සාර්ථක අඹ වගාවකට නව දැනුම: අධිඝනත්ව අඹ වගාවට ‘නැතුවම බැරි කප්පාදුව’

රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම අඹ පැලයක් ගෙවත්තේ සිටුවා ගැන්මට සැවොම උනන්දුවක් දැක්වුවත්, එයින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමේ සිහිනය නම් ඇතැමුන්ට සැබෑ නොවනේය.

මීටර් 10 සාම්ප්‍රදායික පරතරය මීටර් පහට අඩුවෙලා

මීටර් එක දක්වා පරතරය අඩුකරන්නත් පර්යේෂණ

කප්පාදු නොකළහොත් අඹ සෙවන පමණක් ලැබේවි, ගෙඩි නෑ

අතු කැපිය යුත්තේ පසේ හොඳට ජලය තිබෙනවිට

අඹ වාරය නැවතත් පැමිණ තිබේ. රටපුරා නගරයක් ගමක් පාසා වීදි අයිනේ පලතුරු කඩ පුරවා දමා අඹ යහළුවා ආපසු යාමටත් සූදානම්වය. කෙසේ වෙතත් වාරයේ තරමට නොවූවත්, වසරේ දින 365 පුරාම දිවයිනේ කුමන හෝ ස්ථානයක අඹ හටගන්නා බැවින් වෙළඳපොළෙහිද කිසිදා අඹ හිඟයක් පෙනෙන්නට නම් නැත.

රටේ ජනතාව අතර ගෘහාශ්‍රිතව වගා කරන්නට කැමතිම පලතුරු බෝග අතරද අඹ වලට හිමිවන්නේ ඉහළ ස්ථානයකි. ඒ නිසාම අඹ පැලයක් ගෙවත්තේ සිටුවා ගැන්මට සැවොම උනන්දුවක් දැක්වුවත්, එයින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමේ සිහිනය නම් ඇතැමුන්ට සැබෑ නොවනේය. එයට හේතුව වන්නේ පැලයක් සිටුවාගැනීමේ උනන්දුවක් තිබුණද, නිසියාකාරව එය නඩත්තු කිරීමේ දැනුමක් සමාජයට නොතිබීමයි. එසේ නැතහොත් සිටුවීමෙන් පසු ගෙඩි සෑදීමේ කර්තව්‍යය අඹ ගසටම භාරදෙමින් වගාකරුවා නිහඬවීමයි.

මීට අමතරව දැනගත යුතු කරුණක් වන්නේ අඹ ශාකය හොඳින්ම වර්ධනය වන්නේ දැඩි හිරුරැස් පතිතවෙන වියලි කලාපයේ බවයි. අප අතර ජනප්‍රිය අඹ ප්‍රභේද බොහොමයක් වියලි කලාපීය ප්‍රභේදයන් වන අතර, ඒවා තෙත් කලාපයේ වැවුවත් යම් සාර්ථකත්වයකින් පලදරන අවස්ථාද තිබේ. කුමක පරිසරයකදී වුවත් සාර්ථක පලදාවක් ලබාගැනීමට නම් ශාකයේ නඩත්තුව ප්‍රධාන සාධකයක් වෙත්දී, කප්පාදුව ඒ අතරින්ද විශේෂය.

අධි ඝනත්ව අඹ වගාව මේ වනවිට වගාකරුවන් අතර ජනප්‍රිය වගා ක්‍රමවේදයකි. මින් අදහස් කරන්නේ සාම්ප්‍රදායික පරතරය ලබා නොදී ඉතා ළඟින් අඹ පැල සිටුවීමයි. ගොවිතැන සඳහා භූමිය සීමාකාර වෙත්දී මෙවන් තාක්ෂණයන් කරලියට පැමිණීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර ඒ හරහා ඉහළ යන්නේ භූමියේ කාර්යක්ෂමතාවයයි.

විශාල වගාවක් සඳහා පමණක් නොව, සීමිත ඉඩ සහිත ගෙවත්තකට වුවද, මේ ක්‍රමය භාවිතා කිරීමෙන් වැඩි අඹ පැල ගණනක් ඒකක වර්ගඵලයක් තුළට ඇතුළත් කළ හැකිවේ. එසේ නමුත් ගස් එකිනෙක ළං කරනාවිට වඩාත් සැලකිල්ලෙන් ඒවාහි නඩත්තුව සිදුකිරීමද අත්‍යවශ්‍යය වේ. විශේෂයෙන් පැලය සිටවූදා සිටම විධිමත් කප්පාදු ක්‍රම අනුගමනය කරමින් ගසේ කිරුළේ වර්ධනය පාලනය කළ යුතු අතර අප දැන් පෙන්වා දෙන්නේ එහිදී අනුගමනය කලයුතු මූලික පියවරයන්ය.

කප්පාදු කරන සෑම අවස්ථාවකදීම පසේ ප්‍රශස්ථ ජල ප්‍රමාණයක් රැඳී තිබෙනවාදැයි බැලීමට ඔබ කල්පනාකාරී විය යුතුය. ජල ඌනතාවය වැනි ආතතික තත්වයක් පරිසරයේ පවතිද්දී කප්පාදුවක් හරහා තවදුරටත් ශාකයට ආතතිය පැටවීම නොකළ යුත්තකි. පැලයේ උස මීටරයක් දක්වා පැමිණීමට කලින් සෙන්ටිමීටර 50 ක උසකින් කප්පාදුවේ පළමු පියවර ලෙස ප්‍රධාන කඳ කපා දමනු ලැබේ. මින් බලාපොරොත්තු වන්නේ ගසෙහි උස පාලනය කිරීමයි. පාර්ශ්වික අංකුර ක්‍රියාත්මක වෙමින් දැන් ගස අතු දැමීමට පටන් ගන්නවා ඇත.

දිශා තුනකට විහිදෙන අතු තුනක් ගැන පමණක් මෙහිදී අවධානය යොමු කරන්න. ඒවාට පමණක් වැඩෙන්නට ඉඩදෙන්න. අනෙක් පාර්ශ්වික ශාඛා ඉවත් කල යුතුයි. තෝරා ගත් අතු තුනද සෙන්ටිමීටර් 30-50 ක පමණ දුරකින් කපා දමන්න. එය කප්පාදුවේ දෙවැනි පියවරයි. දැන් ඒවායින්ද පාර්ශ්වික අතු හටගනීවී. එක ශාඛාවකින් නැවතත් විරුද්ධ දිශාවන්ට හටගන්නා අතු තුන බැගින් ඉතිරිකර අනෙක් අතු ඉවත් කරන්න.දැන් ශාකය සතුව අතු 9 ක් තිබේ.

කප්පාදුවේ තුන්වෙනි පියවර වශයෙන් එම අතු සියල්ල දෙවැනි පියවරේදී සේම යම් දුරකින් කපා දැමිය යුත්තේ ඒවාහි ඉදිරි වර්ධනය නැවතීමටයි. මෙම අතු වලත් පාර්ශ්වික ශාකා සෑදෙන විට, එකකට අතු තුන බැගින් ඉතිරිකොට අතු 27 ක ශාකයක් ඔබ විසින් නිර්මාණය කරගත යුතුය. නිසියාකාරව විරුද්ධ දිශා වලට හටගන්නා අතු ඉතිරි කෙරුවේ නම් මේ වනවිට නිර්මාණය වී ඇත්තේ කුඩයක් ආකාරයට පත්‍ර කිරුළක් සාදාගත් ලපටි අඹ ශාකයකි.

“කුඩා අතු කපන විට කඳෙහි සෑදෙන තුවාල වල දිලීර නාශක දියරයක් ආලේප කිරීම වැදගත් වෙනවා. ඒ වගේම රිකිලි ලියලලා අලුතෙන් දළු දාන විටත් පරීක්ෂාකාරී විය යුතුයි කීඩෑවන්, දිලීර වැනි දේ අසාදනය වෙනවාද කියලා, එහෙම උනොත් සුදුසු පරිදි ඒවාටත් ප්‍රතිකාර කල යුතුයි. බොහෝ අය කප්පාදුව අසාර්ථක කරගන්නේ එක්කෝ නිසි තෙතමනයක් නැති විටදී පටන්ගෙන, එහෙම නැත්නම් ලපටි දළු කොටස් රෝග වලට පාත්‍ර වීම නිසා.”

dav

ගසක කප්පාදුව යනු හිතුමතේ සිදුකරන අතු කපාදැමීම පමණක් නොවන බව එසේ තහවුරු කරනු ලැබුවේ කෘෂි විද්‍යාඥ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතාය. තම නිත්‍ය සේවාස්ථානය ලෙස අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ කරන සේවයට අමතරව අරලගංවිල හා කරදියන්නාරු පර්යේෂනායතනයන්ද මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා ඔහුය.  

මෙතැන්සිට කිනම් අතු කපනවාද, කුමන ඒවා ඉතිරි කරනවාද යන්න තීරණය කලයුත්තේ වගාකරු විසිනි. ගසක වර්ධනයට මෙන්ම ඵල දැරීමටත් හිරුඑළිය අවැසි බව තේරුම් ගෙන තිබෙන නිසාත්, හිරුඑළියේ ඇති ශක්තිය උරාගන්නේ පත්‍ර මගින් බව දන්නා නිසාත්, ගසේ සෑම පත්‍රයකටම ආලෝකය වැටෙන ආකාරයට වැඩිපුර අතු ඉවත්කිරීම අඛණ්ඩව සිදුකල යුතුවේ.

අතු එකිනෙක අතිපිහිත වීමෙන් ඉහල අතු වලින් පහළ අතු වලට සෙවන වැටීම නිසා පහල අතු ආහාර නිපදවීමක් නොකර අලසව ජීවත්වන්නේ ගස නිපදවන ආහාර කොටසක් පරිභෝජනයද කරමින්ය. එබැවින් මේවා කපා ඉවත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි. ගසෙහි තිබිය යුත්තේ හිරුඑලිය වැටෙන අතු වැඩි ප්‍රමාණයකි. ඒ නිසා වසරකට වරක් සාමාන්‍ය කප්පාදුවකට ගස මුහුණදිය යුතුවේ.

සම්පූර්ණ කප්පාදු කාලය තුළදීම ප්‍රධාන කඳ දෙසද අවධානය යොමුකිරීම මගහැරිය යුතු නැත. එහි සිට දිගින් දිගටම පාර්ශ්වික ශාඛා පැනනැගෙන අතර අප විසින් ඉතිරි කරගත් ඒවා හැරුණුවිට මෙසේ බිහිවෙන ආගන්තුක ශාකා සියල්ල ඉවත් කිරීමට වග බලාගත යුතුවේ.

මෙසේ බිහිකරගන්නා අඹ ගසක තිබිය යුත්තේ අඩි 10 ක් පමණ උසකි. රෝග හා පළිබෝධ පාලනය පහසුවෙන් කරගැනීම, ඵල හටගැනීමේදී කලයුතු ගෙඩි ආවරණය, පැසුණු ගෙඩි තෝරාගැනීම හා අස්වැන්න නෙලීම වැනි ඉදිරි ක්‍රියාකාරකම් විධිමත් හා පහසු කරගැනීම සඳහා මෙවැනි උසක වාසිය අපට වැදගත්ය.

අධි ඝනත්ව පැල සිටුවීමේදී බොහෝ විට වගාකරුවන් තෝරා ගන්නේ මීටර් 5 X 5 හෝ 6 X 4 යන පරතරයන් වේ. මීටත් වඩා අඩු පරතරයන් යටතේ අඹ වගාකිරීමේ හැකියාව පිළිබඳව මේ වන විටත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂණයන් ඇරඹී ඇති නමුත් මෙවැනි බහු වාර්ෂික ශාකයක් ඇසුරෙන් කරනු ලබන පර්යේෂණයක ප්‍රතිපල එන්නට ගන්නා කල්ගතවීම, දැනුම ලබාගැනීමේ ඇති හදිස්සියට නම් නොගැලපේ. කිනම් පරතරය තෝරා ගත්තද, පේලියේ ඇති යාබද ගස්වල අතු එකිනෙක සමීපවෙනවා මිස, අතිපිහිතවීමට ඉඩ නොතැබිය යුතුවේ. එවන් නැඹුරුවක් ඇති අතු කපා දැමිය යුතුය.

“අඹ ගස්වල රිකිලි කෙලවර තමයි ගෙඩි හැදෙන්නේ. ඒ නිසා ගසේ ව්‍යුහය හදාගන්නා මූලික කප්පාදුවලින් පස්සේ අපි රිකිලි ගණන වැඩිවෙන පිළිවෙලට කිරුළේ පර්යන්ත කප්පාදුව කරන්න ඕනෑ. අනිවාර්යයෙන්ම අස්වැන්න වාරයකට පස්සේ ගසේ ඉතුරුවූ නැටි කොටස්, වැඩි රිකිලි ආදිය ඉවත් කරන, ගස පිරිසිදුකිරීමේ කප්පාදුවකුත් දෙන්න වෙනවා.”

එසේ අවසන් වූ විජිතවර්ණ මහතා හා කෙරුණු සංවාදයෙන් පැහැදිලිවන්නේ රැල්ලට හසුවී ගස් සිටවූවාට වඩා දෙයක්, ඉන් යහපත් ප්‍රතිපල ලැබීමට නම් අප විසින් ඉටුකළ යුතු බව නොවේද?

සටහන – සනත් එම් බණ්ඩාර

Recommended For You

About the Author: Editor