ගොවිබිමට නව තාක්ෂණය: මඩට නොබැස වී වපුරන ‘චීන පැරෂුට්’ සාත්තරේ

ගොවි ඉල්ලුමට ඇතිවෙන්න තවාන් තැටි ටික හදන්නවත් අපිට බැරිලු!

තාක්‍ෂණය මෙරටට ගලපා නිර්දේශ කරලා වසර දොළහකුත් ගෙවිලා!

තවාන් තැටි මිල වැඩියි, අවශ්‍ය වෙලාවට ලැබෙන්නෙත් නෑ, ගොවීන්ගෙන් මැසිවිලි

පියඹා යන ගොයම් පැලය පොහොර ටිකකුත් අරගෙන යනවා

වී නිෂ්පාදන වියදම පහලට, පරිසරයටත් සහනයක්

එක්තරා කලෙකදී චීනය මහා ගංවතුර උවදුරකින් පීඩා විඳිද්දී සියලු දේ අතහැරි චීන ජනතාව පණ බේරාගැනීම සඳහා උස්බිම් කරා පර්යටනය වූහ. ගංවතුර බැසගිය තැන, තම ගම්බිම් කරා පැමිණි ජනතාවට තේරුම් ගියේ ජල රකුසා විසින් කන්නට කිසිවක් ඉතිරිකර ගොස් නැති බවයි. දඩයමින් ආහාර සපුරා ගැනීමද එතරම් පහසුවූයේ නැත. සතුන්ද වැඩි හරියක් මියගොසිනි.

එක මිනිසෙක් දුටුවේ තම වලිගයේ යමක් පටලවාගත් සුනඛයෙක් තමා දෙසට එන ආකාරයයි. එසේ රැගෙන ආවේ දිග ඇට සහිත ධාන්‍ය කරල් කීපයකි. මිනිසා විසින් සුනඛ වලිගයෙන් එය ගලවාගත් බවත්, තම ඉඩමේ ඒවා පැල කර අස්වැන්නද ලැබූ බවත්, මෑතකදී මා කියවූ චීන ප්‍රබන්ධ කතාවක සඳහන්ව තිබුණි.

චීනයේ සහලේ උපත වෙනුවෙන් විදෙස් රටක පළකර තිබූ එම ප්‍රකාශනයට අනුව, චීනයේ පවතින පොදු විශ්වාසයක් වන සහල් යනු දෙවියන් විසින් චීනයට දුන් ත්‍යාගයකි යන්නට එරෙහිව ප්‍රබන්ධ රචකයා විසින් එම වගකීම සතෙකු මත පටවා තිබුණි.

සම්භවය පිළිබඳව කෙබඳු මති මතාන්තර පැවතියත්, චීන්නු විසින් වසර 3000-4000 ක පමණ ඉතිහාසයක් පුරාවට වී ගොවිතැන් කරති. එය ඔවුන්ගේ සංස්කෘතියේද කොටසක් වේ. අද දවසේ කෝටි 143 ක් ජනතාව ජීවත්වෙන චීනයේ ගොවිතැනෙහි නියැලෙන්නන් සංඛ්‍යාව කෝටි 42 ක් පමණය. එහෙත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ මීට දශකයකට පෙරාතුව ගොවීහු කෝටි 70 ක් එහි විසූ බවත්, සමස්ත ජනගහනයෙන් එය 60% ක පමණ ප්‍රමාණයක් වූ බවත්ය.

වසර දහයක් තුල කෝටි 30 කට ආසන්න පිරිසක් ගොවිතැනෙන් ඈත්වීම එරටට කෙතරම් වේදනාවක් වන්නට ඇත්ද ? කෙසේ නමුත් වගා කරන ලද ඉඩම් ප්‍රමාණය මෙම කාලය තුලදී හෙක්ටයාර් මිලියන 30 ක් වැනි අගයක් අවට පවත්වා ගැනීම තුලින් පැහැදිලිවෙන්නේ මිනිස් ශ්‍රමයේ ඌණතාවය මගහැර ගොවිතැන සාර්ථකව කරගෙන යාමට චීන ජාතිකයින් දැක්වූ සමර්ථභාවයයි. කෙනෙක් මෙය යාන්ත්‍රීකරණයට නැඹුරුවීමක් ලෙස සරලව හඳුන්වා දෙන්නට පුළුවන. නමුත් ඒ වෙතටම නොගොස්, ග්‍රාමීය ගොවියාට වුවත් අතගැසිය හැකි වගා තාක්‍ෂණයන් රැසක් චීනයෙන් සම්භවය ලබා තිබේ.

කුඹුරේ විප්ලවයක් කරන්නට සිතා එවන් එක ක්‍රමවේදයක් හඳුනාගෙන, මෙරටට ආදේශ කිරීමට උත්සාහ දැරූ කෘෂි විද්වතෙක් පසුගියදා මා හමුවී අදහස් දැක්වීමට ඉදිරිපත් වුනි. ඔහු කෘෂි විද්‍යාඥ එස්. එන්. ජයවර්ධනයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල වැඩිපුර ඔහුව හඳුනන්නේ එස්.එන්. යන නමින්ය.

සාම්ප්‍රදායිකව සිදුකෙරෙන වී වැපිරීමේ ක්‍රමය අතහැර පැල සිටුවීමට යොමුවෙන ලෙස දශක කීපයකට පෙරාතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට උපදෙස් දුන්නා අපට මතකය. පාසැල් සමයේදී ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ එවන් පැල සිටුවීමේ මෙහෙයුමකට සෙසු පන්ති සගයින්ද සමග සහභාගිවීමේ සුන්දර අත්දැකීම්ද තවමත් මගේ මතකයේ තිබේ.

වී වපුරනවිට මෙන් නොව පැල සිටුවීමේදී අවශ්‍යකරන බීජ ප්‍රමාණය අඩුය. එය ගොවියාට ආර්ථිකව පහසුවකි. ගොයම් පැල නිශ්චිත දුරකින් පිහිටන නිසා හොඳින් පඳුරු දමයි. තවද පඳුරු ලඟින් ඇහිරී නැති නිසා රෝග හා පළිබෝධ හානි විගසින් පැතිරෙන්නේද නැත. වල් මර්දනයටද පැල සිටුවීමේ ක්‍රමයෙන් සැලසෙන්නේ පිටිවහලකි. මීට අමතරව පැල සිටවූ වගාවකින් ගුණාත්මයෙන් ඉහල බීජ අස්වන්නක්ද ලැබේ.

ඇස් පනාපිට ඔප්පුවෙන මෙවැනි සාධාරණ කරුණු නිසා, ගොවීහු ලහි ලහියේ පැල සිටුවීමේ ක්‍රමයට එකල යොමුවූහ. එහෙත් අද වනවිට තත්වය කණපිට හැරී තිබේ. පැල සිටුවන කුඹුරක් දකින්නටවත් නැති තරම්ය. අකමැත්තෙන් වුවත් ගොවියාට වී වැපිරීම තෝරා ගන්නට සිදුවී තිබෙන්නේ පැල සිටුවීමට අවශ්‍ය මිනිස් සම්පත ගමෙන් සොයාගැනීමට අසමත්වීම හේතුවෙනි.

ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයටත් ගොවිතැනට මිනිසුන් හිඟ නම්, අප ගැන ලොකු විස්තර ලිවීමටද අවශ්‍ය නැත. එය ලෝකයේම ප්‍රවනතාවයයි. ගොවිතැන හැර නොගිය, එකා දෙන්නා උනත් උත්සාහ කරන්නේ මඩට බහින්නේ නැතිව ගොඩ සිට ගොවිතැන් කරන්නටය. මේ කාලයේදී තැපැල් මාර්ගික කරාටේ පාඨමාලාත් පැවැත්වෙන නිසා එවැනි ගොවිතැනක් වැරදියි කියන්නටත් බැරිය.  එස්. එන්. විසින් පැල සිටුවනවා වෙනුවට චීනයේ භාවිතා කල පැරෂුට් ක්‍රමය ලංකාවට පුරුදු කරන්නට උත්සාහ දැරුවේ මේ ප්‍රශ්නය සාධාරණ ලෙස ආමන්ත්‍රණය කරමිනි.

“චීනයේ භාවිතාකරන පැරෂුට් ක්‍රමය මේ රටට උචිත අන්දමට භාවිතා කල හැක්කේ කෙසේද කියා බලන්නට මම 2001 වසරේ සිට 2008 දක්වා බතලගොඩදී පර්යේෂණ කෙරුවා. අවසානයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙය විකල්ප ගොයම් ස්ථාපන ක්‍රමයක් ලෙස නිර්දේශ කෙරුවේ 2008 දී. පසුගිය දශකය සමයේ සිට කුඹුරු ගොවිතැනට තදින් බලපාන ශ්‍රම හිඟයට මෙය හොඳ විසඳුමක් නිසා ආරම්භයේදී පැරෂුට් ක්‍රමය ඉගෙනගන්නත්, එය අනුගමනය කරන්නත් ජනතාවගෙන් ලැබුනේ යහපත් ප්‍රතිචාරයක්. විශේෂයෙන් ගොවිතැනෙන් ඈත්වෙමින් සිටි තරුණ පරපුර මෙයට කැමති වුණා‘‘

එස්.එන්. තම අතීත මතකය අවදි කරයි. පැරෂුට් ක්‍රමය කියන්නේ වී වපුරනවා වෙනුවට වී පැල වැපිරීමයි. තවානකින් වී පැල ගලවා වීසිකරන විට ඒවාහි සැහැල්ලු බව නිසා සුළඟේ පාවී ගොස් ඒ මේ අත විසිරෙන නිසා පැලයේ මුල අවට පස් කුට්ටියක් රැඳවීම පැරෂුට් ක්‍රමය යටතේ සිදුවේ.

මේ සඳහා විශේෂ ප්ලාස්ටික් තැටියක් භාවිත කරන අතර තැටි සමුහය තැන්පත්කිරීම කුඹුරේ කොටසක මඩ මත හෝ ගොඩබිමෙහි සුදුසු ආරක්‍ෂිත ස්ථානයක හෝ කළහැකිවීම තවානේ ආරක්ෂාව සම්බන්ධයෙන් බලනකල ගොවියාට වාසියකි. කුඩා කුටීර 434 ක් තිබෙන ප්ලාස්ටික් තැටියක ඇති කුටීර පළමුව කුඹුරේ මඩ වලින්ම පුරවා කුටීරයකට වී ඇට 3-4 ක් බැගින් පළමුව දමා අනතුරුව සිහින් පස් තට්ටුවක් දැමීමෙන් තවාන සකසා ගත හැකිවේ. තැටියේ උස අඟලක් පමණවේ. අඩි දෙකකට ආසන්න දිගක් ඇති එහි පළල අඩියකට වඩා ස්වල්පයක් වැඩිය. කුටීරයක දිග පළල කියනවානම් වෙරළු ගෙඩියක් දමන්නට පුළුවන් තරමේ විශාලත්වයකි. මේවා තුල හටගන්නා පැල දින 12 කදී වුවද ගලවා වපුරන්නට පුළුවන. අවශ්‍යතාවය අනුව දින 30-40 ක් දක්වා වුවද නොගලවා තබා අවශ්‍ය විටදී වැපිරීම සඳහා භාවිතා කල හැකිවීම මෙහි ඇති තවත් සුවිශේෂී වාසියකි.

කෙසේ නමුත් වැඩිපුර කල්ගතවෙත්දී කුටීර වලින් පස් කුට්ටිය ගලවා ගැනීමේදී අපහසුතා ඇතිවිය හැකි බවද සඳහන් කල යුතුවේ. පස් කුට්ටියක් සහිත පැල කුඹුරට විසිකරන විට ආරම්භයේදී එයට ලබාදෙන ජවයට ගැලපෙන දුරකට හා දිශාවකට ඒවා විසිරී යයි. ආරම්භක බලය වෙනස් කරමින් පැල වපුරන්නාට කැමති ආකාරයට බීජපැල විසුරුවා හැරිය හැකිවේ. පැරෂුටයක් ආකාරයට කුඩයක් දිග නොහැරුණත්, බීජපැල පාදීයව ඇති පස් කැටයේ බර නිසා හැමවිටම පැලයේ පාදස්ථය පහලට සිටින සේ ගුවනේ පාවී එන බීජපැලය කුඹුරේ මඩ මත පතිතවන අතර අනවශ්‍ය ගැඹුරකට මඩෙහි එරෙන්නේද නැත. තම අලුත් නවාතැන සතුටින් භාරගන්නා ලපටි ගොයම් පැලය වර්ධනය අරඹනු ලබයි.

මුලදී දැඩි උද්‍යෝගයක් ගොවීන් වෙතින් දක්නට ලැබුණ නමුත් හිතන තරම් පහසුවෙන් පැල වැපිරීමේ පැරෂුට් ක්‍රමය ජනප්‍රිය වන බවක් නොපෙනුණි. ඊට ප්‍රධාන හේතුව වූයේ මෙම විශේෂ තැටි වර්ගය මෙහි නිෂ්පාදනය නොකිරීමයි. එය චීනයෙන්ම ආනයනය කිරීමට සිදුවූයෙන් එස්.එන්. ඇතුළු කණ්ඩායමට පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීමට සිදුවුනි. කෘෂිකර්මයට සම්බන්ධ සමාගම් කීපයකටම වන්දනාවේ ගියත්, අලෙවි වේවිද යන සැකය මුල් කරගෙන බොහෝ දෙනෙක් මල් වට්ටියට අතගසන්නට කැමතිවූයේ නැත. වාසනාවකට පෞද්ගලික හැඳුනුම්කමද මුල්වී එක සමාගම් අධ්‍යක්ෂවරයෙක් වෙතින් කොළ එලිය දැල්වුන නිසා දේශීයත්වය තවරා ගමේ ගොවියා වෙනුවෙන් සුසර කරන ලද පැරෂුට් තාක්‍ෂණය, තිඹිරිගෙයම සුසානය කරගන්නේ නැතිව තරමකට හෝ මෙහි පැලපදියම් වුනි.

“කුඹුරේ ශ්‍රම හිඟය වැඩිවෙනකොට අපේ ක්‍රමයට තිබුන ඉල්ලුම එන්න එන්නම වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි ගොවීන්ටම පෙනෙන්න පටන්ගත්තා පැරෂුට් ක්‍රමයට පැළ වැපිරූ කුඹුරකින් ලැබෙන වාසි. ඒ නිසා අද වෙනකොට වැඩේට බහින්න ගොඩක් කට්ටිය සූදානම් වෙලා හිටියත් ඔවුන්ගේ පැත්තෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා.”

වී වපුරනවාට වඩා පැල වපුරන මේ ක්‍රමයේදී අවශ්‍ය වන්නේ අඩු බිත්තර වී ප්‍රමාණයක් නිසා එය ගොවියාට ආරම්භයේදීම පෙනෙනා වාසිදායක තත්වයකි. නිෂ්පාදන වියදමට බලපාන තවත් සංරචකයක් වන තවානකින් පැල ගැලවීමට හා කුඹුරේ ඒවා සිටුවීමට යන කම්කරු ශ්‍රමයද ගණනය කිරීමටවත් අවශ්‍ය නොවන තරමට අඩු අගයකි. ගොවිගෙදර දෙන්නා දෙමහල්ලන්ටම එකතුවී ඒ ටිකත් ගොඩදා ගත හැකිය.

වඩා සැලකිල්ලෙන් ගොවියා තේරුම් ගත යුත්තේ මේවා පමණක් නොව එක එල්ලේම නොපෙනෙන වාසි පිළිබඳවයි. එස්.එන්. මහතා මා හට පැවසූ එම වාසි ලැයිස්තුවෙන් පත්තර පිටුවක් නොව පොතක් ලියන්නට වුවත් පුළුවන. ඒ සියල්ල පසෙක තිබුනාවේ. කැපී පෙනෙන ප්‍රතිලාභ කීපයක් පමණක් සඳහන් කරනවානම්, අතින් හෝ යන්ත්‍රානුසාරයෙන් පැල සිටුවීමේදී සාමාන්‍යයෙන් සුලභව දක්නට හැකි අහිතකර සිදුවීමක් වන බීජ පැලය මඩ තුල ගැඹුරට ගිලීයාමක් පැරෂුට් ක්‍රමයේදී සිදුවන්නේ නැතිවීම පළමුව සැලකිය හැකිය.

