Voice of දියවන්නා: මහින්ද මිනුවන්ගොඩදී ප‍්‍රසන්නගේ චරිත සහතිකය ලියයි

වෙන රැස්වීම් වලට ගියාම අපේක්ෂකයා ගැන කියන්න ඕනේ. මෙහෙ දී එහෙම ඕන නෑ. ප්‍රසන්න තමයි මෙහේ ඉන්න ජනප්‍රියම නායකයා. 2015 දි අපි පරාද වුණාම හුග දෙනෙක් අපිව දාලා යද්දී අපිව අතෑරලා යන්නේ නැතිව මා ලගම හිටිය කෙනෙක් තමයි ප්‍රසන්න. බැසිල් එක්ක පොහොට්ටුව හදන්න මහන්සි වුණෙත් ප්‍රසන්න”. මහින්ද කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පහුගිය සෙනසුරාදා සවස මීගමුවට ගියේය. ඒ නිමල් ලාන්සා සංවිධානය කර තිබු කාන්තා සංවිධාන රැස්වීමකට සහභාගී විම සදහාය. රැස්වීම් ශාලව අතුරු සිදුරු නැතිව පිරී තිබුණි. ඒ කාන්තාවන්ගෙන් පමණක් විම විශේෂත්වයකි. මේ රැස්වීමට ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද සහභාගී වී සිටියේය.

රැස්වීම ඉදිරියෙන්ම ලාන්සාගේ බිරිද ද අසුන්ගෙන සිටියේය.

“ලාන්සා ඇමතිතුමාගේ කාන්තා ශක්තිය හරිම ප්‍රබලයි. මෙච්චර කාන්තා පිරිසක් ලාන්සා වෙනුවෙන් ඉදිරිපත් වෙන එක ගැන එතුමාගේ බිරිද නම් එච්චර කැමති නැතුව ඇති.” ප්‍රසන්න ලාන්සාගේ බිරිද දෙස බලමින් කීවේය.

“ඒක නම් ඇත්ත තමයි.”බැසිල් ද කීවේය.

කථාව අතරතුර බැසිල් ප්‍රසන්නට ලොකු සහතිකයක් දුන්නේය.

“විදේශගත ශ්‍රමිකයන් ලංකාවට ගේන්න ප්‍රසන්න රණතුංග ඇමතිතුමා හරියට මහන්සි වෙනවා. ලෝකෙ හැම ගුවන්තොටුපළක්ම වහද්දි ප්‍රසන්න කටුනායකින් විදේශගත ශ්‍රමිකයන් ගෙන්නගන්න මැදිහත් වුණා. ඒ වෙනුවෙන් කැපවුණා. අපිට ඕන මේ වගේ ඇමතිවරු.”බැසිල් කීවේය.

ඡන්දය ගැන බැසිල්ගෙන් අනාවැකියක්

රැස්වීමෙන් පසු තේ පානය අතරතුර බැසිල්, ප්‍රසන්න හා ලාන්සා අතර කථාබහ වුණේ මැතිවරණ ප්‍රතිඵල ගැනය.

“ප්‍රතිඵලය ගැනනම් මට කිසිම අවිශ්වාසයක් නෑ. අපි සියයට දෙසීයකින් මේ මැතිවරණය දිනනවා. හැබැයි කොවිඩ් නිසා ඡන්දය දාන්න යන එකේ අඩුවක් වෙන්න පුළුවන්.” බැසිල් කීවේය.

“හැබැයි සර්.ඡන්දය දාන්න නොයන්නේ යූ.එන්.පී එක. මොකද දෙගොල්ලන්ගේ රණ්ඩුව නිසා ඒ අය හුගක් කළකිරිලා ඉන්නේ. හුග දෙනෙක් අපි එක්ක එකතු වෙනවා.” ප්‍රසන්න කීවේය.

“ඒක ඇත්ත සර්.. මීගමුව, වත්තල එක්සත් ජාතික පක්ෂයේ අය අපිත් එක්ක එකතු වෙන්නේ බුරුතු පිටින්..”ලාන්සා කීවේය.

“ඒ අයව පුළුවන් තරම් එකතු කරගන්න. හැබැයි ඡන්දෙ දාට අපේ අයව පුළුවන් තරම් ඡන්දෙට යවන්න වැඩපිළිවෙලක් හදන්න.” බැසිල් ප්‍රසන්නට කීවේය.

“අපි නම් දැනටමත් ඒක හදලා තියෙන්නේ සර්..”ප්‍රසන්න කීවේය.

“ඔව්.ඔව්.. ප්‍රසන්න ඉතිං හැමවෙලාවෙම සුදානම් ශරිරයෙන් ඉන්නේ..”බැසිල් කීවේය.

ප‍්‍රසන්න බැසිල්ට නෝක්කඩු කියයි

පනින අයට ඡන්දය දෙන්න එපා යැයි බැසිල් මේ රැස්වීමේ දී කීවේය.

“සර් පණින අයට ඡන්දය දෙන්න එපා කියලා කියපු එක හොදයි. හැබැයි ඕක මම කියපුවාම තමයි කට්ටියට විස වෙන්නේ”. ප්‍රසන්න කීවේ නෝක්කාඩුවට මෙනි.

“ මම කියන ටෝන් එකයි. ඔයා කියන ටෝන් එකයි වෙනස්…. ඒකයි….ඒ ” බැසිල් සිනාසෙමින් කීවේය.

මහින්ද මිනුවන්ගොඩදී ප‍්‍රසන්නගේ චරිත සහතිකය ලියයි

අගමැති මහින්ද පසුගිය අගහරුවාදා මිනුවන්ගොඩට ආවේ හැමදා තමන් සමග හිටි ප්‍රසන්නට හයියක් වන්නටය. මිනුවන්ගොඩ සතිපොළේ පැවති මෙම රැස්වීමට ප්‍රසන්න සියලු අපේක්ෂකයන්ට පෞද්ගලිකවම ආරාධනය කර සැමට ආදර්ශයක් වෙමිනි. ප්‍රසන්න එදින උදෑසනම පෞද්ගලිකවම සියලු අපේක්ෂකයන්ට කථා කර සිය මිනුවන්ගොඩ රැස්වීමට එන්න යැයි ආරාධනය කළේය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු අපේක්ෂකයෝ ප්‍රසන්නගේ මේ රැස්විමට පැමිණ සිටියහ.

ඇමති ප්‍රසන්න මෙහි දී මහින්ද ගැන සංවේදී කථාවක් කළහ. මහින්ද තමන්ගෙන් පළිගත් මිනිස්සුන්ටත් සමාව දෙන බෝධිසත්ව ගුණයෙන් යුතු නායකයෙකු බව ප්‍රසන්න කීවේය.

“ඔබතුමාට ඔය බෝධිසත්ව ගුණය තිබුණාට මට නම් නෑ. ඔබතුමාටයි, පවුලේ අයටයි කෙණෙහිලිකම් කරපු අයට සමාව දෙන්න මට නම් බෑ.” ප්‍රසන්න කීවේය.

ප්‍රසන්නගේ මෙම කථාවට මහින්ද ප්‍රතිචාර දැක්වුයේ කථාව අවසන් කළ පැමිණි විට ඔහුගේ පිටට තට්ටුවක් දමමිනි. සිය කථාවේ දී ප්‍රසන්න ගැන මහින්ද කීවේ එකම දෙයකි.

“වෙන රැස්වීම් වලට ගියාම අපේක්ෂකයා ගැන කියන්න ඕනේ. මෙහෙ දී එහෙම ඕන නෑ. ප්‍රසන්න තමයි මෙහේ ඉන්න ජනප්‍රියම නායකයා. 2015 දි අපි පරාද වුණාම හුග දෙනෙක් අපිව දාලා යද්දී අපිව අතෑරලා යන්නේ නැතිව මා ලගම හිටිය කෙනෙක් තමයි ප්‍රසන්න. බැසිල් එක්ක පොහොට්ටුව හදන්න මහන්සි වුණෙත් ප්‍රසන්න”. මහින්ද කීවේය.

අගමැති මහින්ද පසුගිය බදාදා (28) සිටියේ ද ගම්පහය. ඔහු මුලින්ම ගියේ ගම්පහ කඩවත රැස්වීමට ය. කඩවත රැස්වීමෙන් පසු බියගම මාවරමණ්ඩිය සතිපොළ භූමියේ පැවති රැස්වීමට අගමැති මහින්ද ගියේ ප්‍රසන්නව ද සිය වාහනයේ නංවාගෙනය. බියගම රැස්වීම අතරතුර කාටත් නොකියා ප්‍රසන්න පිටව ගියේය. ඔහු ගියේ ගම්පහ ලක්ෂ්මන් ගුණවර්ධනගේ ගෙදරය. ලක්ෂ්මන්ගේ නිවසේ විශේෂ වැඩසටහනක් පැවැත්වෙමින් තිබුණි. ප්‍රසන්නගේ සහ ලක්ෂ්මන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ආශිර්වාද කිරීම සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් එහි වැඩම කර සිටියහ. ආශිර්වාද පූජාව අතරතුර එක්වරම අගමැති මහින්ද ලක්ෂ්මන්ගේ නිවසට ආවේය. මහින්ද දුටු ලක්ෂ්මන්ට ඇස් අදහගත නොහැකි විය. ඔහු පුදුමයෙන් මෙන් ප්‍රසන්න දෙස බැලුවේය. ප්‍රසන්න සිනාසුණා මිස මුකුත් ම කීවේ නැත.

