ඉක්මන් මැලවීමෙන් හා කඳන්විදින කුරුමිණියාගෙන් ගම්මිරිස් වගාවට හානි: ප්‍රතිකර්ම මෙන්න

ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් වන ඉක්මන් මැලවීමේ රෝගය හා කඳන් විඳින කුරුමිණියාගේ හානිය නැවතත් දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාක වියාධි විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යයක්ෂ (පර්යේෂණ) රෝහණ විජේකෝන් මහතා පවසන්නේ මේ වන විටත් බදුල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාවන් තුළ මෙම රෝග වාර්තා වන බවයි. එසේම ඉදිරියේදී මෙම රෝගයන් හා පලිබෝධ හානි පාලනය නොකලොත් ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් වෙමින් දිවයින පුරා පැතිරයාමට ඉඩකඩ පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

තදවැසි කාලවලට පසුව එන වියළි කාලයේදී ගම්මිරිස් වැල්වල පත්‍ර හා පුරුක් හැලීයාම, පත්‍ර කහපැහැවීම, කහ පැහැ වූ පත්‍ර මත තද කළු පැහැති පැල්ලම් දක්නට ලැබීම, රෝගය වැලඳී සති 2ක් 3ක් අතර ගම්මිරිස් වැල් මියයාම ඉක්මන් මැලවීමේ රෝගයේදී දක්නට ලැබෙන ලක්ෂණ අතර වේ.

එසේම ගම්මිරිස් වැල් වනසන කඳන් විඳින කුරුමිණියාගේ හානියද මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන බව විජේකෝන් මහතා සඳහන් කළේය. මෙහිදී ගම්මිරිස් පත්‍ර වියළීමට ලක් වුව ද එම පත්‍ර ගම්මිරිස් වැලෙන් වෙන් නොවන අතර දුරසිට බලන විට ගම්මිරිස් වැල් පිළිස්සී ඇති ආකාරයක් දක්නට ලැබේ. ගම්මිරිස් වැලේ කඳ පලා බැලූවිට කඳේ ඇතුළත සුදු පැහැති පනුවන් අභ්‍යන්තර කොටස් කා දමා ඇති ආකාරයද දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම රෝග පාලනය සඳහා හානියට පත් වු ගම්මිරිස් වැල්වල කොටස් කපා පුළුස්සා දැමිය යුතු අතර ඒ සඳහා නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතුය. රෝගය පාලනයට අවශ්‍ය උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සහ සෑම බදාදා දිනකම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින අපනයන කෘෂිකර්ම ව්‍යප්ති නිලධාරී මහත්වරුන්ගෙන් නොමිලේ ලබා ගත හැකිය.මේ පිලිබඳ වැඩි විස්තර 066 2222822 හෝ 0812 388651 දුරකථන අංකය අමතා විමසිය හැකිය.

Recommended For You

About the Author: Editor