පැරෂුටයක් ලෙස අහසේ පාවී අවුත් මඩෙහි සිටගන්නා ලපටි ගොයම් පැලය, ගැඹුරේ සිටවූ ගසක් මෙන් නොව හොඳින් පඳුරු දමයි. මේ නිසාම සරු කරල්ද වැඩිවී අස්වැන්නත් වැඩිවේ. මඩට නොබැස නියර මත සිට පැරෂුට් වැපිරීම ලියැද්ද පුරාවට කල හැකිවීම, මොඩ් ගොවියන්හට සතුට දනවන කාරණාවක් වුවද එහි ඊට වඩා වැඩි වටිනාකමක්ද තිබේ. අතීත ගොවියාට නොතිබුණු මී උණ  තර්ජනය අද වනවිට උත්සන්න වූ ප්‍රශ්නයක් බවට පත්වී ඇති නිසා මඩෙහි තිබෙනා රෝගබීජ ශරීර ගතවීම වැලක්වීමටද මඩට නොබැස සිටීම වැදගත්ය. මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුවද සුදුසු බව කී අතීතයක් අපට තිබුනත්, අද දවසේ නම් මඩ ගා ගත් තරමට ජීවිතය පවා මේ නිසා අනාරක්ෂිතය.

“අපි මේ ක්‍රමය හඳුන්වල දුන්න කාලෙදි තැටි ගෙනාවේ චීනෙන්. එක තැටියක් රුපියල් 14 ක් විතර උනා. පරිස්සමෙන් භාවිතා කෙරුවොත් තැටියක් වගා කන්න 4 ක් තිස්සේ වුණත් භාවිතා කරන්න පුළුවන්. දැන් මේවා ලංකාවෙත් හදනවා. ඒත් මිල වැඩියි. දැන් තැටියක් රුපියල් 42 යි. අක්කරයකට තැටි 350 ක් විතර අවශ්‍ය නිසා මේ වෙනුවෙන් ගොවියා කන්නය අරඹන විටදී රුපියල් 15.000 ක් විතර වෙන්කරන්න වෙනවා.”

එස්.එන්. කෙලින්ම ප්‍රශ්නය ගැන කතා කරයි. වගා කරන වී ප්‍රභේදය අනුව අක්කරයකට අවශ්‍ය ගොයම් පැල සංඛ්‍යාව සුළු වශයෙන් එහා මෙහා වෙන නිසා මෙහි සඳහන් කර ඇත්තේ පොදුවේ සලකා බැලිය හැකි සාමාන්‍ය අගයකි. තැටියක් කන්න 4 ක් භාවිතා කරන්නේ නම් වැය කරන මුදල හතරට බෙදෙන බවද ඇත්තය. එහෙත් ආරම්භයේදී මුළු මුදලම එකවර අවශ්‍ය නිසා එය ඇඟට දැනෙන ගණනක් වී ගොවියාව පැරෂුට් තැටියෙන් ඈත්කරනා බව කෘෂි විද්වතාගේ අදහසයි.

කෘෂි විද්වතුන්ට තාක්ෂණය බිහි කරන්නටත්, ඒවා ගොවීන්ට හඳුන්වා දෙන්නටත් පුළුවන. එහෙත් එම තොරතුරු ජීර්ණය හා අවශෝෂණය කරවමින් ගොවියාව පෝෂණය කිරීම සඳහා තවත් උපකාරක සේවා රැසක් මේ හා අත්වැල් බැඳගත යුතුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ප්ලාස්ටික් තැටි හදන්නට බැරිය. හදන හැටි දන්නා අයද එහි නැත. එසේ නමුත් එපා කියද්දීත්, තහංචි දමත්දීත්, පොලිතීන් හා ප්ලාස්ටික් වලින් ලන්ච් ෂීට් එකේ සිට සෙවිලි තහඩුව දක්වා සාදන කර්මාන්තකරුවෝ ඕනෑතරම් මෙරට සිටිති.

ජනගහනයට අනුව ගණනය කලවිට හැම ලාංකිකයෙක්ම වසරකට ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 5.1 ක් එක්වරක් පමණක් භාවිතාකර ඉවත දමයි. මේවා දිරන්න වසර 450 ක් ගතවෙන බවද තවත් අයෙක් ගණන් බලා තිබේ. ප්ලාස්ටික් දුෂකයින් අතරින් ලංකාවට ඉදිරියෙන් ඉන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය පමණි. එනම් ලංකාව පස් වෙනියා වී සිටින්නේ දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 5000 ක් කිසිදු හිරිකිතයකින් තොරව පරිසරයට මුදා හරිමින්ය.

