ලොකුලූනු වගාවේ ‘දඟර ලෙඩේ’ පාලන පිළිවෙත මෙන්න

වැස්සට සූදානම් නැතිව කල වගාව වඩාත් සංවේදියි

රෝගය එන්නේ ලූනුබීජ හරහා, පැතිරෙන්නේ සුළඟින් හෝ ජලයෙන්

වගාව මතුපිටින් ජලය ගලා නොයන සේ පාත්ති සැකසීම වැදගත්

පත්‍රවල රෝග ලක්ෂණ මුලදීම හඳුනා ගතහොත් ප්‍රතිකාර පහසුයි

“දඟර ලෙඩේ” අඩුම වගාවට පළමුව ප්‍රතිකාර කරන්න

අප්‍රේල් මස මුලදී පැමිණ දින දෙක තුනකින් නතරවෙන වැස්ස වියලි කලාපයේ ගොවීන් පොදුවේ හඳුන්වන්නේ  තල වැස්ස යනුවෙනි. එම වැස්සත් සමග ඔවුහු වහ වහා තල වපුරති. ඉන් ඔබ්බට පොහොර, කෘමිනාශක, වල්බෙහෙත් ආදිය කිසිවක අවශ්‍යතාවයක් නැත. ගොවියා යලිත් එදෙසට හැරෙන්නේ අස්වැන්න කැපීම ලංවෙන විටයි.

වියලි කලාපයට පොදුවූ මෙම ක්‍රියාකාරකම කලකට ඉහතදී දඹුල්ල ප්‍රදේශයේද යම් තරමකට ක්‍රියාත්මක වුවත්, අද දඹුල්ල ඊට වඩා වෙනස්ය. දඹුල්ල පමණක් නොව කිඹිස්ස, සීගිරිය, නාඋල පැත්තෙන් මාතලේට කිට්ටුවෙන තෙක්ම ගොවියන් ලොකුලූනු වගාවට දැන් නැඹුරු වී තිබේ. 2018 වසරේදී මෙරට තුල හෙක්ටයාර් 1448 ක වගා වපසරියක ලොකුලූනු වගාකර මෙට්‍රික් ටොන් 28,047 ක අස්වැන්නක් ලබා තිබුණු නමුත් පිටරටින් ගෙන්වූ ප්‍රමාණය ඊට වඩා බොහෝ වැඩිවිය.

රුපියල් කෝටි 1274 ක් වියදම්කර ලොකුලූනු මෙට්‍රික් ටොන් 246,237 ක් ආනයනය කිරීමට සිදුවීමෙන්ම පෙනෙන්නේ, දේශීය අවශ්‍යතාවයෙන් අප නිපදවන සොච්චම් ප්‍රමාණයේ තරමය. කෙසේ වෙතත් පසුගියදා රජය මගින් ප්‍රකාශයට පත්කරන ලද අතිරේකබෝග 16 ක ප්‍රවර්ධන වැඩසටහන යටතට ලොකුලූනු ද ඇතුලත් කර තිබීමෙන් පෙනෙන්නේ උපරිම ප්‍රමාණයකින් ලොකුලූනු  නිපදවමින් ආනයනය හැකි පමණ අවම කිරීමට රටට ඇති අභිලාෂයයි.

ඇන්ත්‍රැක්නෝස් (Anthracnose) යනු පහසුවෙන් මේ වගාව වනසා දැමිය හැකි දිලීර රෝගයකි. කොලෙටොට්‍රිකම් (Colletotrichum) නමැති දිලීරය මගින් මෙය වැළඳෙන අතර, ලපටි අවස්ථාවේදී සිට ඕනෑම මොහොතකදී මෙය අසාදනය වී ඉතා වේගයෙන් පැතිරී යමින් මුළු වගාවම වනසා දැමීමට දිලීරය සමත්ය. දිලීර බීජානු නමැති ඇසට නොපෙනෙන අංශූන් පරිසරයේ විසිරීයාම සුළඟ මගින් මෙන්ම ජලය ඔස්සේද සිදුවිය හැකි නිසා වගාකරුගේ සැලකිලිමත්භාවය අත්‍යවශ්‍ය සාධකයක් වේ.

එසේ නමුත් ලොකුලූනු වගාකරන කාලයට සාමාන්‍යයෙන් පවතින වියලි කාලගුණය නිසා ජලයෙන් රෝගය පැතිරීම වැලක්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති උපදෙස් බොහෝ විට ගොවීහු අමතක කරති. වැසි නොවැටෙන්නේ නම් වගාවට එතරම් හානියක් වන්නේ නැති බවද සැබෑය. එහෙත් මෙම යල කන්නය තුලදී විටින් විට වැසි ලැබුණි. එය තවමත් පවතින්නේය. අමතක කර දැමූ උපදෙස් මතක් කර ගන්නටවත් ගොවීන්ට අවස්ථාවක් ලැබුනේ නැත. “දඟරලෙඩේ”, “ඩිස්කෝ රෝගය” යනාදී නම් වලින් ගොවීන් හඳුන්වන ඇන්ත්‍රැක්නෝස් රෝගය මගින් මේ වනවිට බොහොමයක් ලූනු වගා සහමුලින්ම වනසා අවසානය.

