Voice of දියවන්නා: ප්‍රසන්න කුකුළත් අතේ අරන්ම ඇවිත් වැඩ භාර අරන්

සටහන – ගජබා නාගහවත්ත

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන්නේ පසුගිය බදාදා මහනුවර මඟුල් මඬුවේදීය. කැබිනට් ඇමතිවරුන් 28ක්. රාජ්‍ය ඇමතිවරුන් 39ක්. ජනාධිපති ගෝඨාභය ඉදිරියේ මෙලෙස ඉදිරියේ දිවුරුම් දුන්හ. නව රජයේ සංචාරක ඇමතිවරයා ලෙස පත්වුයේ ප්‍රසන්න රණතුංගය. ඔහුගේ රාජ්‍ය ඇමතිවරයා වූයේ ඩී.වී.චානකය.

ඇමතිවරුන්ට සඳුදාට පෙර වැඩභාරගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබිණි. ඒ අනුව ඇමති ප්‍රසන්න පසුදා උදෑසන වැඩභාර ගැනීමට තීරණය කළේය. ඔහු සිය රාජ්‍ය ඇමති ඩී.වී.චානක ඇමතුවේ ඒ අනුවය.

” මල්ලි මම හෙට උදේ 6.30ට වැඩ භාරගන්නවා. ඔයත් වෙලාවක් බලලා වැඩ භාරගමු හෙටම. ඊට පස්සේ  ආයතන ප්‍රධානීන් හමුවෙමු” – ප්‍රසන්න කීවේය.

‍”හෙට උදේ 6.30 ට ” ඩී.වී. ඇස්දෙක උඩ දමාගෙන ඇසුවේය.

” ඇයි මල්ලි ඕනෙ නම් ඊට කලින් වුනත් කමක් නෑ. ” ඇයි ප්‍රශ්නයක් ද ?

” නෑ.නෑ අයියේ …” ඩී.වී.කීවේය. මේ කතාබහ අතර එතනට ආවේ ඇමති නාමල්ය.

“මොකෝ ප්‍රසන්න අයියේ අපේ අලුත් ඇමතිතුමා කියන්නේ” නාමල් ඇසුවේ ප්‍රසන්නගෙනි.

” නැ.නෑ. ඇමතිතුමා අපේ ඇමතිතුමා හෙට උදේ 7.00ට වැඩ භාරගන්නවාලු. ඊට පස්සේ රැස්වීම් දාලා. මට පේන්නේ මම ඉවරයි වගේ.” ඩී.වී කීවේය.

ඩී.වී.නාමල්ට එය කියූ විදියට ප්‍රසන්නටද හිනා ගියේය.

” ප්‍රසන්න අයියත් එක්ක වැඩකරනවා කියන්නේ ඉතිං යකා බැඳගත්තා වගේ තමයි. උඹට ගැලවීමක් නෑ… ” නාමල් ඩී.වී ට විහිළු කළේය.

කියූ ලෙස ප්‍රසන්න බ්‍රහස්පතින්දා උදෑසන 6.30ට වැඩ භාරගත්තේ සංචාරක කැබිනට් ඇමතිවරයා ලෙසය. ඔහුගේ රාජ්‍ය ඇමතිවරයා වූ ඩී.වී.ගේ වැඩ භාරගැනීම යෙදී තිබුණේ එදිනම (බ්‍රහස්පතින්දා) උදේ 9.00ටය. ප්‍රසන්න ඩී.වී.ගේ වැඩ භාරගැනීමේ උත්සවය ගැනද සොයා බැලුවේය.

” ඩී.වී.ඇමතිතුමා අලුත් කෙනෙක් අපි එයාට උදව් කරන්න ඕනෑ.ඒ නිසා හැමදේම මටත් වඩා හොඳට ලෑස්ති කරන්න ” ප්‍රසන්න අමාත්‍යාංශ ලේකම්වරයාට මෙන්ම සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයටද කීවේය. ඒ අනුව ඩී.වී.ගේ වැඩ භාරගැනීමේ උත්සවය සම්පූර්ණයෙන්ම සංවිධාන වූයේ ප්‍රසන්නගෙ අතිනි.

සංචාරක අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ප්‍රසන්න හා ඩී.වී. ආයතන ප්‍රධානීන් ඇමතූහ. ප්‍රසන්න මෙහිදී කීවේ සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ඉලක්ක සපුරා ගැනීමට වහා කටයුතු කල යුතු බවය.

වැඩ භාරගැනිම අවසන් වන විටම ඇමති ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ආවේය. ඒ අගමැති මහින්දගෙනි.

“ප්‍රසන්න උදේම වැඩ භාරගත්තා කියලා ආරංචියි. මම මේ සුභ පතන්නයි ගත්තේ.” මහින්ද කීවේය.

” ඔව් සර්. මම පාන්දර 6.30ට වැඩ භාරගත්තා.” ප්‍රසන්න කීවේය.

“ආ… ඒ කියන්නේ කුකුලත් අතේ අරන්ම ඇවිත් වැඩ භාර අරන්… ” මහින්ද කීවේ සිනාසෙමිනි.

” අපිට හොඳ ආණ්ඩුවක් හදාගන්න පුළුවන් වුණා.දැන් ඉතිං අපි ඒ ජනමතය රැක ගන්න කටයුතු කරන්න ඕනෑ” මහින්ද කිවේය.

” ඒක ඇත්ත සර්. මිනිස්සු අපි ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමයි ඔබතුමයි ගැන. ඒ විශ්වාසය රැකගන්න එක අපේ වගකීම. ” ප්‍රසන්නද උත්තර දුන්නේය.

සටහන – ගජබා නාහවත්ත

Recommended For You

About the Author: Editor