පළිබෝධ නාශක ගෙදරදීම හදා ගන්නේ මෙහෙමයි !

එදිනෙදා පරිභෝජනය කරනා ආහාරයෙන් කිසියම් කොටසක් තම වාසස්ථානය අසල ගෙවත්තෙන්ම නෙලාගෙන, පිළියෙලකර අනුභව කිරීමේදී ගතට උරාගන්නා ආහාරයේ සාරවත් බවට අමතරව සිතට දැනෙන ආස්වාදය කෙබඳුදැයි දන්නේ එය අත්විඳි තැනැත්තෙකු පමණි.

වසංගත තර්ජනය හමුවේදී පසුගියදා රට වසා තැබූ සමය තුලදී, පෙර නොවූ විරූ ගෙවතු වගා උනන්දුවක් ජනතාව අතර පැතිර යනු දක්නා ලදී. එදා සිටවූ ගෙවතු මේ වනවිට පල දරමින් ඇත්තේය. ඒ සමගම ගෙවතු වගාකරුවන් වෙත ගැටළු කීපයක්ද පැමිණ ඇත්තේය.

බොහෝ අය මේ දිනවල විමසන්නේ ගෙවත්තේ වැවූ එළවලු බෝගයන්ට ඇති පළිබෝධ තර්ජනයන් මගහැරගත හැකි  ප්‍රතිකර්මයන් පිළිබඳවයි. ගෙවත්ත යනු කුඩා පරිසර පද්ධතියක් නිසාත්, එහි යහපැවැත්ම උදෙසා පද්ධතියේ සමතුලිතතාවය පැවතීම  වැදගත් නිසාත්, ගෙවත්තේ නිෂ්පාදනයන් නිතර ආහාරයට එකතුකරගන්නා නිසාත් කෘතිම රසායනික පළිබෝධනාශක භාවිතය අප අනුමත නොකරන්නෙමු.

කෘමීන් විකර්ෂණය කරන හෝ පැමිණ සිටින්නන් විනාශකරන පළිබෝධනාශක ඔබට ගෙදරදීම සාදාගත හැකිය. මේවා මිනිසාට විෂ නොවන හා කෘමි සතුනට විෂ සහිත ඒවා වන නිසා අප වඩාත් ආරක්ෂාකාරී වේ. නාශක දියරය සාදා ගැන්මට අවශ්‍ය වන්නේ කොහොඹ හෝ අනෝදා ඇට ග්‍රෑම් 30 ක පමණ ප්‍රමාණයකි.

කොහොඹ ශාකය වියලි කලාපයේ බහුලව තිබේ. එහෙත් එහි ඇට සෑදෙන්නේ එක්තරා කාලයකට පමණි. පළිබෝධනාශක ද්‍රාවනය සෑදීම සඳහා තෝරාගත යුත්තේ අලුත් වියලි කොහොඹ ඇටයි. අනෝදා වර්ග තෙත් කලාපයේ සුලභය. වසර පුරාම ගෙඩිද හටගනී.

ශ්‍රී ලංකාවට හා ඕස්ට්‍රේලියාවට ආක්‍රමණශීලී ශාකයක් වන ‘වෙල් ආත්තා’ Annona glabra පෙර කලෙකදී මෙරටට රැගෙනවිත් ඇත්තේ අනෝදා බද්ධකිරීමෙදී ග්‍රාහකයන් ලෙස යොදා ගැනීමටයි. ඉවතලන බීජ හරහා පහත රට තෙත්බිම් ආක්‍රමණය කර ඇති මේ ශාකය හරහා මෙවන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ නම් එය මහත් වාසිදායක තත්වයක් නොවන්නේද?

වාර්තාවල සඳහන් වන ආකාරයට ආදී ඇමරිකානුවන් කුඩු කරගත් වෙල් ආත්තා බීජ තෙලෙන් බැද, හිසෙහි උකුණන් වඳකිරීම සඳහා ගැලවූ බවට සඳහන් වීමෙන්ම මෙහි කෘමි නාශක හැකියාව ගැන අපට සැපයෙන්නේ හොඳ ඉඟියකි.

මීට අමතරව කටු අනෝදා සහ චෙරිමෝයා වැනි වර්ග (Annona muricata හෝ Annona cherimola) වල ගෙඩිවලින් ඉවත්කරනා බීජ සැලකියයුතු  ප්‍රමාණයක් දෛනිකව ‘ජූස්බාර්’ වැනි ස්ථානයන් වෙතින් ඉවත දමයි. මේ සියල්ල පළිබෝධනාශක නිපදවීම අනුව ගත්කල වැදගත් අමුද්‍රව්‍යයන් වේ.

මේ ඇසුරෙන් පර්යේෂණ පවත්වා සාර්ථක ප්‍රතිපල අත්කරගෙන ඇත්තේ ගන්නෝරුවේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාඥ ආචාර්ය නිමල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසිනි.

ක්‍රමවේදය ඉතා සරලය. පළමුව ඇට වර්ගය කුඩුකර ජලය ස්වල්පයක් දමා රැයක් පහන් වනතුරු පොඟවා, රෙදි කැබැල්ලක් ගෙන මිශ්‍රණය එයට දමා හොඳින් මිරිකා ද්‍රාවනය පමණක් වෙන්කර ගැනීම කලයුතු වේ. නැවතත් ජලය ටිකක් සමග රෙදිකඩ මතට දමා, මිරිකා පෙර පරිදිම යුෂය නිස්සාරණය කර, ද්‍රාවණයට ලීටරයක් දක්වා ජලය එකතු කරන්න.

මෙහිදී භාවිතා කලයුත්තේ එක වර්ගයක ඇට පමණයි. අනෝදා හා කොහොඹ මිශ්‍රව භාවිතා නොකල යුතු අතර, අප නිපදවාගත් ලීටරයක් වූ පළිබෝධනාශක ද්‍රාවණයට දියර සබන් බිංදුවක් දෙකක් දැමූවිට ද්‍රාවණයේ ඒකාකාරී බව වැඩිවී, බෝග ශාකය මත නාශක දියරය හොඳින් පැතිරීමටද එය ඉවහල්වනු ඇත.

අත් ඉසිනයක් භාවිතයෙන් මෙම ද්‍රාවනය බෝග ශාකය මතට ඉසිය යුතුවේ. සතුන් ගැවසෙන ස්ථාන සොයමින් ස්ථානීය ප්‍රතිකාරයක් දීම ගෙවත්තක් සඳහා ප්‍රමාණවත් වනවා සේම එය වඩාත් ප්‍රායෝගිකද වේ.

කුඩා කෘමි සතුන් බෝග පත්‍රවල යටි පැත්තේ බොහෝවිට සැඟවී සිටිනා බැවින්, පත්‍ර යටි පැත්තද තෙමෙන සේ දියර ඉසීම වැදගත්ය. දියරයේ ක්‍රියාකාරිත්වය ඉක්මනින් නැතිව යයි. එහෙත් ඒ වනවිට එය අපගේ බලාපොරොත්තුද ඉටුකර අවසානය.

පළිබෝධකයින් සිටිනා තැන් සොයමින් එවන් ස්ථාන වලට පමණක් දියර ඉසිනා බැවින්ද, විෂ භාවයෙන් ඉතා අඩු අස්ථායී ශාකසාර සංයෝග බැවින්ද, වගාව තුල සිටිනා පළිබෝධකයින් මියගියත් අවට සිටිනා සියලු කෘමි සතුන් මැරෙන්නේ නැති හෙයින්ද, පරිසර සමතුලිතතාවය ආරක්ෂා වේ. සතියකට වරක් මෙම ප්‍රතිකාරය ලබාදීමෙන් බොහෝ කෘමි උවදුරු වලින් මිදුණු නිරෝගී ගෙවතු වගාවක් ඔබට හිමිවේවි. මතක තබාගත යුත්තේ සෑම සතියකදීම අලුත් දියර බඳුනක් පිළියෙළ කරගැනීමටයි.

කොහොඹ බීජ තුල අන්තර්ගත වන ඇසඩිරැක්ටින් නමැති සංයෝගය සූර්යාලෝකය හා ජලයට නිරාවරණය වූ විට පැය 100 ක කාලයක් තුල සම්පූර්ණයෙන් විනාශවී යයි. ඉතිරියක් තිබුනද එය විෂ ද්‍රව්‍යයක් නොවේ.

අනෝදා බීජ තුල ඇසිටොජෙනින් නමැති සංයෝග පන්තිය ඇති අතර මෙයද බාහිර පරිසරයේදී පහසුවෙන් හා ඉක්මනින් වියෝජනය වී යන්නකි. ලංකාවේ මෙවැනි අනෝදා ප්‍රභේද කීපයක්ම පවතින බැවින්, බීජ තුල වැඩියෙන්ම ඇසිටොජෙනින් ඇත්තේ කුමන ඒවායේද යන්න සොයා බැලීමත් විද්වතුන්ට හොඳ ඉදිරි පර්යේෂණ නිමිත්තක් වනු ඇත.

ගෙවතු වගාවේදී මෙවන් ශාකසාර පළිබෝධනාශකයක් භාවිතාකිරීම ඉතා ආරක්ෂාකාරී වන්නේ, කෘතිම සංයෝගවලට මෙන් දියර ඉසිනලද අස්වැන්න පරිභෝජනයට දිගු කාලයක් බලාසිටිය යුතු නැති නිසාය. සතුරු මර්දනය කරන අතරේදීම අස්වැන්න නෙලාගන්නත් පුළුවන් !. පළිබෝධනාශකය මුළුමනින්ම කාබනිකයි.

සටහන – සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor