Covid-19 ආසාදනය හා සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් ‘සුවිශේෂ’ සොයා ගැනීමක් !

මව්වරුන්ගෙන් ‘අලුත උපන් දරුවන්ට කොවිඩ් ආසාදනය නොවන බව හෙළි වෙයි

කොවිඩ් -19 ආසාදිත කාන්තාවන්ගෙන් දරු ප්‍රසූතියේදී තම බිළිදුන්ට කොවිඩ් ආසාදනය වීමට ඉඩක් නොමැති බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. කොවිඩ් -19 ආසාදිත මව්වරුන් විසින් ප්‍රසූත කළ ළදරුවන් 120 දෙනකු සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකිනුයි මේ බව සොයා ගෙන තිබෙන්නේ.

නිව්යෝර්ක් හි රෝහල් තුනක උපත ලැබූ ළදරුවන් 120 මෙම අධ්‍යනය සදහා යොදා ගෙන තිබෙන අතර කොවිඩ් -19 ආසාදිත මවුවරුන් විසින් ප්‍රසූත කළ බිළිදුන් කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොතිබූ බවයි පර්යේෂකයින් කියන්නේ.

මෙම පර්යේෂණයේ තවත් පියවරක් ඉදිරියට ගොස් කළ නිරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ අදාළ මව්වරුන් බිළිදා සමග එකම කාමරයේ ජීවත් වෙමින් බිළිදාට මවුකිරි ලබා දුන් නමුත් සති දෙකකට පසුව ද ළදරුවා වෙතින් ආසාදන වාර්තා නොවූ බවයි.

ප්‍රවීණයන් පවසන්නේ ප්‍රතිඵල සැනසිලිදායක නමුත් මේ සදහා තව දුරටත් පුළුල් පරීක්ෂණ අවශ්‍ය බවයි.

‘සමීප සම්බන්ධතාව’

ගර්භණී සමයේදී සහ මව්කිරි දීම අතර කොවිඩ් -19 සම්ප්‍රේෂණය වීමේ අවදානම පිළිබඳ දත්තවල හිගයක් පවතින එබැවින් ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා නිර්දේශ වෙනස් වන බව පර්යේෂකයින් කියනවා.

එක්සත් රාජධානියේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්ගේ රාජකීය විද්‍යාලය යෝජනා කරන්නේ මව්වරුන් තම ළදරුවන් සමඟ කාමරයක් බෙදා ගත යුතු අතර ඔවුන් කැමති නම් මව්කිරි ලබාදිය හැකි බවයි. එහෙත් එය පූර්ව පරීක්ෂාව යටතේ සිදුවිය යුතු බව ඔවුන් නිර්දේශ කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ඔවුන් පවසන්නේ මව්කිරි දීමෙන් ලැබෙන වාසි කොවිඩ් -19 පැතිරීමේ අවදානම ඉක්මවා යන බවයි.

මේ අතර, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන යෝජනා කරන්නේ අලුත උපන් බිළිඳා මවගෙන් තාවකාලිකව වෙන් කිරීම ගැන සලකා බලමින් සිටින බවයි. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ වෛරසය දරුවාට පැතිරීමේ අවදානම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි. 

මෙම අධ්‍යයනයේ දී, මව්වරුන්ට සහ ළදරුවන්ට එකම කාමරයක රැඳී සිටීමට අවසර දී ඇති අතර මුහුණු ආවරණ පැළඳීම සහ නිතර අත් සේදීම වැනි ක්‍රියාමාර්ග සමඟ ළදරුවන්ට මවුකිරි ලබාදිය හැකිය. ළදරුවන් මවගේ ඇඳෙන් මීටර් 2 ක් (අඩි 6 ක්) පමණ දුර තොටිල්ල තබා තිබුණි.

මෙම පර්යේෂණය මගින් පහත සදහන් දේ සොයා ගෙන ඇත.

  • ළදරුවන් 120 දෙනාම නාසයේ ස්පුබ් භාවිතයෙන් පරීක්‍ෂා කිරීමේදී උපතේදී කොරෝන වෛරස් සඳහා ඍණාත්මක විය.
  • 82 දෙදෙනකු සතියකට පසුව නැවත පරීක්ෂා කරන ලද අතර සියලු දෙනා යළිත් කොවිඩ් සදහා ඍණාත්මක විය. මෙම ළදරුවන්ගෙන් වැඩි දෙනෙක් (68) තම මව්වරුන් සමඟ කාමරයක් බෙදාගෙන ඇති අතර හතරෙන් තුනකට වඩා මව්කිරි දීම සිදු කර ඇත.
  • ළදරුවන් 72 දෙනෙකු උපතින් සති දෙකකට පසුව පරීක්ෂාවට ලක් කළ අතර ඔවුන් ද ඍණාත්මක බව සොයා ගන්නා ලදී.

පර්යේෂකයන් පිළිගන්නේ ළදරුවන්ගෙන් තුනෙන් එකගේ පමණ උපතින් පසු වැඩිදුර පරීක්ෂණ සිදු නොකළ බවයි. එයට හේතුව වසංගතයක් තුළ නැවත සායනික පරිසරයකට ගෙන ඒමට දෙමාපියන් අකමැති වීමයි.

කෙසේ වෙතත්, අධ්‍යයනයට නායකත්වය දුන් වෛද්‍ය ක්‍රිස්ටීන් සැල්වෝටෝර් මෙසේ පැවසීය: “අපේ අධ්‍යනය අනුව නව මව්වරුන්ගෙන් සිය බිළිදුන්ට කොවිඩ්-19 සම්ප්‍රේෂණය වීමේ අවධානම ඉතා අඩු බව පැහැදිලි වෙනවා. කෙසේ වෙතත්, මවගෙන් දරුවාට කොවිඩ් සම්ප්‍රේෂණය වීමේ අවදානම වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා තවත් පුළුල් අධ්‍යයන සිදුවිය යුතුයි”

එක්සත් රාජධානියේ කොවිඩ් -19 පිළිබඳ ජාතික නිරීක්ෂණයට නායකත්වය දෙන මහාචාර්ය මේරියන් නයිට් පැවසුවේ මෙම පර්යේෂණය මගින් ගර්භනී සමය සහ කොවිඩ් සම්ප්‍රේෂණය පිළිබද සහතිකයක් ලබා දී ඇති අතර වර්තමාන මග පෙන්වීම සඳහා සහාය වන බවයි.

ඇය මෙසේ පැවසුවාය: “SARS-CoV-2 ආසාදනයෙන් පෙළෙන මව්වරුන් දහසකට වැඩි ප්‍රමාණයක් එක්සත් රාජධානියේ දරුවන් සදහා උපත ලබා තිබෙනවා. ඔවුන්ගේ ළදරුවන්ගෙන් 1-2% ක් පමණක් SARS-CoV-2 සඳහා ධනාත්මක ලක්ෂණ පළ කළා. මෙම දරුවන් තුළත් ආසාදන දරුණු ලෙස දැකගත නොහැකි වුණා‘

“එක්සත් ජනපදයේ සිදු කළ මෙම කුඩා අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ මුහුණු ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා මවුවරුන්ගෙන් සිය බිළිදුන්ට කොවිඩ් ආසාදනය වීම අවම මට්ටමක පවතින බවයි. මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් වශයෙන් සැලකිය හැකියි‘ මහාචාර්ය මේරියන් නයිට් වැඩිදුරටත් පැවසුයා.

මෙම අධ්‍යයනය The Lancet Child & Adolescent Health යන සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත.

බී.බී.සී. ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

Recommended For You

About the Author: Editor