පරාජය හමුවේ වියරු වැටී සිටින ජනපති ට්‍රම්ප් ‘කමලා හැරිස්ගේ ජාතකය’ අවුස්සයි

ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස් එම ධුරය සඳහා අවශ්‍ය “සුදුසුකම් සපුරා නැති” බව තමන්ට කණ වැකී ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ප්‍රවීණයන් විසින් තහවුරු නොකරන ලද නීති තර්කයක් උලුප්පා පෙන්වීම හෙළා දකින විවේචකයෝ එය ජාතිවාදී ප්‍රකාශයක් ලෙස හඳුන්වති.

ජැමෙයිකන් පියෙකුට සහ ඉන්දීය මවකට දාව 1964 ඔක්තෝම්බර් 20 වෙනි දින කමලා හැරිස් උපත ලැබුවේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ්හිදීය.

නමුත් ගතානුගතික අදහස් දරන නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු විසින් ඇයට උප ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට ඇති හැකියාව ප්‍රශ්න කරනු ලැබ ඇත.

ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා එක්සත් ජනපදයේ උපත ලැබූවෙකු නොවන බව පැවසෙන සාවද්‍ය මතයට ට්‍රම්ප් විසින් වසර ගණනාවක් පුරා ප්‍රචාරයක් ලබා දෙනු ලැබීය.

කලක් කැලිෆෝනියාවේ හිටපු නීතිපතිවරිය වශයෙන් කටයුතු කළ සෙනට් සභික කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂකත්වය සඳහා නම් කරනු ලැබුවේ පසුගිය අඟහරුවාදාය. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරණයකදී උප ජනාධිපති ධුරය සඳහා තරග කරන කළු සමක් සහිත පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාසගත වෙයි.

කමලා හැරිස් ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝයි බයිඩන්ගේ දෙවෙනියාය. ඔහු නොවැම්බර් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ජනාධිපති ට්‍රම්ප්ට අභියෝග කරනු ඇත.

ට්‍රම්ප් කීවේ කුමක්ද?

President Trump
,හිටපු ජනාධිපති ඔබාමා කෙන්යාවේ උපත ලැබූවෙකු බවට වන දක්ෂිණාංශික මතවලට ට්‍රම්ප් විසින් ප්‍රචාරයක් ලබා දීම ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදීය

බ්‍රහස්පතින්දා (අගෝස්තු 13) පැවති මාධ්‍ය හමුවකදී කමලා හැරිස් උපත ලද රට සම්බන්ධයෙන් පවතින තර්කය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසීමක් කරනු ලැබිණි.

“ඇයට, අවශ්‍ය සුදුසුකම් සපුරන්න බැහැයි කියා මට අද අසන්න ලැබුනා. ඒ වගේම ඒ පිළිබඳ ලියූ නීතිඥයා ඉතාමත් ඉහළ මට්ටමේ අයෙක්.”

“ඒක හරිද කියන දේ ගැන මම දන්නේ නැහැ. උප ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගන්න කලින් ඩිමොක්‍රටික් පක්ෂය ඒ ගැන සොයා බලන්න ඇතැයි කියා මම සිතනවා,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

“නමුත් මේක ඉතාමත් බරපතළයි. ඇය මේ රටේ ඉපදී නැති නිසා ඇය සුදුසුකම් නොලබනව කියල ඔවුන් කියන බව ඔබ කියනවා.”

එවක කමලා හැරිස්ගේ දෙමව්පියන්ට නීත්‍යානුකූලව ඇමරිකාවේ ස්ථීර පදිංචිය හිමි නොවී තිබීමට හැකියාවක් ඇතත් ඇය ඇමරිකාවේ උපත ලැබූවෙකු බවට තර්කයක් නැතැයි වාර්තාකරු ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය.

‘ජුඩිෂල් වොච්’ නැමති ගතානුගතික මතවාද දරන කණ්ඩායමක ප්‍රධානී ටීම් ෆිටන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක් ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක උපදේශිකා ජෙන්නා එලිස් විසින් සිය ට්විටර් පිටුවේ යළි පළ කරනු (රීපෝස්ට්) ලැබ තිබිණි.

කමලා හැරිසන්, “එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘පුරවැසිභාවයට අදාළ වගන්තිය’ යටතේ උප ජනාධිපති ධුරයට සුදුසුකම් නොලබන්නේ” දැයි යන්න එම ට්විටර් පණිවුඩයෙන් ප්‍රශ්න කරයි.

එමෙන්ම කැලිෆෝනියාවේ චැප්මන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝන් ඊස්ට්මන් ඒ සම්බන්ධයෙන් ඔහුගේ මතය දක්වමින් ‘Newsweek’ සඟරාවේ පළ කෙරුණු ලිපියක් ද ටීම් ෆිටන් විසින් ට්විටර් පිටුවේ පළ කරනු ලැබ ඇත.

නීතිය පිළිබඳ මහාචාර්යවරයාගේ තර්කය කුමක්ද?

Harris family
,කමලා හැරිස් සිය පවුලේ සාමාජිකයන් සමග

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය උපුටා දක්වමින් මහාචාර්ය ඊස්ට්මන් පවසන්නේ, ඇමරිකාවේ උපත ලද අයෙකු පමණක් ජනාධිපති ධුරයට සුදුසු බවය.

එසේම “එක්සත් ජනපදයේ උපන්, සහ එහි අධිකරණ බලයට යටත් සියලුම දෙනා පුරවැසියන්ය,” යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි සංශෝධනය ද ඔහු උපුටා දක්වයි.

