සුළු අපනයන බෝග වගාකරුවෝ කබලෙන් ලිපට ?

ආහාර පදමට රස කෙරෙන කුළු බඩු අතර කුරුඳු, ගම්මිරිස් හා ගොරකාවලට විශේෂ තැනක් හිමි වේ. මෙරටට ඉහළ විදේශ විනිමයක් ලබා දෙන සුළු අපනයන බෝග අතරට ද මේ කුළු බඩු අයත් වන අතර මේ දිනවල පවතින වෙ‍ෙළඳපොළ මිල ගණන් හම‍ුවේ මේ කියන කුරුඳු, ගම්මිරිස් හා ගොරකා ඇතුළු කුළු බඩු වගාකර නිෂ්පාදනය කරන රට පුරා සිටින ගොවීහු දැඩි දුෂ්කරතාවලට පත්ව සිටිති.

කෙසේ වුවත් මෙලෙස මේ කුරුඳු, ගම්මිරිස් හා ගොරකා වැනි කුළු බඩු මිල පහත ගියේ අද ඊයේ නම් ‍නොවේ. වසර ගණනාවක් තිස්සේ ඇදි ඇදී ආ මේ ප්‍රශ්න හමුවේ වැවිලිකරුවන් හා නිෂ්පාදකයන් එකතුව උද්ඝෝෂණ ව්‍යාපාර පවා පවත්වන ලදි.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මේ ගැටලුව පිළිබඳ ඉතා ඉක්මනින්ම සොයා බැලූ අතර මේ කියන නිෂ්පාදන විදේශයන්හි සිට මෙරටට ආනයනය හා ප්‍රති අපනයනය ද නවතා දැමීම සඳහා පියවර ගැනුණි.

පසුගිය වසර කිහිපය තුළ ජාවාරමක් බවට පත් වුණු ගම්මිරිස් ප්‍රති අපනයනය හමුවේ ටිකෙන් ටික එහි මිල අඩු වීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400ක් දක්වාම පහත වැටුණි. ටිකෙන් ටික ඔළුව උස්සන බවක් පෙනෙන්නට තිබුණ ද තවමත් මේ වියළි ගම්මිරිස් කිලෝව අලෙවි ‍වන්නේ රුපියල් 550ක පමණ මුදලකටය.

මේ කුළුබඩු භෝග අතර වැඩිම වගාව සිදු වන්නේ ගම්මිරිස් වගාවයි. සංඛ්‍යා ලේඛනවලට අනුව හෙක්ටයාර 32,800ක මේ ගම්මිරිස් වගාව සිදුවන අතර ඉන් ලක්ෂ දෙකකට අධික ජනතාවක් සිය ජීවන මාර්ගය සපුරා ගනිති. මාතලේ, මහනුවර, බදුල්ල, කුරුණෑගල, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදු කෙරෙන අතර තවත් දිස්ත්‍රික්ක කිහිපකට ගෘහාශ්‍රිත ලෙස අඩු වැඩි වශයෙන් මේ ගම්මිරිස් වගාව සිදු කෙරෙති.

මීට වසර තුනකට හතරකට පෙර වියළි ගම්මිරිස් කිලෝවක් මිල රුපියල දහස ඉක්මවා තිබුණි. ඇතැම් අවස්ථාවල රුපියල් 1500 දක්වාද මිල ඉහළ ගියේය. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ජාවාරමක් බවට පත් වුණු ගම්මිරිස් ප්‍රති අපනයනය හමුවේ ටිකෙන් ටික එහි මිල අඩු වීම ආරම්භ විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී වියළි ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 400ක් දක්වාම පහත වැටුණි. ටිකෙන් ටික ඔළුව උස්සන බවක් පෙනෙන්නට තිබුණ ද තවමත් මේ වියළි ගම්මිරිස් කිලෝව අලෙවි ‍වන්නේ රුපියල් 550ක පමණ මුදලකටය.

ගම්මිරිස් පමණක් නොව මෙරට නිෂ්පාදනය වන කුරුඳු සඳහා ද ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇත. නමුත් මේ වන විට දේශීය වෙළෙඳපොළේ කුරුඳු මිලද ශීඝ්‍රයෙන් පහළ වැටී ඇති බව කුරුඳු වගාකරුවෝ හා ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

ඒ අනුව තවමත් ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝවක මිල දේශීය වෙළෙඳපොළ තුළ රුපියල් 3400 ඉක්මවා ගොස් නැත. එහෙත් මීට වසර කිහිපයකට පෙර නම් එවැනි කුරුඳු කිලෝවක මිල රුපියල් 4200 පමණ වූ බව කියවේ. එලෙසම වසර කීපයකට පෙර රුපියල් 2050 ක්ව පැවැති ගොරෝසු වර්ගයේ කුරුඳු කිලෝවක මිල ටිකෙන් ටික පහතට ගිය අතර එහි මිල ගණන් තවමත් කිලෝව රුපියල් 1700 ඉක්මවා ගොස් නැත.

ඉතිහාසගත තොරතුරු අනුව ක්‍රි.ව. 1505 දී පෘතුගීසින් ලංකාවට එන විට මෙරට කුරුඳු වගාව ජනප්‍රියව තිබුණි. මේ වන විට ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙම කුරුඳු වගාව සිදුවන අතර පසුගිය වසර 05ක පමණ කාලයක සිට කුරුඳු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී නැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශිත සංඛ්‍යා ලේඛන හා දත්ත පරිශීලනයේදි පැහැදිලි වේ. කුරුඳු කර්මාන්තය මුහුණ දී ඇති මේ ගැටලුවට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස කුරුඳු තැළුම්කරුවන්ගේ උග්‍ර හිඟය ද පෙන්වා දිය හැකිය.

ගම්මිරිස් හා කුරුඳු වැනි කුළුබඩු මෙන් ම මිල පහළට ගිය අනෙක් ප්‍රධානතම නිෂ්පාදනය ගොරකායි. මීට වසර 02කට පමණ පෙර ගොරකා කිලෝවක් රුපියල් 350 දක්වා මිල ඉහළ ගොස් තිබුණ ද දැන් එහි මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 220 කි.

ගොරකා වගාව මහා පරිමාණ වගාවක් ලෙස සිදු නොකෙරුණත් දකුණු පළාතේ මාතර, හක්මන, බෙලිඅත්ත, මිද්දෙණිය, ගැටමාන්න හා කටුවන යන ප්‍රදේශවල ගොරකා වගාව සිදු කෙරෙන අතර බලධාරින්ගේ නිසි අවධානයට ලක් නො‍වීමේ හේතුවෙන් මීට මාස කීපයකට පෙර ගොරකා කිලෝවක මිල රුපියල් හැත්තෑපහ දක්වාම මිල පහත වැටී තිබුණි.

පසුගිය වසර කිහිපය තුළ කිසිදු පාලනයකින් තොරව මෙම කුළුබඩු වර්ග විදේශ රටවලින් මෙරටට අපනයනය කිරීම නැවත ඒවා ප්‍රතිඅපනයනය කිරීම දේශීය වගාකරුවන්, නිෂ්පාදකයන් අතර පමණක් නොව බලධාරීන් අතර ද මේ වගාවන් සම්බන්ධයෙන් ඇති අනවබෝධය වැනි කරුණු කාරණා නිසා මෙම කුළුබඩු වර්ගයන්හි මිල පහළ වැටී ඇති බව මේ ක්ෂේත්‍රය හා සම්බන්ධ ගොවීන් හා ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාගේ අදහසයි.

ගොවීන් හා නිෂ්පාදකයන් ආරක්ෂා කර ගනිමින් දේශීයව මෙම වගාවන් ස්ථාවරව පවත්වා ගෙන යෑම සඳහා එකී නිෂ්පාදනවලට ස්ථාවර මිලක් නියම කිරීම, එවැනි කුළුබඩු භෝග වගාවන් සඳහා ගොවීන් පෙලඹවීම, බැංකු හා මුල්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් වගා ණය පහසුකම් සැලසීම, නිසි ලෙස එම වගාවන් සිදු කිරීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහය ලබාදීම වැනි කටයුතු සිදු කිරීමට වත්මන් රජය කටයුතු කරනු ඇතැයි යන්න බොහෝ දෙනකුගේ අදහස වී තිබේ. එය එසේ නොවුණහොත් ගම්මිරිස්, කුරුඳු හා ගොරකා වගාකරුවන්, නිෂ්පාදකයන් පමණක් නොව සියවස් ගණනක් පුරා මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ආදායමක් හිමිකර දුන් සමස්ත කුළුබඩු නිෂ්පාදන ක්ෂේත්‍රයටම අත් වන්නේ දෙවියන්ගේම පිහිටය.

