පළිගැනීම්වලට කාලය කා දමමින් සංවර්ධනය අඩපණ කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

පසුගිය රජය පලිගැනීම් සිදු කිරීම සඳහා වැඩිපුර කාලය ගත කළ බවත්, වත්මන් රජය වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙමින් ඊටත් වඩා වැඩි වේගයෙන් සංවර්ධන කටයුතු සිදු කරන බවත්, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

පසුගිය කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිදුවී ඇති මූල්‍ය අවභාවිතා කිරීම්වලට හිටපු ඇමතිවරයාද වගකිවයුතු බවත්, ඒ හා සම්බන්ධ කටයුතු මේවන විට නීතිමය රාමුවට ගෙනවිත් ඇති බවත්, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පසුගිය මාස 5 ක කාලය තුළ “ඔබට ගෙයක් – රටට හෙටක්” වැඩසටහන යටතේ නිවාස 4,000 ක් පමණ ආරම්භ කොට ඇති  බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.  මෙම රැස්වීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

“ඔබට ගෙයක් – රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන මෙම වසරේ පෙබරවාරි මස 01 වැනිදා කුරුණෑගල, ගිරිබාවේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලදි. මෙම වැඩසටහන යටතේ නිවාස 14,022 ක් ග්‍රාමසේවා මට්ටමින් දිවයින පුරා ඉදි කෙරේ. ඉන් නිවාස 4,040 ක වැඩ මේ වන විට ආරම්භ කර ඇති අතර නිවාස 46 ක් ජනතා අයිතියට පත්කර ඇත. 

මෙම නිවාස වැඩසටහනේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි. 

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී. කොඩිකාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරුන් සහ රාජ්‍ය නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.  

Recommended For You

About the Author: Editor