නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින් ඉදි කරනවා – අමාත්‍ය ප්‍රසන්න

නව ආයෝජන ප්‍රවර්ධන කළාප 04ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ. බිංගිරිය, එරාවුර්, මිල්ලෙණිය සහ හම්බන්තොට යන ප්‍රදේශ වල මෙම නව ආයෝජන ප්‍රවර්ධන කළාප ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ නව ආයෝජන ප්‍රවර්ධන කළාප හතරේ මුලික ඉදිකිරීම් කඩිනමින් අවසන් කර ආයෝජකයන්ට සිය ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරන බවයි.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ නිළධාරින් හා එහි ආයෝජකයන් සමග පසුගිය දා පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන  රාජ්‍ය ඇමති  ඩි.වි. චානක මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව කටුනායක නිදහස් වෙළද කලාපයේ නිළධාරීන් සහ ආයෝජකයින් හමුවීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

මෙහි දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ආයෝජන කළාප තව දුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බවයි.  නව රජයේ අපේක්ෂාව වන්නේ මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරිමයි. ඒ සදහා නව ආයෝජන කළාප හතරේ  ඉදිකිරිම් කඩිනමින් අවසන් කරන බවද ඇමතිවරයා මෙහිදි කියා සිටියේය.

සාකච්ඡාවේ දි අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ඉදිරි වසර 05 තුළ අපනයන වර්ධනය කරගනිමින් 5-7% ක් අතර ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. ඒ සදහා නව ආයෝජනයන් වෙත යොමු විය යුතුයි. නිෂ්පාදන විවිධාංගීකරණය කරමින් අගය එකතු කල භාණ්ඩ අපනයනය කළ යුතුයි. නව අපනයන වෙළදපල හදුනා ගත යුතුයි. ඒ සදහා පළමු පියවර ලෙස බිංගිරිය, මිල්ලණිය, එරාවුර්, හම්බන්තොට ආයෝජන කලාප ඉක්මණින් ක්‍රියාත්මක කරනවා.

බිංගිරිය කලාපයේ යටිතල පහසුකම් මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතිනවා. එහි ප්‍රථම අදියර අක්කර 275 ක්. තවත් අක්කර 1200 දක්වා පුළුල් කළ හැකි කළාපයක්. මිල්ලණිය අක්කර 2400කින් සමන්විත දක්ෂිණ අධිවේගී මාර්ගය අසල පිහිටි කළාපයක්. එයින් මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය සිදු වෙනවා. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආරම්බ කිරීමට මෙම කළාපය යොමු කරනවා. අක්කර 200කින් සමන්විත එරාවුර් ඇගළුම් උද්‍යානයක් ලෙස සකස් කරනවා. ඇගළුම් ක්ෂේත්‍ර යට අවශ්‍ය රෙදිපිළි හා අනෙකුත් අමුද්‍රව්‍ය මෙහි නිපදවීමට අදහස් කරනවා. ඒ සදහා ආයෝජකයින් විශාල ප්‍රමාණයක් කැමැත්ත පළ කර තිබෙනවා. එය නැගෙනහිර පළාතේ සංවර්දනයට විශාල ලෙස බලපාන කළාපයක් ලෙස සදහන් කළ හැකියි. අපගේ අවධානය යොමු වී අති තවත් වැදගත් ම ආයෝජන කළාපයක් ලෙස හම්බන්තොට ආයෝජන කළාපය සදහන් කළ හැකියි. ඖෂධ නිෂ්පාදනය අරමුණු කරගත් මෙම කළාපය දේශීය හා ජාත්‍යන්තර වෙළදපොළට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ආයෝජන ප්‍රවර්ධන කළාපයන්ට අමතරව මත්ස්‍ය නිෂ්පාදනය හා මත්ස්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතීන් කෘෂි නිෂ්පාදනය හා අපනයනය ව්‍යාපෘති ගණනාවක් කෙරේ නව රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙහි දි අදහස් දැක් වූ ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතා මෙරට අපනයන ආදායමින් 70% ක් වැනි ප්‍රමාණයක් ලබා දෙන ආයෝජන ප්‍රවර්ධන කළාප පුළුල් කිරීම තම අරමුණ බව පැවසීය. එහි දී තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ජනිත වන කර්මාන්තයන් මෙරටට ගෙන ඒමට අධානය යොමු කරන බව ද සදහන් කළේය.

මෙම අවස්ථාවන්ට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි, ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල, විධායක අධ්‍යක්ෂක එම්.කේ.ඩි. ලෝරන්ස් යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.

Recommended For You

About the Author: Editor