ටුවක් දමා රැගෙන එන ගෙඩියක් ඇටයක් වැනි දෙයකින් රටම වැනසිය හැකි බව ඒ ලිපි හරහා ඉතා පැහැදිලිව එකල අප පෙන්වාදුනි. මෙවැනි අකටයුතුකම් කරන්නන් අතර නිරෝධායනයේ වැදගත්කම දන්නා උගත් බුද්ධිමත් ප්‍රබුද්ධයින්ද සිටීමයි.

අවාසනාව! කරදමුංගු ඛේදවාචකයද එවැන්නකි. 2000 වසරේදී පමණ පෞද්ගලික ව්‍යාපාරිකයෙක් විසින් ඉන්දියාවේ සිට ‘ග්‍රීන් ගෝල්ඩ්’ නම් වර්ගයට අයත් කරදමුංගු පැල කීපයක් මෙරටට ගෙනැවිත් තිබේ. ඔහු ඒවා තමාගේ වත්තේ වගා කෙරුවාට අමතරව, ඉන් නිපදවෙන පැල පවා අලෙවිකර තිබෙන බවද සඳහන්ය. ඒ සමග මෙරටට ගොඩබැසි පැලමැක්කෙක් සිටි බව කවුරුවත් දැන සිටියේද නැත. පැලමැක්කාගේ හානිය ඔඩුදුවා රැජිනට මරණාසන්න වෙත්දී 2006 වසරේදී පමණ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත තත්වය වාර්තා වුවත් ඒ වනවිට කළහැකිව තිබුනේ සුදු කොඩි සූදානම් කිරීම පමණි.

“අපේ ප්‍රභේද වලත් හිටියා පැලමැක්කෝ. හැබැයි ඒ අය ස්වභාවිකව මේ පරිසරයේ සිටි උගේ සතුරන් අතින් පාලනය වෙලයි හිටියේ. ඒ නිසා හානියක් උනේ නෑ. අලුත් සත්වයා ඉන්නෙත් පත්‍ර කොපුව ඇතුලේ. ඒ නිසා පිටතට පේන්නෙත් නෑ. පලිබෝධනාශක ඉස්සත් වදින්නෙත් නෑ. ඌ කරන්නේ කරදමුංගු ගෙඩිය ලපටි කාලේදී ඒක විදලා යුෂ බොන එක. ගෙඩිය ලොකු වෙනකොට පැල්ලම් සහිත ගෙඩියක් තමයි ලැබෙන්නේ. මිනිස්සු මේ හමුවේ වගාව අතහැරියා”

ආචාර්ය ධර්මපරාක්‍රම මෙසේ පැවසුවද පළිබෝධනාශක යොදා කරදමුංගු වැවීම ඔහු අනුමත කරන්නේ නැත. සතුරා සැඟවී සිටිනා බැවින් මෙවැනි අවස්ථාවක වසවිස වල පිහිට පතනවානම් කලයුත්තේ ගසට උරාගෙන ඒ තුල සංසරණය වෙන සංස්ථානික වර්ගයට අයත් නාශක දියරයක් යෙදීමයි. එවැන්නක් හමුවේ පැලමැක්කා මැරෙන්නේ ශාක පත්‍ර හරහා ගසට උරාගෙන ශාක දේහය සිසාරා පරිවහනය වී, කරදමුංගු ගෙඩිය දක්වා පැමිණ තිබෙන වස දියරය උරා බීමෙන්ය. ගෙඩියේ ඉතිරිවෙන වස විසක් වේනම් එය මිනිසාටය. මීට අමතරව කරදමුංගු මල් පරපරාගනය කරන්නේ බඹරුන් හා මී මැස්සන් බැවින් කෘමිනාශක ඉසීම තවත් පැත්තකින් අගුනවේ.

අප මෙසේ කේන්දර බැලුවත්, ඉන්දියාව නම් තම සුපුරුදු සිරිතට අනුව පලිබෝධනාශක ඉසිමින් යස අගේට වගාව පවත්වාගෙන යයි. අපේ හානියටද ඉන්දියාවෙන් උපදෙස් පැතූවිට පලිබෝධනාශක කීපයක් නම් කරමින් ඒවා යොදා මර්දනය කරන මෙන් උපදෙස් පවා ලැබී තිබේ. ඒවා උග්‍ර විෂ සහිත ඒවා වූ අතර  ඒ වනවිටත් එම රසායනයන් මෙරට භාවිතය පවා තහනම් කර තිබුණි. ඉතින් ලෙඩ වගාව මැක්කාටම භාරදී අත පිහගන්නවාට වඩා කල හැක්කක් නොමැත.        

රබර් මුල් ප්‍රශ්නය නිසා අතුරු බෝගයක් වශයෙන් රබර් වතුවල කරදමුංගු ව්‍යාප්ත කිරීමේ අදහස අතහරින අපනයන කෘෂිකර්ම නිලදරුවන්, මීළඟට සොයා යන්නේ පහතරට ප්‍රදේශයට ගැලපෙන මැහෝගනී වගාවකි.

“හැම තිස්සෙම අපිට මේ වගේ ලොකු වගා සොයා යන්න වෙනවා. ගෙදර භාවිතයට පඳුරක් දෙකක් ගෙවත්තේ සීතල හා සෙවන තැනක වවා ගත්තත්, ආර්ථික වගාවක් එහෙම කරන්න බෑනේ. ඒකට ලොකු වගාවක් අවශ්‍යයයි.”

මැහෝගනී වගාවන් තුල කෙරෙන කරදමුංගු ව්‍යාපාරය නම් දැනට වසර 15 ක් පමණ තිස්සේ සාර්ථකව කෙරීගෙන යයි. කඳුකරයේදී තිබූ ගැටළු නම් තවමත් අඩුවැඩි වශයෙන් ඇවිත් යනවා පෙනේ. එවන් එක ප්‍රශ්නයක් වන්නේ රිලවුන්ගේ හානියයි. මෙම වගා ආශ්‍රිත ප්‍රදේශයන්හි බහුලව සිටින රිලවුන් කරදමුංගු අමු ගෙඩි හපමින් අපමණ සතුටට පත්වේ. ඉන් සෑහීමක් නොලද තැන කඳ හපා යුෂය උරා බොන්නටද විය. වල්ඌරන් හා ඉත්තෑවුන්ද රිලවුන්ගේ සහයට ආවේ පෙර නොවූවිරූ ඇඟෑලුම් කමක් පාමින්ය. මේ සියල්ල පරදවමින් මිනිසාද හොරකමේ යමින්  රහසේ කරදමුංගු කඩන්නට පුරුදු වී තිබේ. මෙකී නොකී තත්වයන් හමුවේ රැජිනගේ සිහසුන යලි ඉදිකරන්නන්ට ඇති බාධා අපමණය.

මැහෝගනී කැලෑව තුල බෝගය රැකගැනීමේ ප්‍රශ්නය නිසා වගා ව්‍යාප්තිය සිදුවන්නේද ඉතා සෙමිනි. ඒත් බලධාරීන් වැඩේ අතහරින පාටක්ද නැත. සීතල සෙවන තුල කරන්න බැරිතැන උණුසුම් සෙවනක වගා පිහිටුවා ජයගත් ඔවුන්, බෝගයේ ආරක්ෂාව සැලසීමේ අරමුණින්, වනවගා තුලට නොගොස් කෘතිම සෙවනක කරදමුංගු වැවීමට සූදානමින් සිටී.

“පර්යේෂණ මගින් අපි අත්හදා බලා තියෙනවා දැල් ගෘහයන් තුල මෙය වගාකරන්න. අඩි හයයි හයේ පරතරයට කැපූ, දෙකයි දෙකේ වලවල් වලට හොඳට කොම්පෝස්ට් හා මතුපිට පස් දාල, පැල සිටුවන්න ඕනෑ. අවුරුදු දෙකෙන් පසු අස්වැන්න එනවා. වසර හයෙන් පසු වසර 15 ක් පමණ වනතෙක් හොඳ අස්වැන්නක් එනවා. එක පඳුරකින් අවුරුද්දකට කිලෝ එකක් විතර ගන්න පුළුවන්.”

දැනට කරදමුංගු වලට හොඳ ඉලුමක් තිබේ. මේ වනවිට කිලෝවක් රුපියල් 10,000 ක් පමණ වේ. 2010 වසරේදී පමණ සෙනසුරු දසාව ලබන විටත්, රුපියල් 6000 ක පමණ මිලකට මේවා අලෙවි විය. දේශීය ගොවිතැන ගැන නොසිතා අත දිගහැර පිටරටින් කරදමුංගු ගෙන්වූ කාලයේදී කිලෝව රුපියල් 2000 ට පමණ අඩු වුවත්, දැන් යලිත් තත්වය සතුටුදායකය. මේ අතර අපනයන ගම්මාන බිහිකර කරදමුංගු වගාව ඔසවා තබන්නටද යෝජනා සූදානම් වෙමින් පවතී. මෙතනදී වගාකරුවන්ට යටිතල පහසුකම් සංවර්ධනය කරගැනීමට ලැබෙන සහනාධාර පැකේජයකට අමතරව නිරෝගී පැලද බෙදාදෙනු ඇත.

දැනටමත් පැල නිෂ්පාදනය ඇරඹී ඇති අතර ගම්මාන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ පැලමැක්කා නැති ප්‍රදේශ වලයි. ගම්මානයටම පොදු උදුනක් ඉදිකිරීම හරහා පදමට වියලීමද සනාථ කරගන්නවා ඇත. ගම් මට්ටමෙන් සාධාරණ ඉදිරිපත්වීමක්  ඇත්නම් අඩුවැඩිය සපයන්නට තම දෙපාර්තමේන්තුව සුදානම් බව ධර්මපරාක්‍රම මහතා සඳහන් කරයි. ඔබට විමසීමක් ඇත්නම් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ගැටඹේ කාර්යාලයෙන් හෝ මාතලේ පර්යේෂණ මධ්‍යස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පිළිතුරු ලබාගත හැකිවේ.

මෙරට වගාකළ හැකිදේ අප පිටරටින් ගෙන්වන්නේ කුමකටද යන ස්ථාවරයකට පැමිණෙමින් සිටින වත්මන් බලධාරීන්, රැජිනගේ සිහසුන යලි සාදමින් සිටින ධර්මපරාක්‍රමලාට අවශ්‍ය දිරිය සපයනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. රැජිනට පණදීම වනාහී, අපේ බත්පතේ මස්කරිය හෝ ඉඳහිට හපනා සාරවිට පෝෂණය කිරීමේ ව්‍යායාමයක් පමණක් නොව, අපගේ විදේශ විනිමය පිපාසාව සතපන වතුර උගුරක්ද වනබව නිසාය.

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture
National Agriculture Information and Communication Center
Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor