Voice of දියවන්නා: ‘ප්‍රසන්න ඇමතිතුමාගේ වෙනස ඒකයි’

සටහන – ගජබා නාගහවත්ත

පහුගිය සදුදා රාත්‍රියේ ඇමති ප්‍රසන්න රණතුංගට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙනි.

“ප්‍රසන්න….. ඉක්මණින් සංචාරකයෝ ලංකාවට ගෙන්නගන්න වැඩපිළිවෙලක් හදන්න ඕනේ”. ජනාධිපතිවරයා කීවේය.

“ඔව් සර්. මම ඒ ගැන ප්ලෑන් එකක් හදනවා. එයාර්පෝට් එක විවෘත කරන වැඩේ ඉක්මණින් කරගත්තොත් හොදයි. ප්‍රසන්න කීවේය.”

“එයාර්පෝට් අරින වැඩේ ඉක්මණ් කරන්න. හැබැයි පිටරට වල ඉන්න අපේ අය ඉක්මණින් ගෙන්න ගන්න ඕනේ .” ජනාධිපතිවරයා කීවේය.

“සර්. සෞඛ්‍ය අංශ අපිට අනුමැතිය දෙන ඕනෑම වෙලාවක අපි ලෑස්තියි එයාර්පෝට් එක අරින්න. ඒකට කරන්න ඕනේ හැමදේම ලෑස්ති කරලයි තියෙන්නේ. ” ප්‍රසන්න කීවේය.

“ප්‍රසන්න ඉක්මණින් එයාර්පෝට් අරින එකයි, සංචාරකයන්ට ලංකාව විවෘත කරන එකයි ගැන කැබිනට් එකට වාර්තාවක් දෙන්න.” ජනාධිපති ප්‍රසන්නට කීවේය.

“ඔව් සර්. අපිට හැමදාම කොවිඩ් කොවිඩ් කිය කිය ඉන්න බෑනේ. අපි දැන් කොවිඩ් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවානේ. මම කැබිනට් එකට නෝට් එකක් දාන්නම්”. ප්‍රසන්න කීවේය.

නව රජයේ මහා මාර්ග ඇමති රාජ්‍ය ඇමතිවරයා වන්නේ නිමල් ලාන්සා ඇමතිවරයායි. ඔහු සාමාන්‍යයෙන් උදේ පාන්දරම සිය වැඩ ආරම්භ කරන ඇමතිවරයෙකු ලෙස ප්‍රකටය. කලින් සතියේ සිකුරාදා සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත් ලාන්සා පහුගිය සතියේ සිකුරාදා සිය අමාත්‍යාංශයේ වැඩ භාරගත් ලාන්සා පහුගිය සදුදා බත්තරමුල්ලේ පිහිටි සිය අමාත්‍යාංශයට ගියේ අලුයම 06.00ට පමණය. ඇමතිවරයා අමාත්‍යාංශයට යන විට  එහි සිටියේ ආරක්ෂක අංශ නියෝජිතයන් පමණි. අමාත්‍යාංශය ඉබි යතුරු දමා වසා තිබුණි. රාජ්‍ය ඇමතිවරයා දුටු ආරක්ෂක අංශ නිළධාරිහු පුදුමයට පත්වුණා.

“තාම කවුරුත් ඇවිත් නැද්ද?” ලාන්සා ඇසුවේය.

“නෑනේ සර්.. තවම අමාත්‍යාංශය ඇරලත් නෑ.  මීට කලින් හිටපු ඇමතිවරු මේ අමාත්‍යාංශයට වැඩිය ආවෙත් නෑ සර්. ආවානම් ආවෙත් දවල් වෙලා. සර් තමයි මේ තරම් උදෙන්ම ආවේ. ” ආරක්ෂක නිළධාරියා කීවේ අමාත්‍යාංශයේ දොර අරින අතරය.

“මම එහෙම තමයි. උදේම වැඩ පටන් ගන්නවා. හෙට ඉදන් අමාත්‍යාංශයේ අයට කියන්න ඕනේ උදේම වැඩ පටන් ගන්න කියලා. ” කියු ලාන්සා උදෑසනම සිය රාජකාරි ආරම්භ කළේය.

නව රජයේ පළමු කැබිනට් මණ්ඩලය රැස් වුයේ පහුගිය බදාදා උදෑසනය. ඇමති මණ්ඩලයේ සියලු දෙනා  ඊට සහභාගී වුහ. පැමිණි සියලුම ඇමතිවරු පිළිගත්තේ ජනාධිපති ගෝඨාභය මහතාය.

“ආණ්ඩුව ගැන රටේ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඇමතිවරු හැටියට ඔබතුමාලගේ වගකීම හරියට  ඉටු කරන්න. කිසිම වෙලාවක ජනතාවගේ අපේක්ෂාවන් බිද වැටෙන විදිහට කටයුතු කරන්න එපා. අපේ වගකීම තමයි ජනතාව අප කෙරෙහි විශ්වාසය තහවුරු කරන එක.” ජනාධිපතිවරයා කීවේය.

“ඇමතිකම් තියෙන්නේ වැඩ කරන්න. අලුතින් හිතලා අලුතින් වැඩ කරන්න. ඒක තමයි රට ඉල්ලන්නේ.” අගමැති මහින්ද කීවේය.

නව රජයේ පළමු කැබිනට් මන්ඩලයට මුලින්ම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඒ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීම පිළිබද මාර්ගෝපදේශ සංග්‍රහයකිනි. ජනාධිපතිවරයා තවත් විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් මංගල කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළේය. ඉන් එකක් වුනේ තවත් උපාධිධාරීන් 10,000 කට රැකියා ලබා දීමට අදාළ කැබිනට් පත්‍රිකාවයි. අනික 2020 සැප්තැම්බර් 01 වෙනි දින සිට 2020 වර්ෂයට අදාළ අයවැය සම්මත වනතුරු කාලය සදහා වියදම් දැරීමට හැකිවන පරිදි අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවයි.

බදාදා සවස ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම ද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රිවරුන් පිළිගත් ජනාධිපතිවරයා කීවේ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය රටම බලා සිටින බවයි.

“පහුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවට ආවේ නෑ. විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ නෑ. හැමතිස්සෙම ඉදිරිපෙළ පේළි හිස්වෙලා තිබුණේ. අපේ මේ පාර්ලිමේන්තුවට එහෙම වෙන්න දෙන්න බෑ. ” අගමැති මහින්ද කීවේය.

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා මහතාත්, නියෝජ්‍ය කථානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, නියෝජ්‍ය කාරකසභා සබාපති ලෙස අංගජදන් රාමනාදන් මහතාත් යෝජනා කිරීමට මෙහි දී තීරණය කෙරිනි. සභානායක ලෙස දිනේෂ් ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකයා ලෙස ජොන්ස්ටන්ගේ නම ද මෙහි දී යෝජනා වු අතර ඒවා ඒකමතිකව සම්මත විය.

පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය පැවති පහුගිය බ්‍රහස්පතින්දා ප්‍රසන්න පාර්ලිමේන්තුවට ආවේ, මුලින් ම පාර්ලිමේන්තුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තේරි පත් වු සහන් ප්‍රදීප්, මිලාන් ජයතිලක, කෝකිලා හර්ෂණි හා උපුල් මහේන්ද්‍ර යන මන්ත්‍රිවරුන් සමගය. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මන්ත්‍රි සේවා කාර්යාලය වැනි කාර්යාල වලට මෙම මන්ත්‍රිවරුන් ගෙන ගිය ප්‍රසන්න එහි සිටි නිළධාරින්ට ඔවුන් හදුන්වා දුන්නේ ඒ කාර්යාල වලින් සිදුවන සේවාවන් පිළිබද පැහැදිලි කිරිමක් ද කරමිනි. ප්‍රසන්න මෙම නවක මන්ත්‍රිවරුන් සමග යන විට අගමැති මහින්ද ද ඒ ඉදිරියට ආවේය.

“ප්‍රසන්න මොකද කට්ටියට පාර්ලිමේන්තුව පෙන්නනවාද?” මහින්ද ඇසුවේය.

“නෑ සර්. මම මේ අයව අපේ නිළධාරීන් මහත්වරුන්ට හදුන්වලා දුන්නා. ” ප්‍රසන්න කීවේය.

“ඒක හොදයි. ඔයාලාට හොද ගුරුවරයෙක් ලැබිලා තියෙන්නේ. ” මහින්ද සිනසෙමින් කිවේය.

“සර් ඉතිං ප්‍රසන්න ඇමතිතුමානේ අපිව පාර්ලිමේන්තුවට ගේන්න මුල් වුණෙත්. එතුමා අපිට පාර්ලිමේන්තුවේ වැඩ කරගන්න විදිහත් කියලා දුන්නා.” සහන් කිවේය.

“වෙන අයනම් එහෙම කරන්නේ නෑනේ සර්. ප්‍රසන්න ඇමතිතුමාගේ වෙනස ඒකයි.” කෝකිලා කීවාය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor