පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව: කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය

කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රධාන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මෑතකදී, පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය හා  එක්ව, කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය සමරනු වස් “පොදුරාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්ති මාර්ගගත සමුළුව : කඩොලාන පරිසර පද්ධතීන්හි වටිනාකම නිරාවරණය” සංවිධානය කරන ලදි.

කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 යුනෙස්කෝ මහා සම්මේලනය විසින් සම්මත කර සෑම වසරකම ජූලි 26 දින සමරනු ලබයි. “අද්විතීය, විශේෂ හා අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියක් ” ලෙස කඩොලාන පරිසර පද්ධතිවල වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීම සහ ඒවායේ තිරසාර කළමණාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් ප්‍රවර්ධනය කිරීම මෙය සැමරීමේ අරමුණ වෙයි.

පසුගිය අවුරුදු 50 තුළ කඩොලානවලින් 30% ත් 50%ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇත. කඩොලාන ප්‍රතිෂ්ඨාපනය සඳහා නව, අඩු වියදම් තාක්ෂණයන්ගෙන් ප්‍රතිලාභ අත්කර දෙන සහ වෙර ගන්වන ලද කටයුතුවල නියැලීම සහ නව්‍යකරණ අරමුදල් තුළින් ප්‍රාදේශීය ප්‍රජාවන් යථාතත්වයට පත්වීම සඳහා සහාය වන නව ප්‍රවේශයන් මතුවෙමින් පවතියි.

කඩොලානවල මනා කළමණාකාරිත්වය සඳහා අවශ්‍ය වූ තොරතුරු රැස් කිරීමට, විවිධ කළාප නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලය පුරා ඇති ව්‍යාපෘතිවල සිද්ධි අධ්‍යයන තුළින් ඒ් පිළිබදව හැදෑරීම් හා ඒ්වා  ප්‍රදර්ශනය කිරීම සහ කොවිඩ් 19 වලින් පසු අවධියේ දී ඉදිරියට යාමට ඇති විවිධ වේදිකා අවධාරණය කිරීමට මෙන්ම විවිධ රටවල් විසින් අනුගමනය කරන ලද විද්‍යාව හා ප්‍රතිපත්තීන් පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබාදීම කෙරෙහි ද මෙම මාර්ගගත සමුළුවේ දී අවධානය යොමු විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්තියේ උපදේශක, සාගර පාලන හා ව්‍යාපෘති නායක ජෙෆ් ආර්ඩොන් මහතා විසින්  මාර්ගගත සමුළුව මෙහෙයවන ලද අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය ප්‍රඥප්තිය, කඩොලාන පරිසර පද්ධති හා ජීවනෝපාය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය නීල ප්‍රඥප්ති ක්‍රියාකාරී කණ්ඩායමේ ප්‍රගතිය හා කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර දිනයේ වැදගත්කම කෙරෙහි ආරම්භක කරුණුවලදී අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් මෙම ආරම්භක අදහස් දැක්වීම සිදුකරන ලදී.

ස්වාභාවිකව පුනර්ජනනයට විරුද්ධ ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිදුකළ මැදිහත්වීම් තුළින් උගත් පාඩම් විශ්ලේෂණය කරමින් “පොයින්ට් ලිසාස් හි කඩොලාන පද්ධතියක් ප්‍රතිෂ්ඨාපනය කිරීම” පිළිබඳව සිද්ධි අධ්‍යයනයක්, ට්‍රිනිඩෑඩ් හා ටූබැගෝහි සමුද්‍රිය කටයුතු ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ආචාර්ය රහන්නා ජුමාන් විසින් ඉදිරිපත් කරන ලදි.

කඩොලාන පරිසර පද්ධතිවල බිඳවැටීම විද්‍යාත්මකව හා ප්‍රජා මූලිකව හඳුනාගනිමින්, මෙම ක්‍රියාවලි දෙකම ප්‍රතිෂ්ඨාපනය කෙරෙහි දායකවන්නේ කෙසේද යන්න පිළිබඳව කොරියාවේ සමුද්‍රිය හා ධීවර  පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජුඩින් ඔකෙලෝ විසින් සිදුකළ ඉදිරිපත් කිරීමේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සත්‍ය කඩොලාන විශේෂවල විවිධත්වය, විශේෂවල අවධානම් මට්ටම සහ කරුණු පාදක කරගත් කළමණාකරණයක් සඳහා දත්තවල ඇති වටිනාකම හුවා දක්වමින් “සෑම තැනකම කඩොලාන : දෙකක් සමාන නොවේ” පිළිබඳව ඉදිරිපත් කිරීමක්, ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂා කිරීමේ අධිකාරියේ සහකාර සමුද්‍රිය පරිසර නිලධාරී අචිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළාය.

නිල් කාබන් හා කඩොලාන කළමණාකරණය, ධීවර කටයුතු, විකල්ප ජීවනෝපාය හා ප්‍රජා සෞඛ්‍ය සහ සම්බන්ධ කරමින් මැඩගස්කරයේ හා ඉන්දුනීසියාවේ දී දියත් කරන ලද “නිල් වන ක්‍රියාමාර්ගය” හරහා වෙරළාසන්න ප්‍රජා සවිබල ගැන්වීම හා දේශගුණික බිදවැටීම් වළක්වාගැනීම පිළිබඳව එක්සත් රාජධානියේ ගෝලීය උපායමාර්ග පිළිබඳ නායිකා, ලෙහ් ග්ලාස් විසින් නිල් ව්‍යාපාරයේ කඩොලාන සංරක්ෂණය පිළිබදව කරුණු ඉදිරිපත් කළේය.

මෙම මාර්ගගත සමුළුවට 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර පසුව මිනිත්තු 20 ක ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයක් ද පවත්වන ලදී.

සාගර ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය සඳහා සාධාරණ, සියල්ල ඇතුළත් සහ තිරසාර ප්‍රවේශයක් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට ඒකරාශීවී කටයුතු කිරීමට නීල ප්‍රඥප්තිය උපකාර කරයි. ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත සාගර ගැටලුවක් සඳහා කැපවී ඇති ක්‍රියාකාරී කණ්ඩායම් සමූහයක් හරහා වන අතර ඒවා මෙහෙයවනු ලබන්නේ “පෙරමුණගත්” රටවල් විසින් මෙහෙයවනු ලබන සාමාජික රටවල් විසිනි. මේ දක්වා රටවල් 13 ක් තේමාවන් 10 ක් මත පෙරමුණ ගැනීමට ඉදිරියට පැමිණ තිබේ.

කඩොලාන පරිසර පද්ධති සහ පීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම එවැනි ක්‍රියාකාරී කණ්ඩායමක් වන අතර එය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකාව විසිනි. මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ වත්මන් සාමාජිකයන් වන්නේ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, බහමාස්, ජැමෙයිකාව, කෙන්යාව, නයිජීරියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, එක්සත් රාජධානිය සහ වනවාටු යන රටවල්ය.

කඩොලාන ව්‍යාප්තිය සඳහා පෙරමුණ ගන්නා රටක් ලෙස ශ්‍රී ලංකාව දැනටමත් කඩොලාන ප්‍රතිපත්තියක්, මාර්ගෝපදේශ, බහු පාර්ශ්වකරුවන්ගේ කාර්ය සාධන බලකායක් සහ කඩොලාන පිළිබඳ විශේෂඥ කණ්ඩායමක් සකස් කර ඇති අතර, ලෝකයේ පළමු කඩොලාන කෞතුකාගාරය පිහිටුවීම සහ වෙනත් භාවිතයන් බවට පරිවර්තනය කර ඇති කඩොලාන වනාන්තර යථා තත්ත්වයට පත් කිරීම සඳහා නීති පැනවීම ද සිදුකර තිබේ.

Recommended For You

About the Author: Editor