කෘෂිකාර්මික සංවර්ධනයේ පර්යේෂණ සහ සංවර්ධන ආයෝජන

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය 7.8%ක් වන නමුත් එම ක්ෂේත්‍රයෙන් ජීවනෝපාය සහ සුරක්ෂිතතාවය සපයා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් 25%ක් වේ. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2019).

රසිකා විජේසිංහ – පර්යේෂණ නිලධාරිනී – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

කෘෂිකර්මය යනු ව්‍යවහාරික විද්‍යාවක් හෙවත් ප්‍රායෝගික විද්‍යාවක් බැවින් එම ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන පර්යේෂණ ඒවායේ ප්‍රතිඵල ගොවීන් හෝ පාරිභෝගිකයන් හෝ වෙනත් අදාළ පාර්ශ්වකරුවන් වෙත සම්ප්‍රේෂණය නොවනතාක් ඒවායෙහි වටිනාකමක් නොමැත. එබැවින් කෘෂිකාර්මික පර්යේෂණයන්හි ඉලක්කගොවිතැන කේන්ද්‍ර කර ගැනීමේ සිට ගොවියා කේන්ද්‍ර කර ගැනීම දක්වා පරිවර්තනය විය යුතුය.

මානව සංහතියේ ප්‍රධානම ආහාර සැපයුම්කරු ලෙස කෘෂිකර්මාන්තයේ අනිවාර්ය වගකීම වනුයේ, සම්පත්හි පවතින සීමාකාරී බව හමුවේ ක්ෂේත්‍රයේ පවතින නව තාක්ෂණය මත යැපෙමින් සම්පූර්ණ ජනගහනය පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් සහ ගුණාත්මක බවින් යුත් ආහාර නිෂ්පාදනය කිරීමයි. ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෑත කාලීන ඇස්තමේන්තුවලට අනුව සෑම පුද්ගලයන් අට දෙනකුගෙන් එක් අයකු දීර්ඝ කාලීන කුසගින්නෙන් ද, බිලියන දෙකක ජනතාව ක්ෂුද්‍ර පෝෂක ඌණතාවෙන් ද පෙළෙති. ජනගහන වර්ධනයත් සමඟ වඩාත් තීව්‍ර වන මෙවැනි ගැටලු නිරාකරණය කිරීමේ දී ආහාරවල සුලබතාවය වැඩි කිරීම අත්‍යවශ්‍යය.

ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම ප්‍රමාණවත් තරම් ආහාර ඇති බව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික ඵලදායීතාවය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය සාධකයකි. අඛණ්ඩව වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්ෂය වෙමින් පවතින සම්පත් භාවිතයෙන් ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ දී පර්යේෂණ සහ සංවර්ධන අංශයට ඉමහත් කාර්යභාරයක් පැවරෙයි. එමෙන්ම මේ සඳහා අවශ්‍ය නව තාක්ෂණය ජනනය කිරීමේ දී ඉලක්කගත පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහනක් පැවතීම අත්‍යවශ්‍යය. එබැවින්, කෘෂි නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම කෙරෙහි ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන අංශයේ සිදු කරනු ලබන ආයෝජන ප්‍රබල සාධක ලෙස ක්‍රියා කරයි.

