ගෙවතු වගාව අතරතුර ‘ගෙවත්ත අයිනේ පුංචි ඉඩක’ සල්ලි වැල් ටිකකුත් වවා ගනිමුද ?

බුලත් යනු ගෙවත්තකටම උචිත ආර්ථික බෝගයකි. ඇඟට දැනෙන බුලත් කොටුවක් ගෙවත්ත අද්දරින් සිටුවා ගැන්මට අවශ්‍ය වන්නේ සුළු ඉඩක් පමණක් වනවා සේම, තම දෛනික කටයුතු වලට අවහිර නොවන පරිදි රැක බලාගැනීමටද පුළුවන.

මාස තුන හතරෙන් පටන්ගෙන වසර තුනක් තිස්සේ සති දෙකෙන් දෙකට සල්ලි

ගොවීන්ට සිටුවීමට බුලත් දඬු රුපියල් දහය ගානේ නාරම්මලින්

විෂබීජ වලින් තොර නිසා අපේ බුලත් වලට යුරෝපය කැමතියි

ප්‍රතිඅපනයන යක්‍ෂයා බුලත් මල්ලටත් බැල්ම හෙලලා

නගරයේ සතිපොළ පැවැත්වෙන්නේ සෑම සතියකම සිකුරාදා දිනයටයි. අවට ගම්මාන වල මිනිසුන් එදින ටවුමට එන්නේ ඉදිරි දින හතට පිරිමසා ගන්නට ප්‍රමාණවත් ආහාර සලාකය රැගෙන යාමටය. හිරු පායන්නටත් පෙර ලොරි බාගා අවදි කරගෙන පිට පලාත්වල සිට පැමිණි වෙළඳුන් බිම් කළුවර මැකී යද්දී ඉටිරෙදි කූඩාරම්ද තැන තැන අටවා අවසන්ය.

දශකයකට පමණ එපිටදී ගොවි ජනතාව බහුලව වෙසෙන මහවැලි කලාපයේ රැකියාව කරන සමයේදී මා ලැබූ අත්දැකීම් තවමත් විටින් විට මතකයට නැගේ. ඒ අතරින් මගේ සිත කලබලයට පත්කළ දර්ශනයක් වූයේ සතිපොලෙහි එදිනට විකිනෙන මිරිස් හා තුනපහ කුඩු ප්‍රමාණයයි. 

වෙළඳුන් ඒවා රැගෙන එන්නේ ගෝනි ගණනින්ය. ඇතැමුන් රැගෙන යන්නේද ග්‍රෑම් සීයේ දෙසීයේ ප්‍රමාණවලින් නොව, පත්තර ගොටුවල ගුලිකරගත් දෙසිය පනහ හෝ පන්සීයේ මුල් හැටියටය. පළාතේ මිනිසුන්ට පුරුදුවී තිබුණු මිරිසට ඇති ගිජු බව, නගරයේ තිබූ සීමිත බත්කඩ වලටද අඩු නැතිව බෝවී තිබුණි. ප්‍රදේශයට ආගන්තුක අප වැන්නෙක් හදිසියකදීවත් එවන් අවන්හලකින් බත් වේලක් අනුභව කෙරුවහොත්, කඳුළු බේරෙන ‘හායි හූයි’ විරාමයක් අනිවාර්යෙන්ම ගත කල යුතුව තිබුණි.

ලුණු භාවිතයද ඊට දෙවැනි නැත. අප කාර්යාලයේ සේවය කල එම පළාතේ බොහෝ දෙනෙක් තරුණ වයසේදීම අධි රුධිර පීඩනයට ‘ප්‍රෙෂර් පෙති’ බොන්නන් වූහ. කරුණු විමසීමේදී පෙනී ගියේ, ඒ අතරින් බහුතරය හාල් මුට්ටිය ලිප තබද්දී පවා එයට ලුණු අහුරක් එක්කරන බවයි.

මා දන්නා ‘යන්තම් විද්‍යාවට’ අනුව අධිරුධිර පීඩනය සෑදීමට අධික ලුණු භාවිතයද හේතු වන්නේය. ආණ්ඩුවෙන් පඩි ලබමින් ගොවිතැනේ පර්යේෂණත්, ආයතනික පරිපාලනයත් කරනවාට අමතරව, විරාමයක් ලද විටෙකදී ගම්වැසියන්ගේ අධික ලුණු හා මිරිස් භාවිතය පිළිබඳවද සොයා බැලුවෙමි. බහුතරයක් අතර තිබෙන බුලත් සැපීමේ පුරුද්ද, මේ හා ඍජුවම සම්බන්ධ යයි පෙනෙන්නට තිබුණි.   

පහේ හයේ පන්තියේ ඉගෙනගන්නා කොලු ගැටවුන්ගේ තොල්පෙති පවා පාසල් නොයන දිනවල දහවල් වනවිට රත් පැහැ ගැන්වෙන්නේය. බොහෝ වැඩිහිටියන් තම මුව රැඳි බුලත් හපය ඉවත දමා කට සෝදා ගත්තේ ප්‍රධාන ආහාර වේල කුස තුලට තල්ලු කිරීමද මුඛ කුහරය හරහාම සිදුකල යුතු බැවිනි. කෑමෙන් පසු අතුරුපස වෙනුවෙන්ද වහ වහා ලඟට ගන්නේ බුලත් හෙප්පුවමය.

එවන් පසුබිමකදී කෑම වේලට යහමින් ලුණු ඇඹුල් මිරිස් තුනපහ දමා සාදා නොමැත්තේ නම් දවස පුරාවටම බුලතින් පදම්වූ මුඛ කුහරයේ රසාංකුර සනසන්නට මේ කෑමවේල සමත් වන්නේත් නැත. ඔවුන්ගේ සූපවේදය තුල කුළුබඩු වර්ග හා ලුණු, යහමින් භාවිතා වන්නේ එබැවිනි.

ග්‍රාමීය ජන ජීවිතය හා මෙතරම් දුරකට බද්ධ වී ඇති බුලතේ ගුණාගුණද විවාදාත්මකය. බටහිර වෛද්‍ය විද්‍යාව බුලත් සැපීමට එරෙහි වන්නේ, බුලත් හපය මුඛ කුහරය තුල රඳවාගෙන වැඩි වෙලාවක් තබාගැනීම හරහා මුඛ පිළිකා බිහිවීමට උත්තේජනයක් සපයා දෙන බැවිනි.

එසේ වුවද ඖෂධයක් ලෙස බුලත් භාවිතා කිරීමේ වාර්තාද ඇති පමණට ප්‍රසිද්ධියට පත්කර තිබේ. තලතෙල් සමඟ බුලත්කොළ කීපයක් අඹරා, හිස ගලවා පැයක් පමණ තැබීමෙන් පසු සැර නැති ෂැම්පු වර්ගයකින් හිස සෝදා හැරීමෙන් හිසකෙස් හැලීම වලකාලන බව එක වාර්තාවක සඳහන්ව තිබුණි.

පල්පයක් වනසේ තලාගත් බුලත් කොළ මතට කහ කුඩු ස්වල්පයක්ද මිශ්‍රකර මුහුණේ කුරුලෑ ඇති ස්ථානයන්හි ආලේප කිරීමත්, වියලුනු පසු ආලේපය සෝදා හැරීමත්, කුරුලෑ ප්‍රතිකාරයක් ලෙස තවත් තැනක යෝජනා කර තිබුණි.

මේවාහි සත්‍ය අසත්‍ය බව කෙසේදැයි පවසන්නට පර්යේෂණාත්මක තහවුරුකිරීම් අප සතුව නැති වුවත්, ඈත අතීතයේ සිටම බුලත් හා බැඳුනු සංස්කෘතියක් අප සමාජයේ පැවති බවට නම් විවාදයක් නැත. ඉතාලි දේශ ගවේශකයෙකු වූ මාර්කෝ පෝලෝ බුලත් හපනා මිනිසුන් දැක ඇති බව වාර්තා කර ඇත්තේ 13 වෙනි සියවස තරම් ඈත කලෙකදී ඉන්දියාවේදීය.

සාමාන්‍ය ජනතාව පමණක් නොව ඉන්දීය රජවරුන්, ප්‍රභූන් පවා නිතරම කට රතු කරගෙන සිටි බව හෙතෙම සඳහන් කරයි. රාමායනයට අනුව රාමාගේ පණිවිඩයක් රැගෙන සීතා දේවිය හමුවන්නට පැමිණි හනුමන්තාට, මෙහෙවර ඇගයීමක් වෙනුවෙන් දෙන්නට කිසිවක් නැති තැන, සීතා දේවිය විසින් දී ඇත්තේ බුලත් කොළ වලින් සෑදු පළඳනාවක් බවට කතාන්තරයක්ද මා අසා තිබේ.