උදාහරණයක් වශයෙන්, කමලා හැරිසන් කැලිෆෝනියාවේ උපත ලද අවදියේ ඇයගේ දෙමව්පියන් ශිෂ්‍ය වීසා බලපත් (student visa) යටතේ සිටියේ නම් ඇය අධිකරණ බලයට යටත් නොවන්නේය යන අදහස මහාචාර්ය ඊස්ට්මන්ගේ තර්කය මගින් ඉදිරිපත් වේ.

2010 වසරේදී, මහාචාර්ය ඊස්ට්මන් කැලිෆෝනියාවේ නීතිපති ධුරය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වශයෙන් තරග කළේය. ඔහු එහිදී ස්ටීව් කූලි අතින් පරාජයට පත් විය. ඉන් අනතුරුව මහ මැතිවරණයේදී කමලා හැරිසන් කූලි පරාජයට පත් කළේය.

මතභේදයට තුඩු දී ඇති අදාළ ලිපිය පළ කිරීමට ගත් තීන්දුව වෙනුවෙන් පෙනී සිටි ‘Newsweek’ හි ප්‍රධාන සංස්කාරකවරිය නැන්සි කූපර්, “උප්පත්තිය මුල් කරගත් ජාතිවාදයක් සහ මහාචාර්යවරයාගේ ලිපිය අතර සම්බන්ධයක් නොමැති” බවට තර්ක කරයි.

ව්‍යවස්ථාව පිළිබඳ සෙසු විශේෂඥයන් පවසන්නේ කුමක්ද?

BBC පුවත් සේවයේ එක්සත් ජනපද හවුල්කරු ‘CBS News’ වෙත ව්‍යවස්ථා නීතිය පිළිබඳ තවත් විශේෂඥයෙකු පවසා තිබුනේ කමලා හැරිස්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් මහාචාර්ය ඊස්ට්මන් ඉදිරිපත් කර ඇත්තේ “මෝඩ තර්කයක්” බවය.

බර්ක්ලි නීති විද්‍යාලයේ පීඨ ප්‍රධානී අර්වින් ෂෙමරින්ස්කි සඳහන් කර ඇත්තේ “14 වෙනි සංශෝධනයේ පළමු ඡේදය යටතේ එක්සත් ජනපදයේ උපත ලබන ඕනෑම අයෙකු ඇමරිකානු පුරවැසියෙකු බවය.”

“1890 ගණන්වල සිට ශ්‍රේෂ්ඨාධිකරණය මෙය තහවුරු කර තිබෙනවා. කමලා හැරිස් එක්සත් ජනපදයේ උපත ලැබූවෙක්.”

ජනාධිපති ට්‍රම්ප් නිතර විවේචනයට ලක් කරන්නෙකු ලෙස ප්‍රකට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ මහාචාර්ය ලෝරන්ස් ට්‍රයිබ් විසින් මහාචාර්ය ඊස්ට්මන්ගේ තර්කය හඳුන්වනු ලැබුවේ “කුණුගොඩක්” සහ උප්පත්තිය මත පදනම් වූ ජාතිවාදී කියවීමක් ලෙසය.

ලොයෝලා නීති විද්‍යාලයේ මහාචාර්යවරියක් වන ජෙසිකා ලේවින්සන් AP පුවත් සේවයට පවසා තිබුනේ, “අප අවංකව මේ දෙස බලමු: මෙය, රටේ පුරවැසියන් නොවන දෙමව්පියන්ට දාව උපන් කළු සමක් සහිත අපේක්ෂකයෙකු සිටින විට අප දුව යන ජාතිවාදී යෙදුමක්” යනුවෙනි.

ට්‍රම්ප්, ඔබාමා ඇමරිකාවේ උපත ලබා නැතැයි පැවසෙන න්‍යායට ඉන්ධන දැමූවේ කෙසේද?

President Barack Obama participates in a moment of silence during a ceremony to mark the 15th anniversary of the 9/11 terrorists attacks at the Pentagon Memorial.

හිටපු ජනාධිපති ඔබාමා කෙන්යාවේ උපත ලැබූවෙකු බවට වන දක්ෂිණාංශික මතවලට ට්‍රම්ප් විසින් ප්‍රචාරයක් ලබා දීම ආරම්භ කරනු ලැබුවේ 2011 වසරේදීය.

තමා හවායි හි උපත ලබා ඇතැයි සඳහන් උප්පැන්න සහතිකය ඔබාමා විසින් එම වසරේ අප්‍රේල් මස ඉදිරිපත් කරනු ලැබ තිබියදීත් එය “වංචාවක්” බව ට්‍රම්ප් දිගින් දිගටම පැවසීය.

2016 සැප්තැම්බර් පැවති මාධ්‍ය හමුවකදී එවක රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූ ට්‍රම්ප්ගෙන් ඒ ගැන විමසනු ලැබිණි.

ඔබාමා ජනාධිපති ධුරය සඳහා සුදුසුකම් සපුරා ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පැවති සැක සංකා පළවා හැරීමේ ගෞරවය ලබා ගැනීමේ උත්සහයක නිරත වෙමින් ඔහු එහිදී කියා සිටියේ, “මම එය ඉවරයක් කළා. ජනාධිපති ඔබාමා ඉපදිලා තියෙන්නේ එක්සත් ජනපදයේ. එපමණයි.”

තමා සමග රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා තරග කළ ටෙඩ් කෘස් ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බවට ද ට්‍රම්ප් 2016 වසරේදී තර්ක කළේය. ඔහු ඊට හේතු විශයෙන් ඉදිරිපත් කළේ, ඇමරිකානු පුරවැසියෙකු වූ මවකට සහ කියුබාවේ උපත ලද පියෙකුට දාව ටෙඩ් කැනඩාවේදී උපත ලබා තිබීමය.

Text by – bbc sandesaya – ශීර්ෂ පාඨය වෙනස්කර ඇත

Recommended For You

About the Author: Editor