“මට ප්‍රසන්න කිව්වා ලක්ෂ්මන්ගේ ගෙදර ජය පිරිතක් තියෙනවා කියලා. මට ඔයාගේ තාත්තා ලයනල්වත් මතක් වුණා. ඒ නිසා මම ඇවිල්ලා යන්න ආවා.” මහින්ද කීවේය. විනාඩි 10 නට ආසන්න කාලයක් මහින්ද ලක්ෂ්මන්ගේ නිවසේ ජය පිරිතට සහභාගී වුවේය. ජය පිරිත අවසානයේ ස්වාමීන් වහන්සේලා අගමැති මහින්දට ආශිර්වාද කළහ.

“මහ ඇමතිතුමා (ප්‍රසන්න) සර් මට මේ ගැන මුකුත් කිව්වෙත් නෑ. ඒත් මං බැලුවා මහින්ද මහත්තයා ගම්පහට ඇවිල්ලා තියෙද්දී ප්‍රසන්න මහත්තයා කොහොමද මේ වැඩේට ආවේ කියලා. මට ඒත් හිතුණා මොකක් හරි ඇති කියලා.”  ලක්ෂ්මන් ඔය අතර මහින්දට කීවේය.

“මෙයා කොහොමත් එහෙම තමයි කෙරෙන්න ඕන වැඩේ කරලා සද්ද නොකර ඉන්නවා.” මහින්ද සිනාසෙමින් කීවේය.

“ලයනල් ඉන්න කාලේ එයා රෙජිත් එක්ක හරි සමීපව වැඩ කළා. ඒ වගේම අපි එක්කත් හරි කිට්ටුවෙන් වැඩ කළා. ලක්ෂ්මන් ප්‍රසන්නත් එක්ක එකතු වෙලා තාත්තලාගේ දේශපාලනය ඉස්සරහට ගෙනියන එක හොදයි.” කියු මහින්ද අත්තනගල්ල රැස්වීමට පිටව ගියේ ය.

අනතුරුව මහින්ද ගියේ මිරීගම මහජන ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමටය. රැස්වීම අවසානයේ කෝකිලාගේ නිවසට යාමට නියමිතව තිබුණි. වේදිකාව බහිද්දී අගමැති මහින්දට පණිවිඩයක් ආවේයත පණිවිඩයෙන් කියවුණේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ දියණියගේ විවාහ උත්සවයට ප්‍රමාද බවය.

“ප්‍රසන්න මම යන්නද? මට පරක්කුයි. කොළඹ උත්සවයට යන්න ඕනේ.” මහින්ද ප්‍රසන්නට කීවේය. ප්‍රසන්න කෝකිලා දෙස බැලුවේ ය.

“සර් කමක් නෑ යන්න.”කෝකිලා ද කීවේය.

“එහෙනම් දිනලා පාර්ලිමේන්තු එන්න. මේ ගොල්ලෝ පොහොට්ටුව හදන්න මහන්සි වෙච්චි උදවිය. මේ වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ.” අගමැති මහින්ද කෝකිලා සහ අත්තනගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර දෙස බලමින් මහින්ද කීවේය.

“මම ඒකනේ සර් කියන්නේ පොහොට්ටුවේ ඉන්න පොහොට්ටුවේම අයට විතරක් ඡන්දෙ දෙන්න කියලා.” ප්‍රසන්න කිවේය.

“අපරාදේ කියන්න බෑ සර්. ප්‍රසන්න ඇමතිතුමා නම් අපි වෙනුවෙන් උපරිමයෙන්ම පෙනී ඉන්නවා.” ප්‍රියන්ත කීවේය.

“මුල අමතක කරන්නේ නැති එක හොද දේශපාලනඥයෙකුගේ ලක්ෂණයක්. ප්‍රසන්නට ඒකනේ හැමෝම ආදරේ.” අගමැති මහින්ද කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor