හිටපු මුදල් ඇමති රවී ඇතුළු බැදුම්කර ලොක්කෝ ආගිය අතක් නෑ – CID

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති හිටපු මුදල් ඇමැති රවී කරුණනායක මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනකු අත් අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් 6 වැනිදා වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඒ අනුව රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වී දැනට දින තුනක්ද ඉක්ම ගොස් ඇතැත් මේ දක්වා අත්අඩංගුවට ගෙන සිටින්නේ එක් සැකකරුවෙකු පමණක් බව වාර්තා වේ.

රවී කරුණානායක මහතා සැගව සිටින තැනක් සොයා ගැනීමට තවමත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ. මේ තත්ත්වය තුළ රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය 07 වැනිදා පෙරවරු 7.00ට පමණ රවී කරුණානායක මහතාගේ බත්තරමුල්ල රජමල්වත්තේ නිවසට මුල් වරට ගොස් ඇත. එහිදී විනාඩි 45 ක් පමණ නිවසින් පිටත රැඳී සිට පසුව නිවසට ඇතුළු වී පරීක්ෂා කර තිබුණත් කරුණානායක මහතා ඒ අවස්ථාවේ නිවසේ සිට නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (8) ද රජමල්වත්ත නිවසට පැමිණියත් රවී කරුණානායක මහතා නිවසේ නොසිටි හෙයින් විනාඩි 20 ක් පමණ එහි ගතකර හිස් අතින්ම පිටව ගොස් තිබේ.

මේ අතර රවී කරුණානායක මහතා නීතිඥයන් මාර්ගයෙන් බාරවීමට සූදානම් වන බවට ආරංචි පැතිර යමින් තිබේ.

මේ අතර මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ද මෙම විමර්ශන කණ්ඩායම් කටයුතු කරගෙන යන බව පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවෙසක් ද කිහිපවරක්ම පරීක්ෂා කළ බව වාර්තා වේ.

වරෙන්තු නිකුත් වී මේ වනවිටත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී සිටින අනෙකුත් සැකකරුවන් වන්නේ හිටපු මහ බැංකු අධිපති අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති අර්ජුන් ඇලෝසියස්, එහි විධායක නිලධාරී කසුන් පළිසේන ඇතුළු පිරිසකි.

Recommended For You

About the Author: Editor