එකිනෙකට වෙනස් විවිධාකාර බෝග ගණනාවක් වගා කිරීමේ ඉහළ විභවතාවක් ශ්‍රී ලංකාව සතුව පැවතියදීත් කෘෂි ක්ෂේත්‍රයේ වර්ධනය සහ පුළුල් වීම අවහිර කිරීමට සාධක ගණනාවක් බලපායි. අඩු ඵලදායීතාවය, ඉහළ නිෂ්පාදන වියදම, අලෙවිකරණ ගැටලු, ගොවිතැන් කටයුතු සඳහා වැඩි දියුණු කරන ලද නව තාක්ෂණය නොමැති වීම, සම්පත් හායනය, ස්වභාවික විපත් ආදී ගැටලු ඒ අතර, ප්‍රධාන වේ. තව ද ආර්ථිකයට මුදා හැරෙන කෘෂි නිමැවුම සහ කෘෂිකර්මාන්තය මත යැපෙන පුද්ගලයන් සංඛ්‍යාව අතර, ප්‍රබල නොගැළපීමක් දැකිය හැකි වේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය 7.8%ක් වන නමුත් එම ක්ෂේත්‍රයෙන් ජීවනෝපාය සහ සුරක්ෂිතතාවය සපයා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය රටේ මුළු ජනගහනයෙන් 25%ක් වේ. (ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, 2019).

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන අංශය පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම ඉහත කරුණු මඟින් මැනවින් අවධාරණය කෙරේ. කෘෂි ක්ෂේත්‍රය මඟින් ජනගහනයේ සැලකිය යුතු කොටසකට ආර්ථික පිටුවහලක් සපයනු ලබද්දීත් එම අංශයේ ඵලදායීතාව අනෙකුත් අංශ හා සැසඳීමේ දී අවම මට්ටමක පවතී. එබැවින් අංශයේ ක්‍රියාකාරීත්වය අවම කිරීමට බලපාන ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමේ දී පර්යේෂණ සහ සංවර්ධන අංශයේ කාර්යභාරය අති මහත්ය.

මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් සහ ජාතික ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අවධානය යොමු කරමින් රජය විසින් සෑම වසරකම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාම දිරි ගැන්වීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලුම අංශයන්හි පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලට සාපේක්ෂව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ අගයක් ගනු ලබයි. එමෙන්ම පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම්හි නියැළෙන විද්‍යාඥයන්ගේ පූර්ණකාලීන ශ්‍රම දායකත්වය සැලකීමේදී කෘෂි ක්ෂේත්‍රයේ එම අගය අනෙක් අංශවලට වඩා ඉහළ මට්ටමක පවතී. එයින් පෙනී යන්නේ එම අංශයේ ඇති වැදගත්කම සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම්වලට දායක විය හැකි විභවතාවය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.

මෙහිදී සැලකිය යුතු විශේෂ කාරණයක් වනුයේ බොහෝ පර්යේෂණ අධ්‍යයනයන් හි නිමැවුම් හෝ ප්‍රතිඵල ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ප්‍රමාණවත් පරිදි ළඟා නොවීම සහ ප්‍රායෝගිකව භාවිත නොවීමයි. පර්යේෂණයන්හි සොයා ගැනීම් අදාළ පාර්ශ්වකරුවන් අතර, නිසි ආකාරව ව්‍යාප්ත නොවීම ක්ෂේත්‍රයේ වර්ධනය අඩාල වීමට හේතු වන ප්‍රධාන සාධකයකි. මෙවැනි පසුබිමක පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියේ කාර්යසාධනය ඉහළ නැංවීමෙන් අදාළ ප්‍රතිලාභ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සහ කෘෂි ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමේ අරමුණින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය මඟින් “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනයන් පිළිබඳ විමර්ශනය” යන මැයෙන් අධ්‍යයනයක් සිදු කරන ලදී. මෙම අධ්‍යයනය යටතේ කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් ජාතික කෘෂිකාර්මික පර්යේෂණ පද්ධතියේ තෝරා ගත් ආයතන කිහිපයක පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් සම්බන්ධව විමර්ශනයක් සිදු කරන ලදී.