“ජලය මගින් රෝගය පැතිරීම වැලක්වීමට ක්‍රමෝපායයන් අනුගමනය කර නොතිබීම තමයි මෙවර තිබූ ප්‍රධාන අඩුපාඩුව. වැස්ස වැඩිවීමත් සමග රෝගය පැතිරුනා. වතුරෙන් පැතිරෙනවිට තමයි මුලින්ම පස මට්ටමේ තිබෙන පත්‍ර පාදයට රෝගය වැළඳෙන්නේ. එතනින් පත්‍ර ඇඹරෙනවා. දඟර ගැහෙනවා. දිලීරය එතැන් සිට ඉහලට එනවාට වඩා පහසුවෙන් ලූනු බල්බය කරා ගොස් එය කුණුවෙනවා. රෝගයට බෙහෙත් දෙන්නවත් වෙලාවක් නොතිබෙන්න පුළුවන්.”

කාලගුණයේ ඇතිවූ හදිසි වෙනස්කම් හමුවේ මෙවර සිදුවූ විනාශයට හේතුව එලෙස පැහැදිලි කෙරුවේ මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ව්‍යාධි විද්‍යාඥ මේනකා ප්‍රනාන්දු මෙනෙවියයි. තවාන අවස්ථාවේදී වුවද පසෙහි ජලය හරහා මෙම අසාදනය සිදුවී කුඩා පැලවල වුවත් ‘දඟර ගැසීම’ පෙන්විය හැකිබව ඇය සඳහන් කරයි.

සාමාන්‍ය තත්වයන් යටතේදී නම් රෝග ලක්ෂණ පළමුව පෙන්වන්නේ ලූනු ශාකයේ පත්‍ර වලය. ගොවි මහතා සැලකිලිමත් නම් එය හඳුනාගැනීමද අපහසු නොවේ. කහ හෝ ලා කොළ පැහැ තිතක් ලෙස රෝගය ප්‍රකාශ වෙත්දී සුදුසු දිලීර නාශකයක් යෙදීමෙන් එය පාලනය කල හැකිවේ. එහෙත් මතුපිට ජලය, පොදුවේ ලියැදි හරහා යන්නේනම් ඒ සමග යන බීජානු පත්‍ර පාදයට ආසාදනය වී ඉහත කී දඟර තත්වය ඇතිකරයි.

“මේ නිසා තමයි අපි උපදෙස් දෙන්නේ හැම තිස්සෙම පාත්ති උස්සලා හදන්න. කානු ගැඹුර වැඩි කරන්න. ජලවහනය කානු ඔස්සේ හොඳින් සිදුවෙන්න ඕනෑ. වියලි තත්වයකදී බාහිරින් ජල සම්පාදනය කෙරුවත් කෙලින්ම පාත්තියට නොයොදා, කානු වලට ජලය එවලා, පාත්තියට උරාගන්න සලස්වන්න ඕනෑ. එතකොට එක පාත්තියක රෝග කාරකය තිබුනත් අනෙක් තැන්වලට පැතිරෙන්නේ නෑ. 80% කට වඩා රෝගය පැතුරුන වගාවලට ප්‍රතිකාර කරලා වැඩක් නෑ. සියලුම පැල ගලවලා පුළුස්සා දමන්න හෝ ලූනු වගා නොකරන පෙදෙසකට ගිහින් දමන්න ඕනෑ. අවධානය වැඩියෙන් යොමුකරලා බෙහෙත් කරන්න ඕනෑ රෝගය අඩුවෙන් තියෙන තැන්වලට. එවැනි වගා බේරා ගැනීම පහසුයි. තැන තැන තියෙන දඟර පැල ගලවලා දමලා, ප්‍රබල දිලීර නාශකයක් යෙදීම කල හැකියි.”

එසේ පවසන ව්‍යාධි විද්‍යාඥවරිය ගොවීන් විසින් සිදුකරන තවත් අකටයුත්තක් ගැන සඳහන් කිරීමටද අමතක නොකලාය.