කුරුණෑගල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්.එම්.එම්. සමරකෝන් මහතාගේ අදහස් විමසුවෙමු. මේ එහිදී ඔහු ප්‍රකාශ කළ අදහස්ය. 

“අපේ සමාගම ගම්මිරිස් වගාව සම්බන්ධව සම්මාන පවා හිමිකරගත්තා. පොල් හා රබර් වගාවන්හි අතුරු වගාවක් ලෙස තමයි ගම්මිරිස් අපි වගා කරන්නේ මේ දිනවල පවතින නියඟය ඇතුළු කාලගුණ විපර්යාස හමුවේ ගම්මිරිස් වගාව දුර්වල වී ඇති බව සඳහන් කළ යුතුයි. පැහැදිලිවම ගම්මිරිස් අස්වැන්න අඩු වෙලා. මෙයත් වගාකරුවන් සඳහා ගම්මිරිස්වලට සාධාරණ මිලක් නොලැබීමට හේතු සාධක වී තිබෙනවා“

කුළුබඩු සංගමයේ හිටපු සභාපති නන්ද බී. කොහොනා මහතාගෙන්ද ගම්මිරිස් හා කුරුඳු වගාවන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අපි අදහස් විමසුවෙමු.

ලෝකයේ වැඩිම ගම්මිරිස් නිෂ්පාදනය සිදුවන්නේ වියට්නාමයේ වන අතර එරට ගම්මිරිස් මිල අඩු වැඩීම් ද මෙරට ගම්මිරිස් නිෂ්පාදනයන්හි මිල අඩු වැඩිවීම් කෙරෙහි ඍජුවම බලපානවා. මේ වන විට වත්මන් රජය ගම්මිරිස් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. මෙරට ගම්මිරිස් වගාකරුවන්ට සහන ලබාදී ඔවුන්ගේ වගා සඳහා මීටත් වඩා හොඳින් පෙලඹවිය යුතු බව අපගේ විශ්වාසයයි. ගම්මිරිස් වගේ ම කුරුඳු වගාකරුවන් ද මිල ප්‍රශ්න හමුවේ ගැටලුවලට මුහුණ දී තිබෙනවා. දැන් කුරුඳු මිල කිලෝව රුපියල් 1500 – 2000 අතර වුවත් ඊට මීට වඩා වැඩි මිලක් ලබා ගත හැකිය.

පසුගිය වසරේදී කුරුඳු අස්වැන්න අඩු වීමත් මේ මිල ගණන් අඩුවීම සඳහා බලපා ඇතැයි නිරීක්ෂණය වී තිබෙනවා. මේ වන විට අප රටේ හෙක්ටයාර් 32,000 පමණ භූමි ප්‍රමාණයක මේ වගාව සිදු වන අතර ඉන් මෙට්‍රික් ටොන් 18000 – 30000 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. ඒ අතරින් මෙට්‍රික් ටොන් 16,000 ක් පමණයි අප විසින් අපනයනය කරන්නේ. ඉතිරි ප්‍රමාණය යොදා ගැනෙන්නේ දේශීය පරිභෝජනය සඳහායි. කුරුඳු වගාවෙන් ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකියි. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කුරුඳු ඵලදාව ලබා ගැනෙනවා. මේ නිසා කුරුඳු වගාකරුවන් හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය සහන දී වගා කටයුතු සඳහා තවදුරටත් දිරිමත් කළහොත් ඉදිරියේදි කුරුඳු වගාවට හොඳ කලක් උදාවන්න හොඳටම හැකියාව තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතුරුභෝග සහ බුලත් පර්යේෂණ ආයතනයේ (අධ්‍යක්ෂ පර්යේෂණ) ආචාර්ය එම්.එම්.පී.ඒ. සුබසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ දැනට මාස තුනකට පෙර ගම්මිරිස් මිල රුපියල් 700 – 800 මට්ටමේ තිබුණ ද මේ වන විට රුපියල් 550 දක්වා මිල පහත බැස ඇති බවයි. ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනය වසරකට මෙට්‍රික්ටොන් විසිපන්දහසක් වන බවද සඳහන් කළ ඒ මහතා දැනට 45,000 – 50,000 අතර ප්‍රමාණයක් එම වගාවේ නිරතව සිටින බවද අවධාරණය කළේය.

කාලීන අවශ්‍යතාව සලකා සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලද ලිපියකි

Recommended For You

About the Author: Editor