ගෝඨාභය – මහින්ද ආණ්ඩුව යටතේ ‘රටට එරෙහි කුමන්ත්‍රණවලට’ කිසිදු ඉඩක් නෑ – ඇමති ප්‍රසන්න

මේ මැතිවරණයෙන් යහපාලනය සමග සිටි බොහෝ අය ප්‍රතික්ෂේප වුණා. යහපාලන ආණ්ඩුව කරපු එජාපය, ශ්‍රිලනිපය දෙකම අද දියවෙලා ගිහින්. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබද ව ලොකු විශ්වාසයක් තියා තිබෙනවා.

ගෝඨාභය – මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය රට ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ පහුගිය (05) වෙනිදා මහ මැතිවරණයෙන් රටට සතුරු සියළු බලවේග අන්ත පරාජයක් ලැබූ බවයි. ඒ ඵෙතිහාසික ජයග්‍රහණයක් බව පවසන රණතුංග මහතා ගෝඨාභය –  මහින්ද නව රජය යටතේ තව දුරටත් රටට එරෙහි කුමන්ත්‍රණ වලට කිසිදු ඉඩක් නැතැයි ද අවධාරණය කරයි.

 මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ප්‍රදේශයේ පැවති පිළිගැනීම් උත්සවයකින් අනතුරුව ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රණතුංග මහතා මෙසේ ද කීවේය.

“මේ මැතිවරණ ජයග්‍රහණය ඵෙතිහාසිකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද ලක්ෂ 05 ක් ලබාදෙන ලෙසත්, දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධූර 13 ක් පත් කර ගන්නා ලෙසත් මම ජනතාවගෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම ජනතාව පිළිගෙන තියෙනවා. මම දිස්ත්‍රික් නායකයා ලෙස පොහොට්ටුවේ කණ්ඩායම දිනවන්නයි කටයුතු කළේ.  ඒ ඉලක්කය ජයගැනීමට හැකි වීම ගැන මට ඇත්තේ විශාල සතුටක්. මම 2015 දී මහින්ද වෙනුවෙන් එළියට බැහැලා ජනතාවට පොරොන්දුවක් දුන්නා. ඒ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්ද නැවත රටේ නායකත්වයට ගේනවා කියලා. මහජන ඡන්දයකින් අද මහින්ද මහත්තයා නැවත මේ රටේ අගමැති බවට පත්වූණා. එතුමා තමයි මෑත ඉතිහාසයේ මේ රටේ බිහිවුණු ජනමූල නායකයා. ඒ නිසා ඒ ගැනත් මම අතිශය සතුටු වෙනවා.

මේ මැතිවරණයෙන් යහපාලනය සමග සිටි බොහෝ අය ප්‍රතික්ෂේප වුණා. යහපාලන ආණ්ඩුව කරපු එජාපය, ශ්‍රිලනිපය දෙකම අද දියවෙලා ගිහින්. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබද ව ලොකු විශ්වාසයක් තියා තිබෙනවා. මේ මහ මැතිවරණයෙන් පසුගිය ජනාධිපතිවරණයේ දි පොහොට්ටුව ලැබු ජනවරම තව දුරටත් තහවුරු වුණා.

 දැන් මැතිවරණය ඉවරයි. මැතිවරණ සටන අවසන්. දැන් තියෙන්නේ රට සංවර්ධන කිරීමේ යුද්ධයි. දශක තුනක් පැවති ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරපු මහින්ද – ගෝඨා සුසංයෝගයට මේක ලොකු දෙයක් නෙමෙයි. පහුගිය යහපාලන ආණ්ඩුව විසින් ගෙන ආ ජනතා විරෝධි රටට එරෙහි අණපණත් ඉතා කඩිනමින් අහෝසි කිරීම අපේ රජයේ එක් ප්‍රමුඛතම කාර්යයක්. ඒ සදහා තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් රටේ ජනතාව අප වෙත ලබා දී තිබෙනවා. මේ ජනවරමට අපි කිසිසේත් පිටුපාන්නේ නෑ. අපි මේ ජනතා විශ්වාසය දිවිහිමියෙන් රකිනවා. ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන, රට සංවර්ධනය කරනු ලබන නව යුගයක් අපි ආරම්භ කරනවා. මැතිවරණ ඉවරයි. මේ එළඹ ඇත්තේ වැඩ කරන කාලයයි. ඒ වෙනුවෙන් එක්වන්න යැයි අපි ඔබට ආරාධනය කරනවා.”

Recommended For You

About the Author: Editor