
ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට සෝනියා ගාන්ධි තීන්දු කර තිබේ.
පක්ෂ සභාපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීමට ඡන්දයක් පවත්වන ලෙස ඇය විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත්තේ පක්ෂය තුළ දැවැන්ත ප්‍රතිසංස්කරණ කරන ලෙස ඉල්ලා සිය විරුද්ධ මතධාරීන් තමා වෙත ලිපියක් යොමු කිරීමෙන් අනතුරුවය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් 23 දෙනෙකු විසින් අත්සන තබන ලද එම ලිපිය අනාවරණය වීමත් සමග එය ප්‍රබල අවධානයට ලක් වූයේ පක්ෂයේ තීරණාත්මක වෙනසක් අවශ්‍ය බවට එතරම් පිරිසක් ප්‍රසිද්ධියේ පිළිගත් ප්‍රථම වතාව එය වූ බැවිනි.
සෝනියා ගාන්ධි එම ධුරයේ තවදුරටත් සිටිය යුතු ද යන්න තීරණය කිරීම සඳහා දිල්ලි නුවරදී පක්ෂ නායකයින් අතර හමුවක් පැවැත්විණි.
දශක ගණනාවක් ඉන්දියාව පාලනය කළ කොංග්රස් පක්ෂය මෑත කාලයේ පැවති මැතිවරණවලදී දැඩි පසුබෑමකට ලක් විය.
ඒ සමග පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.
කොංග්රස් පක්ෂයේ නායකත්වය දීර්ඝ කාලයක් පුරා පවතින්නේ ගාන්ධි පවුල සතුවය.

2014 පැවති ඉන්දීය මහ මැතිවරණයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේ එවකට පාලක පක්ෂය වූ කොන්ග්රසය මන්ත්‍රීවරුන් 543 කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 44 කට සීමා කරමිනි.
එවක් පටන් කොන්ග්රස් පක්ෂය දැවැන්ත පසුබෑමකට ලක් වූ අතර, ඉන් අනතුරුව එතෙක් පාලන බලය හිමිව තිබූ ප්‍රාන්ත ගණනනාවක් ද කොන්ග්‍රසයට අහිමි විය.
2019 මහ මැතිවරණයේ දී ද ඒ පසුබෑමෙන් ගොඩ ඒමට කොන්ග්රස් පක්ෂය සමත් නොවීය. ඉන්දියාවේ පැරණිම දේශපාලන පක්ෂය වන කොංග්‍රසය ජනතාව අතර කොතරම් අප්‍රසාදයකට පත වී තිබුණේ ද යන්න එමගින් ගම්‍ය වන බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය විය.
මේ වනවිට කොන්ග්‍රසයට බලය හිමි වී තිබෙන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත හයක පමණි. ඒ අතරින් ප්‍රාන්ත හතරකම එය පාලන බලය හොබවන්නේ සන්ධානයකට නායකත්වය දෙමිනි.
ඇල් මැරුණු නායකත්වය සහ ගාන්ධි පවුලේ ග්රහණයෙන් මිදීමට නොහැකිවීම කොන්ග්රස් පක්ෂයේ මේ පසුබෑමට ප්‍රධානම හේතු බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබූ අවස්ථාවේ සිට මෙවක් පටන් පක්ෂයේ නායකත්වය දරනු ලැබ තිබෙන්නේ නේරු-ගාන්ධි පවුලේ සාමාජිකයෙකු විසිනි.
Text by bbc