යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් පාසල් ක්‍රීඩාපිටි සංවර්ධනය කරයි

ජනාධිපතිතුමන් පසුගියදා සිදුකළ සංචාරයක් අතරතුර හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ, දැරණියගල සිරි සමන් ජාතික පාසලේ සහ කුලියාපිටිය දුම්මලසුරිය ජේ.ආර්. ජයවර්ධන මහා විද්‍යාලයේ  ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස පාසල් සිසුන්, දෙමාපියන් සහ පාසල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව, 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව සහ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවල භටපිරිස් මේ වනවිට එම ක්‍රීඩංගණවල ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතී.  

පාසල් සිසු සිසුවියන් තම ක්‍රීඩාපිටි නිසිලෙස සකස් කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට දැනුවත් කිරීමත් සමගම, යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් දුරකථනය ඔස්සේ සම්බන්ධවූ අතිගරු ජනාධිපතිතුමන් ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ සහයෝගය ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබිණි.

එ් අනුව, පොරමඩුල්ල විද්‍යාලයේ ක්‍රීඩාගාරයේ ඉදිකිරීම් කටයුතු සහ ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් කටයුතු ජූලි මස 23 වන දින 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරම්භ කළ අතර මේ වනවිටත් සිදු කෙරෙමින් පවතින මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා පිටිය සහ පාසැල් පරිශ්‍රය යා කරමින් ගුවන් පාලමක් ද ඉදිරීමට සැලසුම් කර ඇත.  

මීට අමතරව, කුලියාපිටිය දුම්මලසුරිය ජේ.ආර්. ජයවර්ධන මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය සහ එයට සම්බන්ධ වන පඩිපෙල සැකසීමේ කටයුතු 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජූලි මස 28 වන දින ආරම්භ කළ අතර එහි සංවර්ධන කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී.

තවද,  12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දැරණියගල සිරිසමන් ජාතික පාසැලේ ක්‍රීඩාපිටියේ නවීකරණ කටයුතු ජූලි මස 19 වන දින ආරම්භ කළ අතර එහි සංවර්ධන කටයුතු මේ වනවිටත් සාර්ථකව නිමා කර ඇත.  

තම මව්බිමට අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම භාරදුර කාර්යක් කිසිම පැකිලිමකින් තොරව රටේ ආරක්‍ෂකයා ලෙස භාරගෙන ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කැපවී කටයුතු සිදුකරන බවට යළිත් වරක් පෙන්වාදෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරි දින කිහිපය තුළ අවසන් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අපේක්‍ෂා කරයි.

Recommended For You

About the Author: Editor