දේශීය කෘෂි ආර්ථිකයක උන්නතිය උදෙසා සතිපතා අකුරු අමුණන අප, වටින් ගොඩින් මේ උත්සාහ දරන්නේ බෝගයක් ලෙස බුලත් වගාවෙන් ලබාගත හැකි ප්‍රතිලාභයන් ගොවි ජනතාවට පෙන්වා දෙන්නටය.

ශරීර සුවය සම්බන්ධයෙන් බුලතෙහි බලපෑම මෙතනදී පසෙකින් තබා අප අවධානය යොමුකරන්නේ ආර්ථික වගාවක් ලෙස එහි ඇති ප්‍රයෝජන වලටයි. අප දුම්කොළ වගාව ගැන කතාකරන්නෙමු. රා නිෂ්පාදනය දිරිගන්වන්නෙමු. සෞඛ්‍යයත් ආර්ථිකයත් එවැනි වගාවන් හා කර්මාන්තයන්හි එකට පටලැවී නැත. එකිනෙකට වෙනස් දෘෂ්ඨි කෝණයන් හරහා ඒ දෙස බලන්නට සමාජයම පුරුදු පුහුණු වී හමාරය.

නිසි නියාමනයක් කරගත නොහැකි නිසාම, ජනතා සුබසෙත උදෙසා අප විසින් ගිනිබත් කරනා කංසා වගාවන් පවා, කෝටි ගණන් වටිනා ආර්ථික වගාවන් වේ. නමුත් නිසි පාලන ක්‍රමවේදයන් බිහිකරගෙන තිබෙන නිසා,  තායිලන්තය, ඇමරිකාව හා කැනඩාව වැනි රටවල ඖෂධීය අවශ්‍යතාවයන් උදෙසා දැඩි සීමා බන්ධනයන්ට යටත්ව කංසා වගාව පවා යහමින් කරගෙනු යනු ලැබේ. ඒ හරහා අසීමිතව මුදල්ද උපයනු ලැබේ.

බුලතේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනයක් මෙරටෙහිද ක්‍රියාත්මක වේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ නාරම්මල ප්‍රදේශයේ පිහිටා තිබෙන, ‘අතුරු වගා හා බුලත් පර්යේෂනායතනය’ නමින් හඳුන්වන එහි ආයතන ප්‍රධානියා වන්නේ ආචාර්ය ආනන්ද සුබසිංහ යි. අධ්‍යක්‍ෂ (පර්යේෂණ) වන්නේද ඔහුය.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අනාගත ආහාර බෝග ඌනතාවයක රතු එලි දැල්වී ඇති මොහොතක සැවොම උනන්දු වී ඇත්තේ ගෙවතු වවන්නටය. ආහාර බෝගයක් නොවූවත්, සීමිත බිම් කඩෙක වුවත්, කෙටි කාලයකින් පල දරමින් ගොවියාගේ ආර්ථිකයට හුස්ම පිඹින්නට සමත්, බුලතේ අසිරිය කියා පෑමට හෙතෙම මා හමුවන්නට පැමිණ සිටී.    

“අපනයන කෘෂිකර්ම බෝග සාමාන්‍යයෙන් අනිකුත් බෝග වලින් වෙනස්වෙන ප්‍රධාන හේතුවක් තමයි මේවා බොහොමයක් බහුවාර්ෂික බෝග වීම. ඒ නිසාම අස්වැන්න ගන්න පටන්ගන්න වෙන්නෙත් අවුරුදු දෙක තුනකින් තමයි. සාදික්කා, කරාබු වගේ බෝග ගතහොත් ආරම්භය ගන්න ඊටත් වඩා කල් ගතවෙන්න පුළුවන්. නමුත් බුලත් එහෙම නෙවෙයි. හිටවලා මාස 3-4 කින් පළමු අස්වැන්න ගන්නවා විතරක් නෙවෙයි, සති දෙකෙන් දෙකට අස්වැන්න දෙනවා. වසර තුන හතරකටම මේ ආදායම ස්ථිරයි.”

