පැරණි අඹ වගාවේ පුනර්ජනන කප්පාදුව -2 : ලපටි දළුවලට එන ‘අඹ කීඩෑවා’ මර්ධනය

පසුගිය14 වැනිදා අපි ‘ ඵලදාව අඩුවන පැරණි අඹ ගසට ‘නව ජීවයක් දෙන පුනර්ජනන කප්පාදුව’ ලිපිය පළ කළා. ඒ ලිපියට බොහොම හොද ප්‍රතිචාර ලැබුණා. ඒ අතර බොහෝ දෙනෙක් ඇසූ ප්‍රශ්නයක් වුණේ ‘පුනර්ජනන කප්පාදුවෙන් පසු අලුත් දළු එන විට අනිවාර්යයෙන්ම සිදුවන ‘දළු කීඩෑවන්‘ මර්ධනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සදහා භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය ගැනත් ඔවුන් ප්‍රශ්න ඇසුවා. මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අද ලිපියේ පළ වෙනවා.

පැළ තවානකින් මිලදී ගෙනැවිත් ඉතා සැළකිලිමත්ව ගෙවත්තේ සිටුවාගන්නා අඹ පැළයට නිදහසේ වැඩෙන්නට ඉඩ නොදී විද්‍යානුකූලව කප්පාදු කරමින්, හොඳින් ඵලදාව දෙන හුරුබුහුටි අඹ ගසක් නිර්මාණය කරගන්නා ආකාරය පසුගිය ලිපියකින් අප පෙන්වා දුන්නෙමු.

කිරුළේ පත‍්‍ර සියල්ලම හිරුරැසින් නැහැවී උපරිම ආහාර නිෂ්පාදනයක් සිදුවෙන අයුරින් අතු පන්තිය සකසා ගැනීම මේ කප්පාදුවේ ප‍්‍රධාන අරමුණ විය. ඊට අමතරව පළිබෝධ හානි අවම කරගැනීම උදෙසා ළපටි ගෙඩි ආවරණය කිරීමටත්, අස්වැන්න නෙළීම පහසු කරගැනීමටත් හැකිවෙන පරිදි ගසේ උස අඩුකරගැනීම ද තවත් අවශ්‍යතාවයක් තිබුණි.

ළපටි අඹ පැළයක් මේ ආකාරයට පුහුණු කරමින් තම අභිමතයට අනුව ගසක් නිර්මාණය කරගත හැකි වුවද, අද මෙරට තිබෙන බොහොමයක් අඹ ගස් සිටවූවා මිස මෙවන් පාලනයකට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. ඵලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප‍්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. අතු එකිනෙක අතිපිහිත වෙමින් පිහිටන නිසා මෙම ශාකවල සූර්යාලෝක ප‍්‍රතිග‍්‍රහණය ඉතා අකාර්යක්ෂමය.

ඒ හේතුවෙන්ම ඵලදාවද අවම අගයක් ගනී. ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප‍්‍රමාණය වුවත් අපගේ ග‍්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැළකිය යුතු ගෙඩි ප‍්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති බවත්, විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පැරණි අඹ ගසක් වුවත් කප්පාදුකර වගාකරුට හසුරුවාලිය හැකි ගසක් නිර්මාණය කළහැකි බවත් අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ පර්යේෂකයින් පෙන්වා දී තිබේ. කෙසේනමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා වගාකරු එයටද සිත එකඟ කරගත යුතුවේ.

”දශක කීපයක් පැරණි අඹ ගසක් පවා මෙම දැඩි කප්පාදුව නමැති ක‍්‍රමවේදය යටතේ ‘තිරිහන්’ කරගන්න පුළුවන්. හුඟක්ම පැරණි ගස් වලට නම් මෙය ආර්ථික වශයෙන් ලාභදායක ක‍්‍රමයක් නෙවෙයි. පසේ හොඳින් තෙතමනය තිබෙන කාලයක් තමයි මේ සඳහා තෝරාගත යුත්තේ. හොඳින් වැඩුණු එක අත්තක් ඉතිරි කරලා අනෙක් අතු සියල්ල කපා දමනවා. තිබෙන මුළු අතු වලින් 80% ක් පමණ ඉවත්කිරීම මේ යටතේ සිදුවෙනවා. කප්පාදුව ආරම්භ කරන්නේ කුමන උසකින්ද යන්න තීරණය කළයුත්තේ වගාකරුගේ අභිමතය සහ ගසේ අතු බෙදීම සිදුවී ඇති ආකාරය අනුවයි. අපේ පර්යේෂණායතනයේ තිබෙනවා පොළොවේ සිට මීටර් 2.5, 3.0, 3.5, 4.0, 4.5 යනාදී උසින් කප්පාදුවට භාජනය කළ ශාක”

එසේ පවසන්නේ අඟුණකොළපැලැස්ස පර්යේෂණායතනයේ උද්‍යාන බෝග පිළිබඳ පර්යේෂණයන් මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ මහතායි. කරුණු එපරිදි නම් මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියළි කාල මගහරින්නේ නම් වඩාත් යෝග්‍යය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුළට ඇද ගැනීමට ඉවහල් වන, පත‍්‍ර වලින් ජලය වාෂ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී ජලය පහසුවෙන් උරාගැනීම සදහා පසේ ජලය හොදින් තිබිය යුතුය.

තෙතමනය පසේ හොඳින් තිබුනද එක අත්තක් ඉතිරි කරන්නේද යම් තරමක චූෂණයක්ද තිබිය යුතු නිසාමය. ඉතිරි කරන මෙම අත්ත ප‍්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත‍්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. ඒ හරහා මූල පද්ධතියට අවශ්‍ය ආහාර නිපදවීමත්, වර්ධනයට අවශ්‍ය ජලය උරාගැනීමත් සිදුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප‍්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප‍්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කළ නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක‍්‍රමයක් සූදානම් කරගෙන කප්පාදුව ඇරඹීම වඩාත් ඵලදායී වේ.

කප්පාදුවට භාජනය කරන ශාකයේ මුල් අතු බෙදීම ඉතා පහළින් සිදුවී තිබේනම්, බෙදුණු ස්ථාන පසුකර, පොළොවේ සිට අඩු උසකින් අතු කපා දැමිය හැකිවේ. එවන් ශාකයකින් ලැබෙන වාසිය වන්නේ කුඩයක් ආකාරයට මනාව විසිරුණු කිරුළක්, පොළොව මට්ටමේ සිට අඩු උසකින් නිර්මාණය කරගත හැකිවීමයි. මුල් ශාකයේ අතු බෙදී ඇත්තේ තරමක් ඉහළින් නම්, කප්පාදුව කළයුත්තේ ඊටත් ඉහළින් නිසා, ඉදිරියේදී නිර්මාණය වන ශාකය තරමක් උස එකක් වීම වැළක්විය නොහැකිය.

”අතු කැපීම සඳහා යාන්ත‍්‍රික කියතක් භාවිතා කළයුතුයි. කැපුම් තලය මත ජලය නොරැුඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කපන්නත් ඕනෑ. ඒ වගේම අත්තක් කපනකොට එය ප‍්‍රධාන කඳට සම්බන්ධ වෙන ස්ථානයෙන්ම නොකපා අඟල් කීපයක් දුරින් කපන්න ඕනෑ. දිලීරනාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමත්, එය වියලූන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමත් කළ යුතුයි. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කළයුතු වෙනවා”

ශාකයේ මතු ආරක්ෂාව උදෙසා අනුගමනය කළයුතු පිළිවෙත් ගැන විජිතවර්ණ මහතා පවසන්නේ එවන් අදහසකි. කැපූ අතුවල මෙතෙක් කලක් අක‍්‍රියව තිබූ පාර්ශ්වික අංකුර දැන් ක‍්‍රියාත්මක වනු ඇත. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප‍්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලූතින් සෑදෙන වැඩිපුර අතු වුවත් ඉවත් කිරීමට වගාකරු පසුබට නොවිය යුතුවේ. විශාල ප‍්‍රමාණයක් නව රිකිලි අලූතින් ලියලා එන බැවින් කිහිප වතාවක්ම රිකිලි .තුනී කිරීමට. සිදුවීම ස්වභාවිකය.

ළපටි දළු පහසුවෙන් ඇන්ත‍්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත‍්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීරනාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කළ අඹ ගස් අසාර්ථක වන්නේ අලූතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැළකියයුතු කරුණක් වන්නේය. ශාකයේ ජීවී ක‍්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුළ ප‍්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත.

පුනර්ජනන කප්පාදුව සම්පූර්ණව වගාකරුගේ අභිමත ප‍්‍රකාර අඹ ගසක් ලැබීමට වසර දෙක හමාරක් පමණ ගතවෙනු ඇත. නිසි නඩත්තුවක් සහිතව තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. ප‍්‍රමාණවත් කිරුළක් වර්ධනයෙන් පසු කෘතිම උත්තේජනය මගින් මල් හට ගැන්වීමද කළ හැකිය.

ලපටි දළුවලට එන අඹ කීඩෑවා මර්ධනයට බෙහෙත මෙන්න

තාක්‍ෂණික කරුණු – ඩබ්ලිව්. ඒ. විජිතවර්ණ – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ
මාෂ හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අගුණකොළපැලැස්ස

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව

Recommended For You

About the Author: Editor