‘ශ‍්‍රී ලංකාව ඉන්දීය ආයෝජකයින්ට ජය බිමක්’ බව විදේශ ලේකම් ආර්යසිංහ කියයි

ආයෝජන සඳහා හිතකර, ලිහිල් පරිසරයක් නිර්මාණය කිරීමට පහසුකම් සැලසීම, එය ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන ඇපකැපවීමෙන් වාසි ලබාගන්නා ලෙස ඉන්දියානු ආයෝජකයන්ගෙන් විදේශ ලේකම් ආර්යසිංහ මහතා ඉල්ලා සිටියි

ඉන්දීය ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය හිතකර වන්නේ එහි ස්ථාවර නායකත්වය නිසා පමණක් නොව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවය නිසා ද බව විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ කළ මුල් සංචාරයන්හි දී සහයෝගීතා ක්ෂේත්‍රයන් පූර්ණ වශයෙන් සමාලෝචනය කිරීම මඟින් මෙය තහවුරු විය.

2020 ජූලි 21 වැනි දින ශ්‍රී ලංකාවේ ලක්ෂ්මන් කදිර්ගාමර් ජාත්‍යන්තර සබඳතා හා උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKI) සමඟ එක්ව ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනය (FICCI) විසින් සංවිධානය කරන ලද ‘ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීම’ යන වෙබ්නාර් සාකච්ඡාව අමතමින්, “ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ ආයෝජකයින් 5 දෙනා අතර ඉන්දියාව සිටී. නූතන ව්‍යාපාරික අවශ්‍යතාවන්ට සරිලන පරිදි ක්‍රමවේදයන් හා ක්‍රියා පටිපාටි අඛණ්ඩව යථා තත්ත්වයට පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ලිහිල් ආයෝජන වාතාවරණයක් සඳහා පහසුකම් සැලසීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා රජය කැපවී සිටී. දිවයිනේ මෙම උපයෝජනය නොකළ ආයෝජන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ලැබේ.” යැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආයෝජන කළ හැකි ක්ෂේත්‍ර අවධාරණය කරමින් ඔහු පවසා සිටියේ, ඉහළ වටිනාකමකින් යුත් නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් ආයෝජන සිදුකිරීමට රජය අපේක්ෂා කරන බවයි. “රෙදිපිළි, තොරතුරු තාක්ෂණ, කෘෂි ව්‍යාපාර වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉන්දියාව ශක්තිමත් වන අතර, අපේ දෙරටේ පෞද්ගලික අංශවලට මෙම ක්ෂේත්‍රවල ආයෝජන, තාක්‍ෂණික හුවමාරුව පිළිබඳ සහයෝගීතාවයන් ගවේෂණය කළ හැකිය” යනුවෙන් විදේශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

“නිෂ්පාදන අංශයේ, කාර්මික කලාප සංවර්ධනය කිරීමේ දී ඉන්දියානු ව්‍යාපාර අපි සාදරයෙන් පිළිගන්නා අතර, මෝටර් රථ උපාංග, ඖෂධ, රෙදිපිළි හා ඉංජිනේරු කටයුතු යන අංශයන්හි ව්‍යාපාර අවස්ථා විශාල වශයෙන් ලබා දිය හැකි ක්ෂේත්‍ර වේ. දැනට සිදු වෙමින් පවතින යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති, සංවර්ධනය කරමින් පවතින මාර්ග, වරාය සහ ගුවන්තොටුපල ව්‍යාපාරික අංශය සඳහා සම්බන්ධතා යා කිරීමට දායක වනු ඇත” යි ඔහු පැවසීය.

“මෙහි පැමිණෙන සංචාරකයින්ගෙන් 20% ක් පමණ ඉන්දියානුවන් වන බැවින්, ශ්‍රී ලංකාවට සංචාරක ගමනාන්තයක් ලෙස වර්ධනය කිරීමට විශාල අවස්ථාවක් පවතී. ටාජ් සහ අයිටීසී (ITC) සමූහවල ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ලාභදායී ආයෝජනයන් අනුගමනය කරමින් සංචාරක ව්‍යාපාර අංශයේ ද සැලකිය යුතු මට්ටමක ආයෝජන අවස්ථා පැවතිය හැකි අතර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ද ඒවා හේතු වී ඇත” යි විදේශ ලේකම්වරයා සඳහන් කළේය.

රජය විසින් සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධාරණය කරමින් ඔහු කියා සිටියේ, “ආයෝජන වාතාවරණය ශක්තිමත් කිරීම සඳහා අපි පියවර ගණනාවක් ගනිමින් පවතින අතර, නූතන අවශ්‍යතාවයට සරිලන පරිදි ආයෝජන නීති සමාලෝචනය කරමින් සිටිමු. ක්‍රියාශීලී හා ඉදිරි දැක්මකින් යුත් පෞද්ගලික අංශයක් විසින් මෙහෙයවනු ලබන විදේශීය හා දේශීය පෞද්ගලික ආයෝජන මත ස්ථිරව පදනම් වූ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අපගේ රජයේ සියලු ප්‍රයත්න දරයි.” යනුවෙනි.

දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳව විස්තර කරමින් විදේශ ලේකම් ආර්යසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ සමස්ත ආනයනයන්ගෙන් සියයට 20 ක් ඉන්දියාව සතු වන අතර, එය ශ්‍රී ලංකාවේ තුන්වැනි විශාලතම අපනයන ස්ථානය ද වන බවයි. ශ්‍රී ලාංකික අපනයන පිළිබඳව අදහස් දක්වමින්, අපනයනය කරන රටවල පවතින තීරුබදු නොවන බාධක හේතුවෙන් බොහෝ විට නිර්මාණය වී ඇති වෙළඳපල ප්‍රවේශය පිළිබඳ දුෂ්කරතා, අපේ ගොවීන්ට බාධාවක් වී ඇති බව ඔහු පැවසීය. ගම්මිරිස් ඇතුළු ශ්‍රී ලාංකික කුළුබඩු හා සාන්ද්‍රණ ඉන්දියානු වෙළඳපොළ වෙත අපනයනය කිරීම ඉහළ නැංවීම සඳහා නව දිල්ලියේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඔහු ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනයෙන් ඉල්ලා සිටියේය.

අපනයන සම්බන්ධයෙන් ගත් කල, “ශ්‍රී ලංකාව ඉන්දියානු උප මහාද්වීපයට පමණක් නොව, යුරෝපීය සංගමයේ ධනවත් පාරිභෝගිකයින් සඳහා ද ද්වාරයක් ලෙස පවතී. අනුග්‍රහ පූර්වක පදනමක් මත ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක විය හැකි ඉන්දියානු ආයෝජකයින් සඳහා මෙන්ම, ඉන්දියාවේ විශාල වෙළඳපොළට මෙන්ම යුරෝපා සංගමය වෙත ද පිවිසීම සඳහා නව අවස්ථා ද මෙමඟින් පැහැදිලිවම විවෘත කරනු ඇත.” යයි ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා කියා සිටියේ අනාගතයට නැඹුරු ප්‍රතිපත්ති සහ දෙරටේ අනුපූරක ආර්ථික ශක්තීන් කාර්යක්ෂමව උපයෝගී කර ගනිමින්, ආර්ථික සුරක්‍ෂිතතාවයේ අවශ්‍යතාවය සමතුලිත කිරීමට වර්තමානයේ පියවර ගැනීම කළ යුතු බවයි. ඉන්දියාව ආත්මනිභාර් භාරත් (ස්වයං විශ්වාසය) දෙසට ගමන් කරන විට ගෝලීය සැපයුම හා වටිනාකම් දාමයන් සමඟ එය ඒකාබද්ධ වීම, ශ්‍රී ලංකාව වැනි අපගේ සමීප හවුල්කරුවන්ට අමතර අවස්ථාවක් වනු ඇත. මෙය අපගේ වාණිජ ආයතන සමඟ වඩා දිගුකාලීන සබඳතා ගොඩනඟා ගැනීමට සහ හැකියාවන් වැඩි දියුණු කිරීමට, රැකියා ප්‍රවර්ධනය කිරීමට සහ සමෘද්ධිය වැඩි කිරීමට ඉවහල් වනු ඇත.

සෞඛ්‍ය හා ඖෂධ යනු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවයේ වැඩිදියුණු කළ හැකි අංශ බව ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ සභාපතිනි ආචාර්ය සංගීතා රෙඩ්ඩි මහත්මිය පැවසුවාය. සංචාරක හා ආගන්තුක සත්කාර වැනි වෙනත් අවධානය යොමු වූ අංශ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන අංශ වේ. ගෝලීය වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අංශ දෙක ද දරුණු ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඒවා පුනර්ජීවනය කිරීමේ ක්‍රම පිළිබඳව අප සාකච්ඡා කළ යුතුව ඇත. ව්‍යාපාර හා ආයෝජන සඳහා අවස්ථා ගවේෂණය කිරීම පිණිස ඉන්දියානු-ශ්‍රී ලංකා ප්‍රධාන විධායක සංසදය යථා තත්වයට පත් කරන ලෙස ඇය රජයන් දෙකෙන්ම ඉල්ලා සිටියාය.

ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කවුන්සිලයේ සභාපති, සමූහයේ මහජන කටයුතු පිළිබඳ සභාපති සහ මහින්ද්‍රා සහ මහින්ද්‍රා ලිමිටඩ් හි සමූහයේ විධායක මණ්ඩල සාමාජික මනෝජ් චුග් මහතා පැවසුවේ තවමත් උපයෝගී කර ගෙන නොමැති නව ක්‍ෂේත්‍ර පවතින බවත්, ඉන්දීය සහ ශ්‍රී ලංකා සමාගම් ඒවා උපයෝගී කර ගැනීම සඳහා සන්ධාන ඇති කරගත යුතු බවත්ය.

අශෝක් ලේලන්ඩ් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නි‍තින් සෙත්; ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනයේ දකුණු ආසියානු කලාපීය කවුන්සිලයේ සම සභාපති, දකුණු ආසියානු කලාපීය කවුන්සිලයේ සහ සීමාසහිත සීඑන්එච් (CNH) කාර්මික (ඉන්දියා) පුද්ගලික සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර අධ්‍යක්ෂ අශෝක් අනන්තරාමන්; ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂ ප්‍රසංජිත් විජයතිලක; ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංචාරක සැලසුම්, සංවර්ධන හා ආයෝජක සබඳතා අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසාද් ජයසූරිය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ ව්‍යාපාර සංවර්ධන අංශ ප්‍රධානී ආචාර්ය ලක්ෂිත පහලගෙදර යන මහත්ම මහත්මීහු ද ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සම්බන්ධතාවය ශක්තිමත් කිරීම පිළිබඳ සිය ඉදිරි දර්ශනය බෙදා හදා ගත්හ.

ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුගන්තී කදිර්ගාමර් මැතිණිය, ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී. අම්සා මහතා, විදේශ සබ‍ඳතා අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණි රණරාජා මහත්මිය සහ ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ද මෙම වෙබ්නාර් සාකච්ඡාවට එක් වූහ.

Recommended For You

About the Author: Editor