ආචාර්ය සුභසිංහ පවසන ආකාරයට මෙය ගොවියා වෙනුවෙන්ම උපන් බෝගයක්දැයි සිතෙන තරම්ය. සිටුවා මාස කීපයකින් අස්වැන්න ලබාදෙන බෝග පිළිබඳව අප ඇතිතරම් විස්තර ලියා තිබේ. බටු මිරිස් තක්කාලි සියල්ලෝම ඒ යටතේ පැමිණියත්, දින කීපයකට වරක් අස්වැන්න දුන්නත්, පොසොන් මාසයට වැටෙන ‘දුවන වැහි’ සේ මෙම ගහකොළ සියල්ලෝම තම ජීවිතය ඉක්මනින්ම නිමාකොට ආපසු යන්නෝය. ගොවියා නැවතත් මහන්සි වී බිම පෙරලා අලුත් කන්නය වෙනුවෙන් වගාව පිහිටුවිය යුතුවේ.

එතැනදී ගොවීන් හමුවට එන ප්‍රශ්ණ හා දුෂ්කරතා ගණනාවකි. තම වගාබිම පිහිටන කෘෂි දේශගුණික කලාපයට ගැලපෙන බෝගයක් තෝරා ගැනීම ඒ අතරින් ප්‍රධානය. තවත් ඉදිරි මාස කීපයකින් තමා තෝරාගත් බෝගයේ අස්වැන්නට හොඳ මිලක් ලැබේද යන්න පිළිබඳවත් වගාව ඇරඹීමට පෙර සිටම හෙතෙම සිත යොමුකළ යුතුවේ.

විධිමත් රෝපණ ද්‍රව්‍ය හෝ බීජ සොයාගැනීමේ අපහසුතාද ඇතැමුන්ට තිබෙන අතර තවත් අයෙකුට පොහොර පිලිබඳව ගැටලුවකි. තව ටිකක් ඉඩම ලොකුවූවානම් කියා සිතන අයද මේ අතර සිටී. ශ්‍රමය තිබුනාට පවුලේ අවශ්‍යතාවයන්ට සරිලන සේ එය මුදාහරින්නට භූමියේ ඉඩකඩ මදිවීම ඔවුනට ඇති බාධකයයි.

බුලත් ආවේ නාග ලෝකයෙන් යයි කියන කතාවලද යම් වටිනාකමක් ඇතැයි සිතෙන්නේ  ගොවියා මුහුණදෙන මේ සියලු ගැටළු වලට විසඳුම් විස්මිත බුලත් කොලය මත ලියවී තිබෙනා බැවින්ය. මුහුදු මට්ටමෙන් ඉතා ඉහල සීතල කඳුකරයේ හැරෙන්නට දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ඇත්තේ බුලතට සරිලන දේශගුණයකි.

ඒ අනුව මෙය වනාහී බහුතර ගොවි ජනතාවකට සමීප විය හැකි බෝගයක් වේ. බුලත් කොටුවක් සිටුවන්නට රෝපණ ද්‍රව්‍ය වශයෙන් අවශ්‍ය වන්නේ දඬු කැබලිය. ඒවා සපයා ගැනීම එතරම් අපහසුවක් නැති නිසා ගොවියා ගුණාත්මක බීජ සොයායාමේ ප්‍රශ්ණයෙන්ද නිදහස්ය.

අඩි 10 ක් දිග, අඩි 4 ක් පළල, එනම් වර්ග අඩි හතලිහක  බුලත් පාත්තියක් දමා ගන්නට ඕනෑම ගෙවත්තකින් බිම් කැබැල්ලක් සොයාගැනීමේ අපහසුතාවයක්ද නැත. මෙතැනදී අප ඒකකයක් ලෙස අදාළ දිග පළල සඳහන් කලත්, භූමියේ ඉඩ තිබේනම් පාත්තියේ දිග වැඩිකර ගැනීමට වගාකරුට පුළුවන. මෙහිදී අඩි 4 ක පළල වෙනස් කල නොයුතු අතර, වගාව ප්‍රසාරණය කල යුත්තේ පාත්තියේ දිග වැඩිකිරීමෙන් පමණි.

