කලාකරුවන්ටත් වැටුපක් අවශ්‍යයි – ප්‍රවීන නාට්‍යවේදී පූජිත ද මෙල්

පූජිත ද මෙල් නාට්‍යකරුවෙක් ලෙස දේශපාලනික සමාජය සහ කලාව තුළ ස්ථාවර වෙන්නේ කොහොමද ?

මම දන්නෙ නෑ මම ස්ථාවරද කියල ඒක තීරණය කළ යුත්තේ මගේ නිර්මාණ වැළඳගන්න සහ රස විඳින පිරිස මගෙ ප්‍රකාශන මාධ්‍ය වෙන්න නාට්‍ය. මම ඒ පිළිබඳ හැදෑරීම් කරමින් ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නවාට වඩා ගුණාත්මක නිර්මාණයක් කිරීමට උත්සාහ කරනවා. ඒ උත්සහය තුළින් ගමනාන්තය අරඹන චාරිකාවේ මගේ පළවෙනි නිර්මාණය වෙන්නෙ ”පියවර” කියන ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය පාදක කර ගනිමින් එකල පැවති ජනවාර්ගික අර්බුදය අළලා ගොඩ නැගුණු වාර්තාමය නාට්‍යක්. මේ නාට්‍ය ගොඩනැගෙන්න මූලික අඩිතාලම සැකසෙන්නේ ලංකා සමසමාජ පක්ශයෙන් ආරම්භ කළ සූරිය මල් ව්‍යාපාරය. එම ව්‍යාපාරයේ සිටි වෙස්ලි මුත්තයියා සහ විමල් රුද්‍රිගූ යන සහෝදරයින් හරහා මට මේ වෙනුවෙන් යම් ප්‍රාසාංගික නිර්මාණයක් කිරීමට ආරාධනා ලැබෙනව. ඒ හරහා පියවරෙන් පියවර මගේ නාට්‍ය ජීවිතය දිග ඇරෙනවා.

ඒ කියන්නේ යම් කලාකරුවෙක්ට සිය ස්වතන්ත්‍ර නිර්මාණයක හෝ වෙනත් නිර්මාණයක නියැලෙද්දී තම දේශපාන මතවාදය අවිඥනිකව හෝ බලපානවා නේද?

ඔව් අනිවාර්යයෙන්ම. මිනිසා උපතින්ම දේශපාලන ජීවියෙක්.ඒ නිසා දේශපාලනයෙන් වියුක්ත වෙලා කලාවක් කරන්න බැහැ. මම මේ අදහස් කරන්නෙ පක්ෂ දේශපාලනයට පටු වුණ කාරණයක් නෙවෙයි. ඊට වඩා පුළුල් දේශපාලනයක් පිළිබඳ. උදාහරණයක් විදියට වර්තමානයේ ඉන්දියාවේ සිදුවෙන දේශපානික හෝ රාජ්‍යතාන්ත්‍රික සිදුවීම් අපට මග අරින්න බැහැ. සහ ඇමරිකාව, චීනය වැනි රටවල ඇතිවන තත්ත්වයන් වලින් අපිට වියුක්ත වෙන්න බෑ. ඒ නිසා කලාකරුවාටත් මේ අවස්ථා කොයි ආකාරයකින් හෝ බලපානවා.

තවත් උදාහරණයක් කියනවනම් පසුගිය දින වල ශීඝ්‍රයෙන් අඳින ලද වීදි චිත්‍ර මේ දේශපාලන ව්‍යාපෘති නෙවෙයිද? මම මේක දේශපාලනිකයි කියන්නෙ කාරණා කිහිපයක් පාදක කරගෙන. එක තමයි මේ ක්‍රියාවලිය තුළින් ඇතැම් පුද්ගලයන්ට සිය ජීවන වෘත්තීන් පවා අහිමි වූවා. උදාහරණයක් විදියට අතීතයේ යම් කාරණයක් පිළිබඳ පෝස්ටර් හෝ වෙනත් ක්‍රමෝපායක් හරහා ප්‍රචාරණයේ නියැලෙද්දී එම පෝස්ටර් ගැසීමේ කාර්යය හා ප්‍රචාරණ කාර්යය සිදු කිරීමට අදාල සේවක පිරිසක් සිටියා. මේ වෙද්දි ඒ පිරිසගෙ රැකියා අහිමි වෙලා තියනවා. ඒ සිදුවීමම දේශපාලනිකයි සහ මේ පෝස්ටර් සහ සිතුවම්කරණය එක රැයෙන්, ආරම්භ වුණ දෙයක් බවට වර්තමානය වන විට පත්වෙලා තියනවා. ඒ නිසා කලාව කියන ප්‍රස්තුතය තුළින් දේශපාලනය යන කාරණය වෙන් කරන්න අමාරුයි.

පහුගිය ජනාධිපතිවරණයේදී විවිධ පක්ෂ නියෝජනය කරමින් කලාකරුවන් ප්‍රධාන පක්ෂ තුනෙන්ම වේදිකාවට නැග්ගා. සත්‍යවශයෙන්ම මේ වේදිකාව තුළ මොවුන්ට හිමි වන කාර්ය භාරය කුමක්ද?

අපි වේදිකාවට නැග්ගෙ ජාතික ජන බලවේගයට සහය පල කරමින්. මේ වෙද්දි පසුකරන් ආපු කාලසීමාව තුළ දක්ෂිණාංශික අර්බුදය උත්සන්නව පැවතුනු කාලයක්. ඇතැමුන් ජාතිකත්වය පෙන්වමින් තම කඳවුර ගොඩ නගා ගත්තා. ඇතැමුන් වෙනත් අරමුණු තකා මේ දේශපාලනය වටා කේන්ද්‍ර ගත වුණා. නමුත් මේ දෙපාර්ශ්වයම සිදු කරේ ”නත්තල් පප්පාගේ” ක්‍රියා පටිපාටිය. ඒ කියන්නෙ යම් ආකරයේ ද්‍රව්‍ය බෙදාහැරීම්, රට ස්ථාවර කිරීම් වැනි අදහස් ඒ අයගෙ මුඛ්‍ය පරමාර්ථය වුනා.

එහෙත් අපි උත්සහ කරේ එයට වඩා පුළුල් කතිකාවතක් සංස්කෘතික වශයෙන් ඇතිකරන්න සහ අපිට වුවමනාව තිබුණෙ එකිනෙකා බියගන්වා නියැලෙන දේශපාලන හස්තයන්ට මේ මැදිහත් වීමේ ඉඩ නතර කරන්න. තවත් විශේෂ කාරණයක් තමයි මේ අධිපතිවාදී සංකල්පය. පහු ගිය ජනාධිපතිවරණයට සහභාගී වූ ප්‍රධාන පාර්ශ්ව ද්විත්වයම මමත්වය මූලික කරගෙන ඔවුන්ගේ මතවාද මුදාහැරීමක් සිදු කරන ආකාරයක් පෙනී ගියා. එහෙත් අපි සහය දැක්වුවේ අනුර කුමාර දිසානායක කියන පුද්ගල චරිතයට නොවේ. අපි සහය දැක්වුවේ ජාතික ජනබලවේගයට සහ එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට. එහෙත් යම් අවස්ථාවල ඇතමුන් මේ පුද්ගල චරිත වටා තම දේශපාලන කැමැත්ත ගොඩ නගාගෙන තිබුන බවක් අපි දැක්කා. ඒ ආකාරයේ එක් පුද්ගල චරිතයක් වටා කේන්ද්‍රගත වූ දේශපාලනයක් නෙමෙයි අපිට අවශ්‍ය වුනේ. අපිට අවශ්‍ය වුණේ ස්ථාවර සහ ගැටලුකාරී තත්වයන් අඩු දේශපාලන ප්‍රතිපත්තියක් සහ අප කළ යුත්තේ දේශපාලන පක්ෂවල නාමකරණයන්ට විතැන් නොවී සාධනීය දේශපාලනයක් සහ ප්‍රතිපත්තියක් තිබෙන පක්ෂයක් සමග අත්වැල් බැඳගැනීමයි.

දේශපාලකයන්ට කලාව වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් ?

පළමුව කලාව තේරුම් ගත හැකි දේශපාලකයන් මේ රටේ සිටිය යුතුයි. මේ රටේ මේ වෙද්දි එහෙම දේශපාලකයින් නැහැ. අතීතයේ කොල්වින් සහෝදරයා, ජේ.අර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා වැනි චරිත ගත්විට ඔවුන් සමාජය දෙස හා කලාව දෙස විමසිලිමත් මනසකින් බැලීමට හැකි දේශපාලන රසඥතාවයකින් යුක්ත වුණා. උදාහරණයක් විදියට කේමදාස සූරීන් වරක් ලයනල් වෙන්ඞ්ට් රඟහල තුළ ඔපෙරාවක පුහුණුවීම් කටයුතු වල නියැලී සිටියදී ඒ ස්ථානයට ආ ඇන්. එම් සහෝදරයා ඔහු පුහුණුවීම් කර සිටිය ස්ථානයේ තිබූ ඉරී ගිය බිම් පළඳනාව දැක පසු දින ඔහුටත් නොදන්වාම එම පහසුකම් සහ උපකරණ සපයනවා. ඒ ආකාරයෙන් සවිඥානික සහ කලාවට ඇලුම් කරන දේශපාලන වපසරියක් තිබුණ සහ අද වනවිටත් මේ කලාවේ ප්‍රගමනට දායකත්වය දක්වන යම් පිරිසක් ඉන්නවා. එහෙත් බොහෝ දේශපාලකයින් සිදු කරන්නේ මේ වෙළඳපොල ආර්ථිකය සමග ගැටෙමින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මිස කලාව දියුණුවට අවශ්‍ය සංස්කෘතික සහ සමාජයීය වටපිටාව නිර්මාණය කිරීම නෙවෙයි.

කලාකරුවන්ට තමන්ගේ කාර්යභාරයෙන් මිදී ඇයි වෙනත් මානයන්ට සහ වෙනත් ආර්ථික මාර්ග වලට යොමු වෙන්න වෙලා තියෙන්නෙ?

ප්‍රධානම කාරණය මම කියන්නම්. වෘත්තීමය කලාකරුවන්ට මේ සමාජ හා ආර්ථික ක්‍රමය සමග ගැටෙන්න අමාරුයි. ඒ නිසා මේ ආර්ථික දුෂ්කරතා මැද්දෙ කලාකරුවන්ටත් යම් යම් ව්‍යාපෘති වල කොටස්කරුවන් වෙන්න සිද්ධ වෙලා තියනවා. ඒනිසා මම ඒ කාරණයට එක හෙළා විරුද්ධ වෙන්නෙ නෑ. මොකද මේ වනවිට අපිට මේ ආර්ථික ක්‍රමය තුළ කලාවට නිසි අකාරයේ වටිනාකමක් ලැබී නෑ. නමුත් මේ සදහා විකල්ප තිබෙනවා.

සංස්කෘතික දෙපාර්තමේන්තුව මේ රටේ ස්ථාපිත කරන්නෙ 50 දශකයේ අග භාගයේ එහෙත් තාම මේ කලාකරුවන්ට මේ වෘත්තීය වශයෙන් වැටුපක් ලැබෙන ක්‍රමයක් සම්පාදනය කරල නැහැ. ඉන් දශක තුනකට පසුව ගොඩනැගුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ට මාසික වැටුපක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය ආර්ථික වපසරිය නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ කලාකරුවන්ටත් මෙවැනි ක්‍රමවේදයක් සම්පාදනය කළ යුතුයි. එසේ කිරීම හරහා කලාකරුවාට තමන්ගේ නිර්මාණ සදහා දක්වන අවධානය වැඩි කරගන්න පුළුවන් වගේම, ඔවුන්ගේ නිර්මාණ සමග වැඩි කාලයක් ගත කරන්න පුළුවන්. ඒ හරහා රසිකයාටත් ගුණාත්මක නිර්මාණ ලබාදෙන්න පුළුවන් වගේම ඔවුන්ට විවිධ දේශපාලකයින් සමීපයට නොගොස් තමන්ගේ නිර්මාණ සමග ජීවත්වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යම් නිර්මාණයක නිරතවෙද්දි එයට සමාජ වටිනාකමක් හිමි විය යුතුයි සහ එම නිර්මාණයට අදාල මූල්‍ය පහසුකම් අවශ්‍යයි.

එතකොට මේ නිර්මාණ කරගැනීම සදහා කලාකරුවන් දේශපාලන ආධාර ලබාගන්නවා නේද?

ඒක තමයි වැරැද්ද. මූල්‍ය පහසුකම් දුන්න නිසා තමන්ගෙ දේශපාලන මතවාදය නැවත කියවගන්න නෙමෙයි කලාකරුවා ඉන්නෙ. උදාහරණයක් මම කියන්නම්. කෙනෙක් බැංකුවක මුදල් තැන්පත් කළ පලියට ඔහු ඒ බැංකුවේ වෙළඳනාම තානාපති කෙනෙකු වෙන්නෙ නැහැ. ඒ නිසා මේ නිර්මාණ සඳහා ලබා දෙන්නේ මේ රටේ දේශපාකයන්ගේ පසුම්බි වල තියන මුදල් නෙවෙයි. රටේ සමාන්‍ය ජනතාවගේ, අපේ මුදල්.

ඔබ දකින විදියට යම් කලාකෘතියක් සහ එය සමාජගතකිරීම යන කාරණය අතර පවතින සම්බන්ධතාව කුමක්ද ?

මොනයම් හෝ කලාකෘතියක් ගත් විට එය සමාජගත කිරීම තමයි නිර්මාණ කරුවාගේ කාර්ය වෙන්නෙ. නැත්නම් සමාජය කරන ඉල්ලීමට යම් නිර්මාණයක් කිරීම නොවෙයි. එයට හෘදයාංගම වී, තමන්ගේ නිර්මාණයෙන් සමාජයට උකහාගන්න පුළුවන් කුමන ආකාරයේ ප්‍රපංචයන්ද, ප්‍රස්තුතද යන කාරණා සැලකිල්ලට ගෙන තමයි මේ සාහිත්‍යකරුවෝ නිර්මාණයේ නියැලෙන්නේ. ඒ නිසා කවරාකාරයේ නිර්මාණයක් වුණත් සමාජගත කිරීමේ ක්‍රියාවලිය නිර්මාණකරුවා සතු වගකීමක්.

බිම්සර සඳරු විසින් 2020 මාර්තු 09 රාවය පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවක සම්පූර්ණ උපුටා ගැනීම

Recommended For You

About the Author: Editor