ගොවිබිමට නව දැනුම: ‘වැල් බෝගවල කෝටු හිඟයට’ සාර්ථක විසදුමක් මෙන්න !

පසුගිය මාර්තු – අප්‍රේල් මාසවල උමතුවක් / රැල්ලක් සේ ආරම්භ වූ ගෙවතු වගාව මේ වන විටත් යම් තරමකින් සිදුවන බවක් පේනවා. වත්තේ ඉඩ තිබෙන තැනක මෑ වැලක් කිහිපයක්, කරවිල වැලක්, දඹල වැලක්, පතෝල සහ වැටකොළු වැලක් වවා ගත්ත උදවිය අදත් ඒවායින් අස්වැන්න නෙළා ගන්නවා. ඒ බොහෝ දෙනෙක් තුළ තමන් කළ දේ ගැන තිබෙන්නේ අසීමිත තෘප්තියක්. ඒක වචනවලින් කියා නිම කරන්න බැහැ.

මේ අතර ගෙවතු වගාවට යොමු වුණ නාගරිකයින් සහ අර්ධ නාගරිකයින් මුහුණ දුන්න බරපතළ ප්‍රශ්නයක් වුණේ වැල් බෝග වැඩෙන විට ඒවාට ආධාර කෝටු සොයා ගැනීම. නාගරිකයින්ට වගේම අර්ධ නාගරිකයින්ටත්, බොහෝ විට ග්‍රාමීය ජනතාවටත් මේක බරපතළ ගැටලුවක් වුණා.

ඒත් වැල් බෝගවලට ආධාරක කෝටු හිඟය ගෙවතු වගාවට වඩා බරපතළ ලෙස වාණිජ බෝගවලට බලපා තිබෙන බවක් පසුගිය දා මාධ්‍ය වාර්තා කළා.

ලංකාවට වැඩියෙන්ම එළවළු ලබා දෙන මාතලේ දිස්ත්‍රික්කයේ ‘අඹන ගොවි සමාජයේ‘ ගොවීන්ගෙන් තමයි මේ කතාව මාධ්‍යවලට ආවේ.

කොහොම වුණත් මේ කෝටු හිඟය අද ඊයේ සිට නොව දීර්ඝ කාලයක් තිස්සේ ගොවීන් මුහුණ දුන් ගැටලුවක් නිසා කෘෂිකර්ම පර්යේෂකයෝ මේ ගැන කාලයක් තිස්සේ උනන්දු වුණා. විකල්ප සොයා ගියා. අත්හදා බැලීම් කළා. අවසානයේ ඔවුන් ඒ සදහා ඵලදායී විසදුමක් සොයා ගත්තා. ආයතනයේ පොත් කිහිපයකට හෝ ආයතනයේ පොත් රාක්කවලට සීමා නොවූ මේ නම දැනුම ඔවුන් ගොවීන් සමග බෙදා ගත්තා.

වැල් බෝගවල ආධාර කෝටු හිඟයිලු ? ගැටලුවට අඩු වියදම් – හිතකාමී සරල විසදුම මෙන්න

මාතලේ නාඋල ‘අඹන ගොවි සංවිධානයේ‘ පණිවුඩක් ඒ විදිහට දාලා තිබුණේ පසුගිය මාසේ 30 වැනිදා පත්තරේක. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩියෙන්ම දෛනිකව එළවළු සපයන අඹන වෙල්යායේ වපසරිය අක්කර 500කට වැඩියි.

මෑ කරල්, පතෝල, වැටකොළු, බෝංචි, දඹල, කරවිල වැල් යාය පුරාම…

මේ හැම පැළයකටම කෝටුව ගානේ හිටවන්න ගිහින් තමයි ගොවීන්ට ප්‍රශ්නේ බරපතළකම තේරිලා තියෙන්නේ. ඒ අය ඉක්මනින් විකල්පයක් ඉල්ලනවා.

වාරියපොළ ‘උපයෝගීතා පර්යේෂණ ඒකකයේ ‘සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්.එන්. ජයවර්ධන මහතා මේ වෙනුවෙන් පර්යේෂණයකුත් කරලා ප්‍රතිඵලත් අරගෙගන ඉවරලු.

මෑ බෝගය සැලකුවහොත් පැළ අතර පරතරය සෙන්ටිමීටර් 90 /30 යිනේ. හැම පැළයකටම ඉන්න ගානේ හිටවන්නේ නැතිව තැනින් තැන පේලියට ඉනි හිටවන්නයි ඔහුගේ යෝජනාව. ඊට පස්සේ හරස් අතට ඉහළින් ඉනි බදිනවා, මේවාට සම්බන්ධ වෙන්න.

හරස් අතට ලුනු හෝ කම්බි අදින්නත් පුළුවන්. ඒ හරස් සම්බන්ධකයේ සිට පැළය වෙතට රෙදි පටියක්, කොහු ලනුවක් අඩු කරමින් ගෝනි නූල් පොටක් දෙකක් වුණත් අරං පැළය මුල හිටවපු කුඩා ලී කැබැල්ලකට ගැටගහන්න ඕනෑ.

ඉන්නක් හිටෙව්වොත් ඉහළ යන වැල ඒක දිගේ ඔතන්නත් වෙනවා. දැන් ඒ වැඩෙත් නැහැ. රෙදි පටිය දිගේ වැල එතීගෙන ඉහළ නගින බවයි ඔහු කියන්නේ.

මේ ගැන වැඩි විස්තර තවත් දැන ගන්න කැමති නම් 071 4431819 දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.

මේ ආකාරයට වැල් බෝගවලට ආධාරක කෝටු වෙනුවට අලුත් විකල්පයට ගියොත් කැලේ කොලේ ගහ කොළත් ඉතුරු වෙනවා. පන්දලම් වියදම 30-40%කින් විතර අඩුකර ගන්නත් පුළුවන්. එහෙම කළොත් ගොවියාට… පාරිභෝගිකයාට විතරක් නොවෙයි පරිසරයටත් සතුටුයි.

සැකසුම – සනත් එම් බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදනය මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය.

Recommended For You

About the Author: Editor