“මෙම දර්ශීය පාත්තියේ බුලත් දඬු හිටවන්නේ අඩි එක හමාරේ පරතරයට. එතකොට වළවල් 21 ක් එනවා. එකකට පැල දෙක බැගින් ඉනි 21 කට පැල 42 යි. මාස 3-4 කින් මේ පාත්තියෙන් බුලත් කොළ 500-600 ක් ගන්න පුළුවන්. හොඳට නඩත්තු කරන පාත්තියකින් කොළ 1000 ක් උනත් කඩන්න පුළුවන් වෙනවා සති දෙකකට වරක්. බුලත් කොලයක් රුපියල් දෙක ගන්නේ විකුණුවත් වර්ග අඩි 40 ක ඉතා කුඩා පාත්තියකින් උනත් ලැබෙන ආදායම නරක නෑ නේද?”

ආචාර්ය සුබසිංහගේ විවරණය සාධාරණය. බුලත් කොටුවක් සාදා ගන්නට ගොවියා වෙහෙසවිය යුත්තේ ආරම්භයේදී පමණි. මීට අමතරව දිනපතා එහිගොස් බුලත් වැලට ආයුබෝවන් කියා රවුමක් ගසා පැමිණීම ප්‍රමාණවත්ය. මන්දයත්, කොළ පුල්ලි රෝගය, අංගමාරය වැනි රෝගයන්හි පැමිණීම මුල් අවස්ථාවේදීම හඳුනාගත යුතු බැවිනි.

දිනපතා වගා පරීක්ෂාව මගහැරියහොත් හදිසියේ මතුවෙන රෝගයට බුලත් කොටුවම වනසන්නට සතියක්වත් උවමනා නැත. වගා පරීක්ෂාව අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. සති දෙකකට වරක් බුලත් අස්වැන්න නෙලිය හැකි නිසා පෙනී යන්නේ කිසිදු කෘෂි බෝගයක්, අස්වැන්න ලබාදීමේ කාල පරාසය හා අස්වනු විභවය අතින්, බුලත හා තරඟ කිරීමට සමත් නොවන බවයි.

වර්තමානයේ දේශීය නිෂ්පාදනය වසරකට මෙට්‍රික් ටොන් 8000 – 10,000 ක් පමණ වන අතර එයින් 50% ක් පමණ අපනයනය කරන බවද අප සිහි තබාගත යුතුවේ. 85%-90% ක් පමණම යන්නේ පාකිස්තානයටය. මීට අමතරව තවත් කොටසක් යුරෝපය හා මැද පෙරදිග රටවල් වෙතටද යන්නේය. අපනයනය අරමුණු කරගෙන බුලත් වැවීම වඩාත් ලාභදායක බවද සුබසිංහ මහතා පෙන්වා දෙයි.

“රට පටවන බුලත් කොලයක මිල වැඩියි. රුපියල් 6-8 ක් පමණ වෙනවා. ඇතැම් විට රුපියල් 12 දක්වා ඉහළ ගිය අවස්ථාත් තිබෙනවා. මෙතනදී අස්වැන්න නෙලන්නේ නම් සති තුනකට වරක්. අපනයන බුලත් හොඳට මෝරන්න ඕනෑ. තද කොළ පාටින් තියෙන්න ඕනෑ. ‘කළු බුලත්’ කියලත් මේවා හඳුන්වනවා.”

නාරම්මල බුලත් පර්යේෂණායතනය මගින් අපනයනය සඳහා බුලත් කොළ නිපදවීමට සුදුසු ප්‍රභේද දෙකක්, ගොවීන් අතරින්ම තෝරාගෙන, අස්වැනු විභවය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් පසු, වගාකිරීම සඳහා නිර්දේශ කිරීමටද පියවර ගෙන තිබේ. ‘නාරම්මලී’ සහ ‘නාරම්රතී’ යනුවෙන් නම්කර ඇත්තේ ඒවායි.

පත්‍ර පැහැය තද කොළ වීම සහ පත්‍ර විශාලත්වය සාපේක්ෂව වැඩිවීම මෙම නව ප්‍රභේදයන්හි ඇති කැපී පෙනෙන ලක්ෂණ වේ. දුරකතනයෙන් අමතා ඇනවුමක් ලබාදී (0372249377), බුලත් දඬු කැබැල්ලකට රුපියල් 10 ක් වැනි සුළු මුදලක් ගෙවා තම අවශ්‍යතාවය සපුරාගන්නට වගාකරුවන්ට හැකි බවද සුබසිංහ මහතා සඳහන් කරයි.

‘ප්‍රතිඅපනයනය’ යන පදය මෑත කාලයේදී අප හා ඇසුරට පැමිණියේ සුභ පණිවිඩයක් රැගෙන නම් නොවේ. ප්‍රධාන අපනයන බෝග දෙකක් වූ ගම්මිරිස් හා කරුංකා වල බාල තොග මෙරටට ආනයනය කර ඒවාට ‘ලාංකික’ යන ලේබලය යොදමින් විදෙස් රටවලට පැටවීම හරහා ඔරිජිනල් ලාංකික ද්‍රව්‍යයන්ටද එතෙර දොර වැසී යන අයුරු අප සංවේගයෙන් බලා සිටියෙමු.    

කරුංකා වලට පාත්වූ හෙනගෙඩිය ගැන විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලියන්නට අදහස් කරගෙන සිටිනා අතර,  ගම්මිරිස් ඇටයට කල වංචාව ගැන පසුගිය ජනවාරි 12 වෙනිදා මෙවැනි ලිපියක් මගින්ම කරුණු ඉදිරිපත් කරන ලදී. කූට ව්‍යාපාරිකයින්ගේ මඩිස්සලය තර කල මෙවැනි ව්‍යාපාර වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු නතරකිරීම හේතුවෙන්, නැව් නගින්නට වරම් නොලැබූ දේශීය ගම්මිරිස් හා කරුංකා මේ වනවිට යන්තම් හුස්ම ගනිමින් සිටී. දැන් කණකොකා හඬන්නට පටන්ගෙන ඇත්තේ බුලත් මල්ල දෙස බලාගෙනය.

“ලංකාවේ බුලත් පිරිසිදුයි. මෙය අමුවෙන්ම පාරිභෝජනය කරන දෙයක් නිසා පිරිසිදු බව හුඟක් වටිනවා. අපේ බුලත් වැඩිපුරම යවන පාකිස්තානය වගේ රටවලින් නම් පිරිසිදුභාවය එතරම් පරීක්‍ෂා නොකෙරුනත්, එංගලන්තය වැනි රට වලදී ඒ ගැන සොයා බලනවා. ඉන්දියාවේ බුලත් යුරෝපීය රටවලට යවන්න බැරි හේතුවත් ඒකයි. අපිරිසිදුව අස්වැන්න සැකසීම හා ඇසිරීම සිදුවෙන නිසා සැල්මොනෙල්ලා, එස්චරෙචියා කෝලයි වගේ බැක්ටීරියා වලින් ඒ බුලත් තොග දූෂණය වෙලයි තියෙන්නේ.”

ආචාර්ය සුබසිංහ කතාකරන මේ පිරිසිදු බවට ඉහඳ තබන්නට අපේ කපටි ව්‍යාපාරිකයින් කීප දෙනෙක් මේ වනවිට උත්සාහ ගනිමින් සිටී. ඔවුහු අපිරිසිදු බුලත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කර ඒවාට ‘ලාංකික’ උප්පැන්න මෙහිදී සාදා දෙමින් යුරෝපයට ආනයනය කිරීමයි මේ අවනඩුව.

හානිකර බැක්ටීරියා හසුවීම හේතුවෙන් මෙරට වවන අපේම බුලත් වලටද රට යාමේ තහනම් නියෝග පැනවෙමින් තිබීම සැබැවින්ම ඉතා අසාධාරණ මෙන්ම අවාසනාවන්ත තත්වයකි. තුවාලය ඔඩු දුවන්නට නොදී ගම්මිරිස් හා කරුංකා වලට බෙදූ හැන්දෙන්ම බුලත් මල්ලටත් සලකන්නට බලධාරීන් උනන්දුවිය යුතු කාලයක් උදාවෙමින් තිබේ.

ගෙවතු වවන්නට පසුගිය කාලයේදී මෙරට තිබුණු උනන්දුව තවමත් පහවී ගොස් නැත. මීට පෙරද අවස්ථා කීපයකදී කාගේ හෝ බලපෑමෙන් ගෙවතු වගා වැඩසටහන්, තරඟයට ගෙවතු වැවීම ආදිය කරලියට පැමිණියත් ඒවාට එතරම් කලක් ආයුෂ තිබුනේ නැත. එහෙත් මේ වතාවේදී නම් ගෙවතු වගා උනන්දුව කලක් පවතීයයි සිතන්නට කරුණු කාරනා තිබේ. කෑමට යමක් අතේ දුරින් වවාගෙන තිබීමේ වැදගත්කම ‘ලොක්ඩවුන්’ කාලය තුලදී ජනතාවට සජීවීවම විඳගන්න ලැබීම මීට එක හේතුවකි.

වසවිස හලන්නේ නැතිව තමාගේ රැකවරණය යටතේ හුරතලයට හැදුනු වැඩුණු  පැලයකින් නැවුම් අස්වැන්නක් නෙලා ගැනීමේදී ලබන ආස්වාදය දෙන්නා දෙමහල්ලන්ට පමණක් නොව ළමා ලපැටියන්ද අඩු නැතිව විඳගැනීමට ලැබීම තවත් හේතුවකි.

ගෙවත්ත නමැති කුඩා ඒකකයට ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් මෙතරම් දෙයක් කල හැකිදැයි තමා මින්පෙර සිතා නොසිටි බව, එහි ආශ්වාදය විඳිනා ගෘහනියන් කීපදෙනෙක්ම මා සමඟ පුද්ගලිකවම පවසන්නට යෙදුනි. කෙසේ වෙතත් ගෙවතු වවන බහුතරය සෙවූයේ එළවලු ඇටය. හදිස්සියට රජය මගින්ද වැඩිපුර කතා කෙරුවේ එළවලු ඇට ගැනය.

එසේ නමුත් එළවලු වවන්නට වැයකළ උනන්දුවෙන්  කොටසක් ප්‍රධාන ආහාර වේල පිරිමසා ගතහැකි බෝගයක් වෙනුවෙනුත් යෙදෙවුවානම්, ගෙවත්තෙහි වටිනාකම කීප ගුණයකින් ඉහල යන්නේය. වැට මායිමේ කොස් ගසක් තිබුනානම්, දිය සීරාව එකතුවෙන තැනක කිරිඅල පඳුරු කීපයක් වැවුනානම්, දඹල වැල එතී තිබුනේ මඤ්ඤොක්කා පඳුරක නම්, එතැන ඇත්තේ ප්‍රධාන ආහාර වේලක සෞභාග්‍යයයි. ගෙවතු උනන්දුව මැකී යාමට පෙර අප එතැනටද යා යුතුවෙමු.

එහි නැවතී ගිමන් හැරීමද නොකළ මනාය. ගෙවත්ත අද්දරින් සල්ලි වැලක් පැලකර ගැනීම වෙනුවෙන් සුළු ඉඩක් වෙන්කර ගන්නටයි මේ අපගේ ඇරයුම. ගෙවත්ත යනු මුළුතැන්ගෙයි සැපයුම් ප්‍රභවය යයි මෙතෙක් ඇතිකරගෙන තිබූ සීමාවන් දිගෙලි කිරීමට කාලය දැන් එළඹ තිබේ.   

බුලත් යනු ගෙවත්තකටම උචිත ආර්ථික බෝගයකි. ඇඟට දැනෙන බුලත් කොටුවක් ගෙවත්ත අද්දරින් සිටුවා ගැන්මට අවශ්‍ය වන්නේ සුළු ඉඩක් පමණක් වනවා සේම, තම දෛනික කටයුතු වලට අවහිර නොවන පරිදි රැක බලාගැනීමටද පුළුවන.

බුලත් කොළ අතරට ගම්මිරිස් කොළ තබා ප්‍රභූන් නමදින කාඩ්බෝඩ් උපදේශකයින්ගෙන් බේරී, ජාත්‍යන්තරව පැතිරී තිබෙන ලංකා බුලතේ කීර්තිය රැකගැනුමට බලධාරීන්ට ශක්තිය ලැබෙන්නේ නම්, ගමේ බුලත් කොටුවේ සල්ලි උල්පත කිසිදා වියලෙන්නේ නැත. බුලත් හිටවන්නට එන්න කියන්නට අපේ ගැමියාට බුලත් දියයුතුද නැත.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor