ජාතික හෙළ උරුමයේ ‘මළගමත් සමග චම්පිකගේ සිහිනයත්’ බොදවෙයි !

Political Hot Plate: තුෂාර වල්ගම

මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ නින්දා සහගත පරාජය සමග අවධානයට ලක්විය යුතු තවත් සුවිශේෂ කරුණක් දේශපාලන විචාරකයින්ගේ අවධානයෙන් ගිලිහී ඇත. ඒ ජාතික හෙළ උරුමයේ සහ එහි නායක චම්පික රණවක මහතාගේ දේශපාලන අනාථභාවය ද මෙම මහ මැතිවරණයේදී සනාථ වීමයි.

1994 සිට මෙරට දේශපාලන තීරණාත්මක භූමිකාවක් ඉටුකළ, 2004 මහ මැතිවරණයේදී එහි උපරිමය සටහන් කළ, බෞද්ධ භික්ෂුව පෙරටු කොටගත් සිංහල ජාතිකවාදී දේශපාලනයේ ‘නිල අවසානය‘ මෙම මහ මැතිවරණයේදී සටහන් වූ බව පැහැදිලිය.

ජාතික හෙළ උරුමය

1994 දී ‘සිහළ උරුමය‘ බිහි වූ දා සිට සිංහල බෞද්ධ ජාතිකවාදයේ කොඩිය අතට ගැනීමට, එකට තිලක් කරුණාරත්න, එස්. එල්. ගුණසේකර සහ චම්පික රණවක උත්සාහ කළ ද පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නොව අවම නියෝජනයක් හෝ ලබා ගැනීමට ඔවුනට හැකියාවක් නොවීය.

එහෙත් ගංගොඩවිල සෝම හිමියන්ගේ හදිසි අභාවය සමග නිර්මාණය වූ පසුබිම තුළ 2004 මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා ගැනීමට චම්පික රණවක විසින් නායකත්වය දුන් බෞද්ධ ජාතිකවාදී පෙරමුණට හැකි වූ අතර පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීධුර 09ක් නියෝජනය කිරීමට ඔවුට අවස්ථාව හිමිවිය.

එතැන් සිට, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහයෝගය දෙමින් දේශපාලන ධාරාවේ ඉහළටම ගමන් කිරීමට චම්පික රණවකට අවස්ථාව උදාවූ අතර කැබිනට් අමාත්‍යධුරයක් ද දරමින් තම පදනම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදාවූ අතර 2010 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ද තම බලය සැලකිය යුතු ලෙස තහවුරු කර ගැනීමට චම්පික රණවක සමත් විය.

එහෙත් 2014 අවසාන භාගයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ චම්පික – රතන හිමි ප්‍රමුඛ ජාතික හෙළ උරුමය එවකට මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් නායකත්වය දුන් දේශපාලන ව්‍යාපාරයට එක් වුව ද ජාතික හෙළ උරුමයේ ප්‍රබල චරිතයක් වූ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා යළි මහින්ද රාජපක්ෂ සමග එක්විය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා ‘පිවිතුරු හෙළ උරුමය‘ පිහිටුවාගෙන 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඍජුව සහාය දුන් අතර ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලනයට කැදවා ගැනීමේ ව්‍යාපාරයේ දිදුලන තාරකාවක් බවට පත්විය. ඒ අනුව 2015 මහ මැතිවරණයෙන් පහසුවෙන් පාර්ලිමේන්තුවට යාමට ගම්මන්පිල මහතාට අවස්ථාව උදාවිය.

2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබූ මෛත්‍රීපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ හා ප්‍රබල භූමිකාවක් ජාතික හෙළ උරුමයට හිමි වූ අතර චම්පක රණවක ප්‍රබලතම කැබිනට් අමාත්‍යාංශයකින් ද තවත් හෙළ උරුමය නායකයෙක් වූ කරුණාරත්න පරණ විතාන නියෝජ්‍ය අමාත්‍යධුරකින් ද පිදුම් ලැබුවේය. ඒ සමග අතුරලියේ රතන හිමි ද ජනාධිපති උපදේශකයෙක් ලෙස ‘වසවිස නැති ගොවිතැන‘ කරළියට ගනිමින් ආණ්ඩුව තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කිරීමට සමත් විය.

සජිත් සමග එක්වීම

ලංකා දේශපාලනයේ අවස්ථාවාදී චරිතයක් වන අතුරලියේ රතන හිමි ආණ්ඩුව සමග දීග කෑමෙන් පසු තවත් වසර කිහිපයකින් ආණ්ඩු විරෝධයක් කරට ගෙන විපක්ෂය වෙත බැල්ම හෙළන විට චම්පික ද එජාප නායකත්ව අර්බුදයේදී තමාට වඩාත් වාසිදායක සහ අනාගතයක් ඇති (අනාගත දේශපාලන නායකත්වයට) සජිත් ප්‍රේමදාස සමග සන්ධාන ගත වූ අතර සජිත් විසින් නායකත්වය දුන් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා බව ද පත්විය.

මෙය චම්පික බොහෝ කාලයක් දුටු සිහිනයක් සැබෑ වීමක් වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදී ජාතික හෙළඋරුමයට වඩා සමගි ජන බලවේගය දේශපාලනයේ ඉහළට යාමට රැකුලක් බව චම්පිකගේ සහ ඔහුගේ සමීපතමයින්ගේ විශ්වාසය විය.

එහෙත් පසුගිය දා නිමාවට පත් වූ මහ මැතිවරණය චම්පික රණවකගේ දේශපාලන සිහින සුනුවිසුණු කළා පමණක් නොව ඔහුගේ දේශපාලන අනාගතය ද, සැබෑ ශක්තිය ද හෙළිදරව් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ, ඊනියා ජාතික නායකයෙක් වූ චම්පික රණවකට ලබා ගත හැකි වුණේ, සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් දිනාගත් මන්ත්‍රීධුර 06න් -05 වන ස්ථානය වන අතර (කොළඹ දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය විසින් මන්ත්‍රීධුර 06ක් දිනාගත් අතර එහි මුල් තැන මනාප ඡන්ද 305,744ක් දිනාගත් සජිත් ප්‍රේමදාස මහතා විසින් ද දෙවන ස්ථානය මනාප ඡන්ද 96,916ක් දිනාගත් එස්.එම්. මරික්කාර මහතා විසින් ද දිනාගෙන තිබේ. තෙවන ස්ථානය මනාප ඡන්ද 87,589ක් දිනා ගත් මුජිබර් රහුමාන් මහතා විසින් ද සිවුවන ස්ථානය මනාප ඡන්ද 82,845ක් දිනාගත් ආචාර් හර්ෂ ද සිල්වා විසින් ද පස්වන ස්ථානය මනාප ඡන්ද 65,574ක් දිනාගත් චම්පික රණවක මහතා විසින් ද සයවන ස්ථානය මනාප ඡන්ද 62,091ක් දිනා ගත් මනෝ ගනේෂන් මහතා විසින් ද දිනාගෙන ඇත) ඔහුට ලබාගත හැකි වුණේ ද මනාප ඡන්ද 65,574ක් පමණකි.

මේ තත්ත්වය තුළ චම්පික රණවකගේ ජනප්‍රියත්වය සේම ජාතික නායකත්ව භූමිකාව ද අභියෝගයට ලක්වන අතර සමගි ජන බලවේගය තුළ ඔහුගේ ශක්තිය පරීක්ෂාවට ද ලක්කර ඇත. ඒ අනුව තව දුරටත් චම්පික යනු ‘පොරක්‘ හෝ අනාගත නායකයෙක් නොවනු ඇති අතර ඔහුව සරත් ෆොන්සේකා (ගම්පහ පළමු මනාප) වැනි නායකයින් හමුවේ දියවී යන බව පැහැදිලිය.

හෙළ උරුමයෙන් චම්පික පමණයි

මෙම මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයින්ගෙන් චම්පික හැර වෙනත් කිසිවෙකු තේරී පත් නොවීම ද හෙළ උරුමයේ හෙළුව පෙන්වන කරුණක් ලෙස සැලකිය හැකිය.

උදාහරණ ලෙස හෙළ උරුමයේ ජාතික තලයේ නායකයින් වන, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, කලුතර දිස්ත්‍රික්කයෙන් තරග කළ, හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හෝ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරාළ හෝ හිටපු රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතානට හෝ ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැත.

මේ තත්ත්වය මත චම්පිකගේ හෙළ උරුමය ද ‘තනි මන්ත්‍රී‘ පක්ෂයක් බවට පත්ව ඇත.

අතුරලියේ රතනට යන එන මං නැතිවීම

ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට මෑතදී පාවී ආ අතිෂය අවස්ථාවාදී හා අන්තවාදී භික්ෂුවක වන අතුරලියේ රතනට හිමියන්ට මෙවර මහ මැතිවරණයේදී තමන්ගේ ‘නියම තරම‘ මනාව හදුනා ගැනීමට හැකි වූ අතර ඊනියා සිංහල බෞද්ධ ජාතිකවාදය නියෝජනය කළ, ගලගොඩඅත්තේ ඥානසාර – අතුරලියේ රතන, පාහියන්ගල ආනන්ද ආදි භික්ෂූන්ට ද තමන්ගේ ‘නියම තරම, ශක්තිය වටහා ගැනීමට පහසු අවස්ථාවක් උදාවී ඇත.

මෙම මැතිවරණයෙන් අතුරලියේ රතන- ගලගොඩඅත්තේ ඥානසාර‘ නායකත්වය දුන් අපේ ජන බලවේගය පක්ෂය දිනාගත්තේ (කුරුණෑගල නාම යෝජනා ප්‍රතික්ෂේප විය) ඡන්ද 67,758ක් හෙවත් 0.58%ක් පමණක් වන අතර අහඹු ලෙස හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට කාකොටා ගන්නා ආකාරය (මෙය 1994දී ද සිදුවිය) අනුව එම පක්ෂයේ අනාගතය තීන්දු වනු ඇත.

සටහන – තුෂාර වල්ගම

Recommended For You

About the Author: Editor