“අපි නිර්දේශ කරන්නේ යූරියා පොහොර දැමීම අවස්ථා තුනකින් කරන්නයි. සමහරු එකපාරටම මේ ටික දමනවා. ගස වේගයෙන් වැඩිලා මාංසල වෙනවා. එහෙම තැනකට ආසාදනය වීම පහසුයි. ඒ නිසා සති 6 ක් පසුකල වගාවකට නම් කිසිසේත්ම යූරියා දැමිය යුතු නෑ. අනිත් දේ තමයි ලපටි ගස් වලටත් රෝගය වැළඳීම පහසුයි. අපි උපදෙස් දෙන්නේ මැයි මාසේ මැදට පෙරවත් ලූනු හිටවන්න. එහෙම උනා නම් මේ වෙන විට වගාවට මාස දෙක පැනලා. ගස් ලොකුයි. රෝගයට ඔරොත්තු දෙනවා. මෙවර වැඩියෙන්ම හානි වෙලා තිබුනේ ප්‍රමාද වෙලා වගාව ඇරඹූ ගොවීන්ගේ, දැනටත් ලපටිව තිබෙන වගාවලට.”

වගාවට රෝගය වැළඳුනු විට දිලීර නාශක යෙදීමෙන් පමණක් රෝගය පාලනය කිරීම අපහසු බව ඇය සඳහන් කරයි. මූලිකව කෙරෙන බීජ ප්‍රතිකාරකයේ සිට රසායනික පාලනයත්, බිම් සැකසීමේදී සිට කලයුතු ශෂ්‍ය විද්‍යාත්මක කරුනුත් එකාබද්ධව අනුගමනය කිරීම මෙහිදී වැදගත් වේ. ඉදිරියේදී හෝ මෙවන් ආපදාවක් මගහැරීමට භාවිතා කලයුතු නිර්දේශිත දිලීර නාශක මතු ප්‍රයෝජනය සඳහා අප ඉදිරිපත් කරමු. තවත් තොරතුරු අවශ්‍යතාවයක් ඇතොත් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරයාගෙන් දැනගැනීමට හැකිය.

සිටුවීමට පෙර බීජ ප්‍රතිකාරකය :

කැප්ටාන් 50% තෙත් කුඩු – බීජ කිලෝග්‍රෑමයට ග්‍රෑම් 6

කැප්ටාන් 80% තෙත් කුඩු – බීජ කිලෝග්‍රෑමයට ග්‍රෑම් 4

තිරාම් 80% තෙත් කුඩු – බීජ කිලෝග්‍රෑමයට ග්‍රෑම් 5

තයෝෆනේට් මීතයිල් 50% තෙත් කුඩු සහ තිරාම් 30% තෙත් කුඩු – බීජ කිලෝග්‍රෑමයට ග්‍රෑම් 4

බල්බ සහ බීජපැල දිලීර නාශක ද්‍රාවනයක ගිල්වා තබා සිටුවීම:

තයෝෆනේට් මීතයිල් 70% තෙත් කුඩු- ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක

තිරාම් 80% තෙත් කුඩු- ග්‍රෑම් 15 ක් ජලය ලීටර් 10 ක

තයෝෆනේට් මීතයිල් 50% තෙත් කුඩු සහ – තිරාම් 30% තෙත් කුඩු – ග්‍රෑම් 18 ක් ජලය ලීටර් 10ක

රෝගී ලක්ෂණ ඇතිවිට වගාවට යෙදීමට නිර්දේශිත දිලීර නාශක

මැන්කොසෙබ් 80% තෙත් කුඩු – ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක

ක්ලෝරෝතැලොනිල් 500 g / 1SC  – මිලිලීටර් 15 ක් ජලය ලීටර් 10 ක

ප්‍රොපිනෙබ් 70% තෙත් කුඩු – ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක

තයෝෆනේට් මීතයිල් 70% තෙත් කුඩු – ග්‍රෑම් 6 ක් ජලය ලීටර් 10 ක

ෆ්ලුසිනාම් 500 g / 1SC  – මිලිලීටර් 10 ක් ජලය ලීටර් 10 ක

පයිරක්ලොස්ටොබින් සහ මෙට්රාම් 60WG  – ග්‍රෑම් 20 ක් ජලය ලීටර් 10 ක

ටිබියුකොනසෝල් සහ ට්‍රයිෆ්ලොක්සිට්‍රොබින් 75WP  – ග්‍රෑම් 6 ක් ජලය ලීටර් 10 ක

ඇසොක්සිස්ට්‍රොබින් 250g/1SC  – ග්‍රෑම් 10 ක් ජලය ලීටර් 10 ක

මෙම දිලීර නාශක අතරින් තෝරාගන්නා වර්ගය සතියකට හෝ දින 10 කට වරක් වගාවට යෙදීම සෑහේ. දිලීර නාශක වර්ග රැසක් ඇති බැවින් වර්ග මාරුකර යෙදීමද හොඳ ප්‍රතිපල ගෙනදෙන පුරුද්දකි.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor