කාන්තා ගැටලුවලට විසදුම ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමයි – පවිත්‍ර වන්නිආරච්චි

පසුගිය කාලය තුල කාන්තාවන්ට තිබුන ගෞරවනීය තත්ත්වය සමාජය තුල බිද වැටී තිබූ බවත්, රටේ කාන්තාවගේ දිළිදුභාවය, වේදනාව, පීඩාව නැති කිරීමේ ප්‍රධානතම පිළිතුර වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු කිරීම බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

2020 වසරේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද  (08) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහභාගීත්වයෙන් රත්නපුර නව නගර ශාලාවේ දී පැවැත්විනි. කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කොට තිබුනි.

ඇය දිරිමත් – රට සවිමත් යන්න තේමා කර ගනිමින් කාන්තාවන් 1000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පැවැති අතර, ජතික උත්සවයට සමගාමීව ඊයේ 07 සහ අද  08 යන දෙදින දිනයන් හී රත්නපුර සීවලී ක්‍රීඩාංගණය අසල (ලොරි රථ ගාල) ව්‍යවසායික කාන්තාවන්ගේ නිෂ්පාදන කුටි 75 කට අධික  අලෙවි වෙළෙදපොලක් සහ ප්‍රදර්ශණයක් පැවැත්වීමට ද කටයතු යොදා තිබුනි.

මෙම උත්සව සභාවට එක් වෙම්න් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය- “මෙම අමාත්‍යාංශය මා වෙත ලැබීමෙන් පසු ජාතන්තර කාන්තා දිනය සමරන්නේ කොහෙද කියලා ඇහුවාම මම ලේකම් තුමියට කිව්වා එය සමරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරනීය කාන්තාවන් සමග කියලා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන මම දියණියන්ගේ වටිනාකමත්, අම්මෙකුගේ කාර්යභාරයත් ඔබ වගේම හොදින් දන්නවා. මොන අමාත්‍යාංශය අප වෙත ලැබුනත් අම්මා කෙනෙක් විදිහට මේ රටේ කාන්තාවන්ට කරන්න තියෙන කටයුතු ටික සහ වගකීම් බලපුවාම ඒ කාන්තාවන්ට මේ රටේ ගෞරවයක් ලබාදීමයි ප්‍රධාන වශයෙන්ම මේ රටේ සිදු විය යුත්තේ.

අපි කාන්තාවන් විදිහට දරුවන්ගේ සියලු වැඩකටයුතු කරන්න ඔිනි. කාන්තාවන් මේ සමාජයේ මොනතරම් බරක් දරා ගෙන සිටිනවා ද. මේ සියලු වගකීම් දරන කාන්තාවට අප සමාජය තුල මොනතරම් ගෞරවයක් ලබාදීමට වැඩපිළිවෙළක් තිබෙනවා ද. පසුගිය කාලය තුල කාන්තාවන්ට තිබුන ගෞරවනීය තත්ත්වය සමාජය තුල බිද වැටුනා. කාන්තාවන්ට ජිවිතය ගොඩනගා ගන්න සිදු වුණේ බොහෝ නින්දා අපහාස මැද්දේ. කොටසක් මැදපෙරදිග රැකියා වලට ගියා. කාන්තාවට සමාජය තුල ගෞරවය, වගකීම නිසි තැන තිබෙනවා ද කියන එක ප්‍රශ්ණයක්. මෙම අමාත්‍යාංශය බාරගත් වෙලාවේ මම සිතා ගත්තේ මට පුළුවන් විදිහට මෙරට කාන්තාවන්ගේ ගෞරවය හා අභීමානය රැකීමට කටයුතු කරනවා කියන හැගීමයි.

අප රටේ කාන්තාවගේ තිබෙන දිළීදුභාවය, වේදනාව, පීඩාව නැති කිරීමට ප්‍රධානතම පිළිතුර වන්නේ කාන්තාවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීම. මේ කටයුත්ත මට කරන්න පුළුවන් කියලා ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාසය තබා මට ඒ වගකීම පවරා තිබෙනවා. ආණ්ඩුව හදලා සති කිහිපයකින් දැන් ආණ්ඩුව විසුරවනවා. මට වැඩි කාලයක් තිබුනේ නැහැ මට දැනුන ඔබේ පීඩාව නිවන්න අවශ්‍ය කටයුතු ඉක්මණින් කරන්න.

අපේ රටේ ජන ගහනයෙන් භාගයකට සමෘද්ධි සහනාධාර තිබෙනවා කියන්නේ අපි දුප්පත්. සමෘද්ධීලාභියෙකුගේ මරණයක දී දුන්නේ රුපියල් 15,000 යි. මම එය 20000 දක්වා ඉහළ නැංවූවා. සමෘද්ධී ව්‍යාපාරය හරහා ජනතාවගේ ජිවිතය ඉහළ නැංවීමට කටයුතු කළා. ලංකාවේ සියළුම වැසිකිලි නැති පවුල් සදහා වැසිකිළි සාදා ගැනීමට රුපියල් 40,000 ක මුදලක් දීමට අවශ්‍ය කටයූතු කළා. ජනාධිපතිතුමාගේ ජීවන දර්ශණය මේ රටේ ආර්ථීකය නැගිට්ටවීමට මුල්තැන අම්මාට  දෙමින් පවුල නගා සිටුවමින් දරුවන්ට පරිගණත තාක්ෂණය ලබාදීමටත් කටයුතු කිරීම. ලෝකයට ගෘහ සේවා සැපයීමට අපේ දරුවන් යැවිය යුතු නැති බවත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන කාලයේම වෘත්තීය පුහුණූව ලබාදෙන කාලයේම හොද ඉංග්‍රීසි දැනුමක් සහ හොද වෘත්තීය දැනුමක් ලබාදීමත් බවයි”

ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයේ දී හොදම කාන්තා බල මණ්ඩලය තේරීම, හොදම ව්‍යවසායික කාන්තාව තේරීමේ තරගයේ සහතික පත් පිරිනැමීම, හොදම සුහුරුලිය තේරීමේ සමස්ත ලංකා තරගයේ ජයග්‍රාහිකාවන් සදහා සහතික පත් ප්‍රදානය, යුනිලීවර් ආයතනයෙන් සකසන කාන්තාවන් සදහා විද්‍යුත් ජාලගත ඉගෙනුම් පාඨමාලා සදහා වන පරිගණක මෘදුකාංගය (online Education Platform) එළි දැක්වීම ද සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ව්‍යවසායික කාන්තාව ලෙස කේ.පි.එච්.ඩි රංජනී කාන්ති මහත්මියත්, සමස්ත ලංකා තරගාවලියේ හොදම සුහුරුලිය වශයෙන් ශ්‍රීයාණි දික්කුඹුර මහත්මිත්, රත්නපුර දිස්ත්‍රික්කයේ හොදම ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල තේරිීමේ තරගයේ පළමු ස්ථානය කුරුවිට කාන්තා බල මණ්ඩලයත් දිනා ගන්නා ලදි. ඊට අදාල සම්මාන හා සහතික පත් ප්‍රදානය ද සෞඛ්‍ය අමාත්‍යතුමිය අතින් සිදු විය.

Recommended For You

About the Author: Editor