කෘෂිකර්මය යනු ව්‍යවහාරික විද්‍යාවක් හෙවත් ප්‍රායෝගික විද්‍යාවක් බැවින් එම ක්ෂේත්‍රයේ සිදු කරනු ලබන පර්යේෂණ ඒවායේ ප්‍රතිඵල ගොවීන් හෝ පාරිභෝගිකයන් හෝ වෙනත් අදාළ පාර්ශ්වකරුවන් වෙත සම්ප්‍රේෂණය නොවනතාක් ඒවායෙහි වටිනාකමක් නොමැත. එබැවින් කෘෂිකාර්මික පර්යේෂණයන්හි ඉලක්ක ගොවිතැන කේන්ද්‍ර කරගැනීමේ සිට ගොවියා කේන්ද්‍ර කර ගැනීම දක්වා පරිවර්තනය විය යුතුය. එසේම පර්යේෂණ සහ ව්‍යාප්ති කටයුතුවල නියැළී සිටින පුද්ගලයන් විසින් පර්යේෂණ සහ සංවර්ධන මැදිහත්වීම්වල දී ගොවීන් යනු එම ක්‍රියාවලියේ අනිවාර්ය සහ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

පර්යේෂණ සහ ව්‍යාප්ති සේවාවන්හි කාර්ය සබදතාව වඩාත් ශක්තිමත් කිරීම ද වැදගත්ය. මෙහි දී ඒ එක් එක් ආයතනයන්හි විශේෂිත වූ කාර්යභාරයන් සහ වගකීම් නිවැ‍රැදිව හඳුනා ගනිමින් එම ආයතන එක් පද්ධතියක් ලෙස ඒකාබද්ධ කිරීම මඟින් කෘෂිකාර්මික අංශයේ සංවර්ධනයේ අරමුණු සාක්ෂාත් කළ යුතු වේ. පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන්වල ප්‍රතිලාභ ගොවි ප්‍රජාව වෙත සම්ප්‍රේෂණය වීම තහවුරු කිරීමට ද එය පිටිවහලක් වේ. දීර්ඝ කාලීනව සලකා බැලීමේ දී මෙම අංශ හුදෙකලාව කටයුතු කිරීම පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනයන්හි නියම ප්‍රතිලාභ අත්පත් කර ගැනීමට සුබදායී වාතාවරණයක් ඇති නොකරයි.

පර්යේෂණ නිමැවුම්වල සෘජු ප්‍රතිලාභීන් ගොවියන් වන බැවින් පර්යේෂණයෙන් ජනනය කරනු ලබන නව දැනුම ගොවි ප්‍රජාව වෙත ඵලදායී ලෙස සම්ප්‍රේෂණය කිරීම මෙන්ම ඒ පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිපෝෂණය ලබා ගැනීමේ ක්‍රියාවලියක් සැකසීම ද ඉතා වැදගත්ය. එය ගොවි ප්‍රජාවගේ සක්‍රීය සහභාගීත්වයක් සහිතව ප්‍රමුඛතා හඳුනා ගැනීම මෙන්ම ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්හි අදාළතාව වැඩි දියුණු කර ගැනීමට පිටිවහලකි.

බොහෝ අවස්ථාවන්හි පෙන්වා දී ඇති පරිදි දුර්වල පර්යේෂණ ප්‍රමුඛතාකරණය ක්ෂේත්‍රයේ පවතින කාලීන සහ දැවෙන ගැටලුවලට නිසි පිළියම් සෙවීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය අඩපණ කරයි. එබැවින්, ජාතික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව පර්යේෂණ ප්‍රමුඛතාගත කිරීම සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ යුතු වෙයි.

මෙය කළ යුත්තේ, පර්යේෂණ විධිමත් මෙන්ම වඩාත් ඉක්මනින් පිළියම් යෙදිය යුතු සහ ක්ෂේත්‍රයේ පවතින වඩාත්ම අවධානය යොමු කළ යුතු ගැටලු පළමුව හඳුනා ගැනීම මඟිනි. පර්යේෂණ ප්‍රමුඛතාකරණයෙන් ප්‍රායෝගික සහ ගැළපෙන පිළියම් සොයාගැනීම මඟින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින ගැටලුකාරී තත්ත්ව අවම කර ගනිමින් එහි සංවර්ධනය කෙරෙහි පර්යේෂණ මැදිහත්වීම්වල දායකත්වය වඩාත් ඵලදායී කර ගත හැකිය. විශේෂයෙන් පර්යේෂණ සහ සංවර්ධන අංශයට රජයේ අයවැය වෙන් කිරීමෙන් සැලකිය යුතු කොටසක් ලැබෙන බැවින් පර්යේෂණ ප්‍රමුඛතාකරණය එම ආයෝජනයන්හි බලපෑම ඉහළ නැංවීමට උපකාරී වෙයි. මේ ආකාරයෙන් සිදු කරනු ලබන පර්යේෂණයන්හි ප්‍රතිඵල ක්ෂේත්‍රයේ පවතින සහ මතු වෙමින් පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් ඊට අදාළ පිළියම් සහිතව සංවර්ධන අවශ්‍යතා ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන්ට නිසි මඟ පෙන්වනු ලබයි.

සංවර්ධන ක්‍රියාවලිය අඩපණ කිරීමට බලපාන තවත් ප්‍රධානම සාධකයක් වනුයේ පර්යේෂණ සොයා ගැනීම් අදාළ පාර්ශ්ව වෙත නියමිත කාලයේදී එනම් අවශ්‍ය අවස්ථාවේදී සම්ප්‍රේෂණය නොවීමයි. මීට පිළියමක් ලෙස පර්යේෂණ සොයා ගැනීම් ඵලදායි ලෙස භාවිත කිරීම, තහවුරු වීම සඳහා පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර, ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කිරීමට හැකි විධිමත් ක්‍රමවේදයක් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියක් ඇති කළ යුතුය. ගෝලීය මට්ටමේ දී වුව ද පර්යේෂණ සොයා ගැනීම් ප්‍රතිපත්ති සම්පාදකයන් අතට පත් කිරීම සහ ඒවා ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම ප්‍රබල අභියෝගයකි. එබැවින් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලියෙන් කෘෂිකාර්මික සංවර්ධනය ළඟා කර ගැනීමට නම් ප්‍රතිපත්ති, සංවර්ධන ප්‍රමුඛතා සහ පර්යේෂණ අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යය.

ඉහත සඳහන් ඉලක්කයන් සපුරා ගැනීමේ ක්‍රියාවලියේදී පර්යේෂණ අවධියේ සිට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව දක්වා වන සම්පූර්ණ ක්‍රියාවලියට සහභාගී වන සියලුම පාර්ශ්වකරුවන් එකිනෙකා අතර මනා සම්බන්ධතාවයක් ඇති කිරීම අවශ්‍යය. පර්යේෂණයන්ගේ අවසාන සහ මූලිකම අරමුණ වනුයේ පර්යේෂණ මඟින් ජනනය වන දැනුම සහ ප්‍රතිඵල සමාජයේ උන්නතිය සඳහා යෙදවීමයි. එවැනි ප්‍රයත්නයක් සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වනුයේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මැදිහත්වීම් සමඟ ගොවියා සහ පාරිභෝගිකයා යන ප්‍රතිලාභීන්ගේ සැබෑ ජීවිතයේ අභිවෘද්ධිය සඳහා පර්යේෂණ ප්‍රතිඵල භාවිත කිරීමයි. එමඟින් ගම්‍ය වනුයේ පර්යේෂණ සහ ප්‍රතිපත්ති සැකසීම අතර, ඉතා කාර්යක්ෂම සහ අර්ථාන්විත සම්බන්ධතාවයක් පැවතීම අත්‍යවශ්‍ය බවයි.

රසිකා විජේසිංහ – පර්යේෂණ නිලධාරිනී – හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය

2020 අගෝස්තු 05 වැනි දින දිනමිණ ඊ පුවත්පතින් කළ ඍජු උපුටා ගැනීමකි

Recommended For You

About the Author: Editor