විලාසිතා ලෝකය ජයගත් ‘අමුතු මිනිස්සු’ 01 – Khoudia Diop

විලාසිතා කියන්නේ අපි කවුරුත් කැමැති දෙයක්. ඒත් අපි විලාසිතා කරන්න කැමැති වුණාට විලාසිතා නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනයක් වෙන්න නම් හිතන්නේ නැහැ. ඒකට විවිධ හේතු තිබුණත් ප‍්‍රධාන හේතුව තමයි රූපය ගැන තියෙන අවුල. බොහෝ දෙනෙක් හිතන්නේ විලාසිතා නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසෙන්න ‘ලස්සන ඇඟක්’ ‘ලස්සන මුහුණක්’ ‘කඩවසම් පෙනුමක් තියෙන්න ඕනෑ කියලා.

ඒත් වර්තමානය වන විට ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබෙනවා. වත්මන් නිරූපණ ලෝකයේ ඉහළින්ම ඉන්න බොහෝ දෙනෙක් සම්ප‍්‍රදායික මිම්මෙන් මැන්නොත් නිරූපණ ක්ෂේත‍්‍රයේ ‘හතර මායිමේ’ පස් පාගන්න නොහැකියි කියලා හිතෙන අය. උදාහරණ වශයෙන් ගතහොත් Khoudia Diop, Mehwa Giani Marshall, Ralph Souffrant,Winnie Haelow, Sophia Hadjipanteli, Stephen Thompson ආදීන් දැක්විය හැකියි.

මේ තත්ත්වය තුළ නිරූපණ ක්ෂේත‍්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටියත් ‘අවුලක’ ඉන්න අයටත්, ලෝකයේ ධෛර්යය සම්පන්න මිනිසුන් ගැහැනුන් ගැන කියවන්න කැමැති අයටත් විලාසිතා ලෝකය ජයගත් ඉහත නම් සඳහන් ‘විශිෂ්ඨයින්’ ගැන පොඩි හැඳින්වීමක් කරන්න අපි තීරණය කළා. මේ එහි පළමු කොටස.

Khoudia Diop

කට්ට කලූ නිරූපිකාවන් ගැන අපි මීට පෙර කතා කරලා තිබෙනවා. ඒත් ඔවුන් අප‍්‍රිකානු සම්භවයක් ඇති නිරූපිකාවන්. ඒත් ක්ලව්ඩියා කියන්නේ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයක් වන ‘ස්ලෝවැකියාවේ’ උපන් තරුණියකි. ඒත් ඇය ස්ලෝවැකියානුවන් මෙන් සුදු වුණේ නැහැ. ඒ වෙනුවට ඇයට ලැබී තිබුණේ අප‍්‍රිකානු ජාතිකයින්ටත් වඩා ‘තද කලූ පැහැයක්. කොටින්ම කිවහොත් ඇයගේ කෙණ්ඩය සහ ඇයගේ සම අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ. දෙකම කට්ට කලූයි.

අපි වගේම බොහෝ දෙනෙක් ක්ලව්ඩියාට පුංචි කාලේ කිව්වේ ‘කලූ කෙල්ල’ කියලා. සුදු ජාතික දරු දැරියන් පමණක් නොවෙයි වැඩිහියන් පවා ඇයව කොන් කළා. ඒ නිසාම නිහඬ ජීවිතයක් ගත කිරීමට ඇයට සිදු වුණා.

ක්ලව්ඩියා 18 වැනි වියට පා තබන විට ඇයට තමන්ගේ ජීවන මාර්ගය ගැන තීරණයක් ගැනීමට සිදු වුණා. ඇයට බොහෝ දේ ගැන කල්පනා කිරීමට සිදු වුණේ නැහැ. තමා ළමාවියේ සිට වින්ද අවමානය නිසා ඇය තුළ ‘නිහඬ අභිමානයක්’ වර්ධනය වෙලා තිබුණා. ඇය තීරණය කළ නිරූපිකාවක් වෙන්න.

මේ තීරණය ඇසූ ඇයගේ දෙමාපියෝ පුදුමයටත් විශ්මයටත් පත් වුණා. ඒ සමග වේදනාවකුත් ඇති වුණා. ‘මේ කට්ට කලූ කෙල්ල කොහොමද නිරූපිකාවක් වෙන්නේ ?’ ඔවුන් සිතන්න ඇති. ඒත් ඒ බව නොකියා වෙනත් දේවල් කියමින් ඔවුන් ක්ලව්ඩියාව අධෛර්යමත් කළා.

‘බැහැ, ඒ වාගේ රැකියාවක් අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ. ඔයා වෙනත් පැත්තක් තෝර ගන්න’ පියා කිව්වා.

ඒත් ඇය තමන්ගේ දැඩි තීරණය වෙනස් කිරීමට මොහොතක් හෝ සූදානම් වුණේ නැහැ.
‘නැහැ, මට හැමෝම විහිළු කරනවා මම කලූයි… කැතයි කියලා. ඒ නිසා මම නිරූපිකාවක් වෙනවාම තමයි’ ඇය තදින් කිව්වා.

ඇයගේ අභිමානයට හිස නමනවා හැරෙන්න දෙමාපියන්ට කළ හැකි දෙයක් තිබුණේ නැහැ.
තවත් සති කිහිපයකින් ක්ලව්ඩියා තීරණාත්මක මොහොතට මුහුණ දුන්නා. ඒ ඇයගේ පළමු ඔඩිෂන් එක. ඇය කැමරාව ඉදිරිපිටට ගියා. කැමරා ශිල්පීන් ඇතුළු සියලූ දෙනාම ‘මේ කෝලම’ දැකලා හිනා වෙන්න ගත්තා. ඒත් ඇය පැකිලූණේ නැහැ. එය සාර්ථකව ඉටුකර ගත්තා.

ඊළඟට ක්ලව්ඩියා සඟරාවල නිරූපණය සදහා යොමු වුණා. ඒත් ප‍්‍රතිචාර පෙර පරිදිමයි. ඇයට ඇතුළටවත් යන්න ඉඩක් ලැබුණේ නැහැ.

මෙහෙම කාලයක් ගත වුණා. ඇය දිගින් දිගටම නිරූපණ ක්ෂේත‍්‍රයේ රැුඳී සිටීමට දැවැන්ත අරගලයක් කළා. කිසිදු මොහොතක අධෛර්යයට පත් වුණේ නැහැ.

අවසානයේ ඇය ජයග‍්‍රහණය කළා. අද ඇය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කීර්තිමත් නිරූපිකාවක්. ඇයටම වෙන් වූ සුවිශේෂ රසික පිරිසක් ඇයට ඉන්නවා. මාධ්‍ය වාර්තා අනුව ඇයගේ ට්විටර් ගිනුමේ පරිශීලකයින් සංඛ්‍යාව 50,000,000ක්.

දැන් ඇය ජනප‍්‍රිය චරිතයක්. නිතර නිතර සම්මුඛ සාකච්ඡාවලට එක්වෙනවා. ඒත් බොහෝ විට පරණ, පුරුදු ප‍්‍රශ්නයම ඇගෙන් අසනවා.

‘ඔබට තිබෙන්නේ අසාමාන්‍ය පෙනුමක්. ඉතිං ඇයි මේ අසාමාන්‍ය පෙනුම එක්ක මේ වගේ ක්ෂේත‍්‍රයකට එන්න හිතුවේ ?’ ඔවුන් ඇගෙන් ප‍්‍රශ්න කරනවා.

ක්ලව්ඩියාට තියෙන්නේ පෙර සූදානම් කර ගත්ත උත්තරයක් නෙමෙයි. දශක කාලයක් තිස්සේ දුන්න උත්තරයක්.

‘ඇයි ඔබ එහෙම හිතන්නේ. මගේ මේ පාට වෙන කිසිම කෙනෙකුට නැති පාටක්. ඉතිං මම හිතුවා මට ලැබුණු මේ අසාමාන්‍ය උරුමය / තෑග්ග ලෝකයාට පෙන්විය යුතුයි කියලා. ඒත තමයි දෙවියන් වහන්සේගෙත් කැමැත්ත වන්නේ. ඒ නිසා මම අභිමානයෙන් ජීවත් වෙනවා’ ඇය කියනවා.

ඉතිං, දැන් මොකද හිතන්නේ ‘දොදොල් රසයි කියලා හිතාගෙන ඉන්න අය…

සටහන – තුෂාධවි

Recommended For You

About the Author: Editor