එවන් රටක් තුල, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය හරහා වී ගොවිතැනට අවශ්‍ය පැරෂුට් තැටි ටික සාදා ගන්නට අපහසුවක් තිබේද? අනෙක් අතට ආහාර අසුරන ප්ලාස්ටික් මෙන් මේ තැටි සාදන අමුද්‍රව්‍ය වලට ඉහල ගුණාත්මයක් තිබිය යුතුද නැත. තැටි කුහර වලට පුරවන්නේද පස්ය. ප්‍රතිචක්‍රීකරණය කරනලද ප්ලාස්ටික් වලින්, වෙරළු ගෙඩියක් තරමේ පස් කැටයක් ගිල්ලවන්නට හැකි කුටීර 434 ක් තිබෙනා, ග්‍රෑම් 50 ක් පමණ බර ප්ලාස්ටික් කෑල්ලක් හදාගන්න බැරි කම්හලක්, නැව් හදන රටේ නැත්තේ ඇයිදැයි යන්න සිතාගැනීමට පවා තරමක් අපහසු කාරණයකි. එවන් බාල ප්ලාස්ටික් වලින් කෙරෙනා ග්‍රෑම් 50 ක නිමැවුමකට රුපියල් 42 ක් මිල නියම කිරීම සදාචාරාත්මකදැයි විමසීම තවත් කාරණයකි.

“මේ වනවිට අස්වැන්න නෙලන්න සුදානම් වෙලා තියන පසුගිය මහ කන්නයේදීත් පැරෂුට් තැටි වලට ලොකු ඉල්ලුමක් තිබුණා. මිල පැත්තකින් තියමුකෝ. සල්ලි තිබුණත් තැටි නෑ. මේවා ප්‍රමාද වෙලා ලැබිල වැඩක් නෑ. කන්නය ආරම්භයේදීම තියෙන්න ඕනෑ.”

එසේ පැවසුවේ තැටි එනතෙක් සතියක් දෙකක් බලා සිට බැරිතැන, පුරුදු විධියට බිත්තර වී ටික කුඹුරේ වපුරා කටයුතු හමාර කල අම්පාර ප්‍රදේශයේ ගොවි මහතෙකි. දශයකටත් ඈත කලකදී එස්.එන්. ලා වෙතින් බිහිවුණු, එදාටත් වඩා අදට වටිනා පැරෂුට් තාක්‍ෂණය එළඹෙන යල කන්නයේදීවත්, කලට වේලාවට ගොවිගෙදරට යවන්නට ගොවිතැනට සහාය දෙන පෞද්ගලික හෝ රජයේ පාර්ශවයන් සිහි තබාගන්නේ නම්, ඒ සඳහා සක්‍රියව මැදිහත්වන්නේ නම්, එය වී ටික මිලදී ගන්නට උනන්දුවීමට නොදෙවැනි සත්ක්‍රියාවක් බව අප පෙන්වා දෙමු.

“දැන් අපි බීජ පැලයට අවශ්‍ය පොහොර ටිකකුත් පැරෂුට් එකෙන්ම කුඹුරට යවනවා”

එස්.එන්. ජයවර්ධන මහතා එවර සැරසෙන්නේ තවත් අලුත් යමක් පවසන්නටය.

“තැටියේ කුටීර වලට පස් පුරවනකොට එක කුටීරයකට ට්‍රිපල් සුපර් පොස්පේට් කැට හතරක් විතර දාන්න අපි යෝජනා කරනවා. පොස්පේට් පොහොර කුඹුරට දාන්නේ මඩ පොහොර විදියට එක වතාවයිනේ. මුලදි පොස්පේට් අවශ්‍ය වන්නේත් මූල පද්ධතියේ වැඩීමට. කුටීරයේ පස් කුට්ටියට මේ පොහොර ටික හොඳට සවිවෙලා, බීජ පැල කුඹුරට විසිකරනවිට එතනටත් යනවා. දැන් පැලයට අවශ්‍ය පොහොර කොටසක් එයා ලඟම තියෙනවා. අපතේ යාමක් නෑ. අපි සොයාගෙන තිබෙනවා මේ ක්‍රමයට පොහොර යොදනවානම් සාමාන්‍ය ක්‍රමයට යොදන නිර්දේශිත පොස්පේට් පොහොර ප්‍රමාණයෙන් 50% ක් කපාහැරිය හැකි බව.”

මෙය නම් අපූරු සංසිද්ධියකි. දඹුලුත් ගොසින් තල ගොවියාවත් හමුවී තල ටිකකුත් රැගෙන එනවා වැනි ලාභයකි. (දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එනවා යයි පැරැන්නන් පැවසුවේ එවැන්නකට මිස වන්දනාවේ ගොසින් එනගමන් තලගොයි මස් රැගෙන ඒමකට නොවේ) පොස්පේට් පොහොරවලට යන වියදම 50% කින් අඩුකිරීම අපට නම් පෙනෙන්නේ සද්දබද්ද නොකරන කෘෂි විද්වතුන් විසින් ගොවියාට ලබාදුන් පොහොර සහනාධාරයක් ලෙසටය. ඒ වෙනුවට කිසිදු ප්‍රතිඋපකාරයක් ඔවුන් බලාපොරොත්තු වන්නේද නැතිවීම මත සහනාධාරය දානමය පිංකමක්ද වන්නේය.

අනෙක් අතට පසුගිය කලෙකදී බාල පොහොර ගෙන්වූවායයි දරුණු චෝදනා එල්ලවූයේද පොස්පේට් පොහොර වලටය. අපද්‍රව්‍ය ලෙස හානිකර මූලද්‍රව්‍යයන් වැඩිපුරම එන්නේ ප්‍රධාන පොහොර ත්‍රිත්වය අතරින් පොස්පේට් පොහොර සමඟ යයි කතිකාවතක්ද නිර්මාණය වී අවසන්ය. ලංකාවේ පසෙහි උවමනාවටත් වඩා පොස්පේට් තිබෙනා බවත්, පස පරීක්‍ෂා නොකර සිදුකරන ‘හිතුමතේ භාවිතේ’ හරහා අපගේ ජල මූලාශ්‍රයන් පවා ඉදිරියේදී දුෂණයට හසුවෙන බවත් පවසමින් තවත් පැත්තකින් අනවශ්‍ය තරමට කෙරෙන පොස්පේට් භාවිතයට එරෙහිව පාංශු විද්‍යාඥයින් රතුඑලි පත්තුකර ද අවසන්ය. මෙවන් වාතාවරණයක් යටතේ පස් කුට්ටියත් සමග පැරෂුටයක් ලෙසින් ලියැද්දට ගොඩබසිනා ගොයම් පැලය තමාගේ පොහොර උවමනාවෙන් කොටසකුත් රැගෙන එන්නේ නම්, එය පරිසරයටත් කරනා මනා සාත්තුවක් වේ.             

තාක්‍ෂණය කලඑළි බැස දස අවුරුද්දකුත් ඉක්ම ගොසිනි. ප්ලාස්ටික් බෝතල් උණුකර මුරුක්කු වටේ අලවා බයිට් හදනවා වාගේ, ගමේ ගොඩේ උදවියට ගෙදරදොරේදී පැරෂුට් තැටි හදන්නට බැරිය. එක්කෝ දේශීය ව්‍යාපාරිකයින් රට ගැන සිතා වැඩේට අතගැසිය යුතුය. නැතහොත් සහනාධාර ක්‍රමයක් යටතේ තැටි ආනයනයකර දීමට රජය ඉදිරිපත් විය යුතුය. ඒ දෙකම නොකෙරෙන්නේ නම් අමුඩයත් හැඳගෙන, කනු කැපුණු බිත්තර වී මල්ලත් කරගසාගෙන, ගොවියා කුඹුරට බැස පුරුදු විධියට වී වැපිරිය යුතුය. කෘෂි විද්වතුන් නව සොයාගැනීම් ග්‍රන්ථාරූඪ කරමින් ජීවත් වී, කාලය පැමිණිවිට විශ්‍රාම යා යුතුය.

සනත් එම්. බණ්ඩාර

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor