වියපත් ‘අඹ සහ රඹුටන් ගසට’ තරුණ ජවයක්: පුනර්ජනන කප්පාදුව – 03

පසුගිය මාසයක දෙකක පටන් මහමග දෙපස ඇත්තේ පලතුරු සැණකෙළියක් යයි කීවාට වරදක් නැත. දිවයිනේ බොහොමයක් ජනාකීර්ණ මාර්ගයන් අයිනේ තාවකාලිකව සාදාගත් ආවරණයන් තුල හෝ පදිකයින්ගේ ගමනට අවහිර වෙන්නට පවා නවතාගත් කුඩා වෑන් රථ තුල හෝ තබාගෙන නා නා විධ පලතුරු විකිනෙන්නේය.

අඹ, දූරියන්, රඹුටන්, අලිපේර පමණක් නොව කාගේවත් පාලනයක් නැතිව කැලයේ සෑදෙන ගල්සියඹලා පවා මේ වාරයේ බහුලව පලදරා තිබේ. මාස කීපයකට ඉහතදී පලතුරු ගස්වල මල් හටගැනීම උත්තේජනය වෙන දැඩි හිරුරැස් පතිත වූ පරිසර ආතතික තත්වයක්ද, ඉන්පසු වර්ධනයට හිතකර සුවදායී වැසිසහිත සිසිල් කාලගුණයක්ද පැමිණීම මෙම පලදාවට හේතුවන්නට ඇති බව ශාක කායික විද්‍යාඥයින්ගේ මතයයි.

කෙසේ වුවත් අද මෙරට තිබෙන බොහොමයක් පලතුරු ගස් සිටවූවා මිස ක්‍රමවත් කප්පාදුවක් යටතේ අයිතිකරුගේ පාලනයට නතුවූ ඒවා නොවේ. ඒ නිසාම ඒවාහි වර්ධනය සිදුවී ඇත්තේ ගසට උවමනා පරිදිය. පලදාව දෙන්නේද සොබාදහමේ නියමයන්ට අනුව තම වර්ගයා නොනැසී පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයක් බීජ නිපදවා පරිසරයට මුදාහැරීමට මිස, සිටවූ පුද්ගලයාගේ ආර්ථික ප්‍රතිලාභයන් පිරිමසන්නට නොවේ. එවැනි පැරණි පලතුරු ගස් දැඩි කප්පාදුවක් හරහා ‘තිරිහන් කිරීමේ’ ක්‍රියාවලිය පුනර්ජනනීය කප්පාදුව සේ හැඳින්වේ. ඒ හරහා පලතුරු ගසට ආදේශ වෙන තරුණ ජවය හරහා අප නෙලාගන්නේ වැඩි පලදාවකි.

අඹ හා රඹුටන් මේ ක්‍රමයට පහසුවෙන් පුනර්යෞවන කරගත හැකි පලතුරු ගස් දෙවර්ගයකි. මීට අමතරව දූරියන්, බෙලි, දිවුල් වැනි පලතුරු ශාකද මෙසේ කප්පාදු කල හැකිය. නමුත් සිට්‍රස් කුලයට අයත් දෙහි, දොඩම් වැනි ශාක සඳහා මෙය සුදුසු වන්නේ නැත.

පුනර්ජනනීය කප්පාදුවේ අරමුණ පලතුරෙන් පලතුරට මෙන්ම වගාකරු අනුවද වෙනස් විය හැකිය. හොඳ ජනප්‍රිය මාදිලියක බද්ධ අඹ පැලයක් සිටුවීමෙන් පසු, අතු කප්පාදුවකට යන්නේ නැතිව, උවමනාවටත් වඩා පරිස්සමෙන් රැකබලා ගැනීමට ගොස්, මේ වනවිට ඔබ නතරවී සිටින්නේ අඹගසට පුනර්ජනනීය කප්පාදුව අත්‍යවශ්‍ය බව සිතෙන ස්ථානයක විය හැකිය.

මන්දයත් සිටුවීම හා පොහොර දැමීම පමණක් ඔබගේ වගකීම ලෙස සලකා කටයුතු කල බැවින් ඔබ සතු අඹ ගසෙහි අතු එකිනෙක අතිපිහිත වීම නිසා, කිරුළේ පත්‍ර වැඩි ප්‍රමාණයකට සූර්යාලෝකය වැටෙන්නේද නැත. ඒ අනුව ශාකයේ සූර්යාලෝක ප්‍රතිග්‍රහණය ඉතා අකාර්යක්ෂමය. ඒ හේතුවෙන්ම පලදාවද අවම අගයක් ගනී.

ගස් උසින් වැඩි බැවින් සෑදෙන සුළු ගෙඩි ප්‍රමාණය වුවත් අපගේ ග්‍රහණයට නතුකර ගැනීම අපහසුය. සැලකිය යුතු ගෙඩි ප්‍රමාණයක් පලතුරු මැස්සාගේ හානියටත්, පැසී ඉදෙද්දී වවුලන් ලේනුන් වැනි වෙනත් සතුන්ගේ ආහාරය පිණිසත් යෙදවෙන්නේය. එවන් හානියක් විඳ දරාගනිමින් දිගටම සිටිය යුතු නැති අතර, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව වගාකරුට හසුරුවාලිය හැකි හුරුබුහුටි ගසක් පැරණි ගසෙන්ම නිර්මාණය කිරීමටයි මේ මූලික පියවර.

පුනර්යෞවනය ලබන ගසේ උස අඩි 10-12 ක් තරමට සීමාකර ගන්නේනම් සෑදෙන ගෙඩි කුඩා අවධියේදී කවර මගින් ආවරණය කිරීම වැනි ක්‍රමයක් හරහා ආරක්ෂා කල හැකි වෙනවා පමණක් නොව පරිනත වනතුරු වෙනත් සතුන්ගෙන් සිදුවිය හැකි හානිද අවම කරගත හැකිවන්නේය. කෙසේ නමුත් කප්පාදුවෙන් පසු, අස්වැන්න නොලැබෙන වසර දෙක තුනක්ද උදාවෙන නිසා ඔබ විසින් ඒ සඳහාද සිත එකඟ කරගත යුතුවේ.

මේ වැසි සමය කප්පාදුවක් සඳහා උචිත කාලයක් වේ. අධික වැසි හා අධික වියලි කාල මගහරින්නේ නම් වඩාත් යෝග්‍යයය. අතු බොහොමයක් කපා දැමුව විටදී පසෙහි තිබෙනා ජලය කාර්යක්ෂමව ශාකය තුලට ඇද ගැනීමට ඉවහල් වන, පත්‍ර වලින් ජලය වාශ්පවීම නිසා ගොඩනැගෙන චූෂණ බලය නොහොත් උත්ස්වේදන චූෂණය ශාකයට අහිමි වී යයි. ඒ නිසා කප්පාදුව සිදුකරන අවස්ථාවේදී පහසුවෙන් උරාගැනීම සඳහා පසේ හොඳින් ජලය තිබිය යුතුයි.

ජලය ඇදගනීමට අවශ්‍ය චූෂණ බලය ලබාදීම සඳහා ප්‍රමාණවත් වන පරිදි එක අත්තක් පමණක් ඉතිරි කර අනෙක් අතු කපා දැමීම පුනර්ජනනීය කප්පාදුවේ පළමු පියවරයි. ඉතිරි කරන මෙම අත්ත ප්‍රධාන අත්තක් නොවන අතර ගසේ සමතුලිතතාවයට බාධාවක් නොවන පරිදි පත්‍ර හොඳින් තිබෙන කුඩා අත්තක් විය යුතුවේ. පැරණි අඹ ගසක් දරන මුළු අතු ප්‍රමාණයෙන් 80% ක් පමණ ඉවත් කරනවා යනු, විශාල දැව ප්‍රමාණයක් නිදහස් වීමකි. දුර්වල දැව වර්ගයක් නිසා මේවා කලක් තබාගැනීමද කල නොහැකිය. එබැවින් කප්පාදුවෙන් පසු නිදහස්වෙන දැව සඳහාද ආර්ථික වටිනාකමක් ලබාගැනීමේ ක්‍රමයක් සූදානම් කරගෙනම කප්පාදුව ඇරඹීම වඩාත් පලදායී වේ.  

අතු බෙදීම ඇරඹි ස්ථානයට අඟල් කීපයක් ඉහලින් මෙම අතු කපා ඉවත් කල යුතුවේ. (ඉතිරි කරන අත්ත හැර)අතු කැපීම සඳහා යාන්ත්‍රික කියතක් භාවිතා කල හැකිය. කැපුම් තලය මත ජලය නොරැඳෙන පරිද්දෙන් යම් ආනතියකින් කැපිය යුතු අතර, දිලීර නාශකයක් කැපූ පෘෂ්ඨයේ ආලේප කිරීමටත්, එය වියලුන පසු ඊට උඩින් සුදු එනමල් තීන්ත මගින් තුවාලය වැසීමටත් අමතක නොකරන්න. මෙම තීන්ත ආලේපනය වසරකට වරක් පමණ කීප වතාවක් කලයුතු වේ. කැපූ අතුවල මෙතෙක් කලක් අක්‍රියව තිබූ පාර්ශ්වික අංකුර වහ වහා ක්‍රියාත්මක වන බව ඔබට පෙනේවි. තමාට අවශ්‍ය ආකාරයේ කිරුළක් සාදාගැනීම උදෙසා ප්‍රමාණවත් අතු සංඛ්‍යාවක් ඉතිරි කරගෙන අලුතින් සෑදෙන වැඩිපුර රිකිලි ඉවත් කිරීමට පසුබට නොවන්න.

ලපටි දළු පහසුවෙන් ඇන්ත්‍රැක්නෝස් වැනි දිලීර රෝග වලටද, අඹ කීඩෑවා වැනි කෘමීන්ගේ හානියටද පාත්‍ර විය හැකි නිසා සංස්ථානික කෘමිනාශක සහ දිලීර නාශක යෙදීමද ආරක්ෂක පියවරකි. බොහොමයක් කප්පාදු කල අඹ ගස් අසාර්ථකවන්නේ අලුතින් හටගන්නා රිකිලි වලට සිදුවන මෙවැනි ආසාදනයන් නිසා බැවින් කප්පාදුවෙන් පසු මෙය විශේෂයෙන් සැලකියයුතු කරුණක් වන්නේය. අඹ කීඩෑවා මර්දනයට තියාමෙතොක්සෑම් Thiamethoxam (ඇක්ටාරා) හෝ ඉමිඩක්ලොප්‍රිඩ් Imidacloprid (ඇඩ්මයර්) යොදන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් සැලකිය යු මේ වසවිස ද්‍රව්‍ය මල් පිපුනාට පස්සේ නම් යොදන්න එපා. පරාගනය සඳහා උපකාර කරන හිතකර කෘමි සතුනුත් මැරෙනවා. දළු වලට පමණයි.

ලපටි දළුවලට එන ඇන්ත්‍රැක්නෝස් දිලීර රෝගය පාලනයට ඩැකොනිල් Daconil හෝ කාබෙන්ඩසිම්  Carbendazim වැනි දිලීර නාශකයක් යොදන්න පුළුවන්. ශාකයේ ජීවී ක්‍රියාකාරිත්වය සඳහා සෑදී ඇති නව කිරුල ප්‍රමාණවත් යයි සිතෙන්නේ නම්, පෙරදී ඉතිරි කරගත් පැරණි අත්තද දැන් කපා දැමිය හැකිවේ. බොහෝවිට මේ සඳහා වසරක් හෝ දෙකක් ගතවෙනු ඇත. තම පාලනයට යටත් කිරුළක් මෙතැන් සිට පවත්වාගෙන යාම වගාකරුගේ වගකීමයි. කෘතිම උත්තේජනයක් ලබාදී මල් හටගැන්වීමද, ඒ හරහා තමාට අවශ්‍ය කාලයට පලදාවක් ලබාගැනීමටද දැන් පුළුවන. නමුත් එම මාතෘකාව එනම කතා කල යුත්තකි.

රඹුටන් වල ඇත්තේ වෙනම තත්වයකි

රඹුටන් වල ඇත්තේ වෙනම තත්වයකි.  සිටුවීමේදී බද්ධ පැලයක්ම සිටුවන මෙන් මෙහිදී උපදෙස් දෙන්නේ රඹුටන් ගෙඩියේ ඇටයෙන් සෑදෙන පැල ඇතැම්විට අඩකටත් වඩා ප්‍රමාණයක් පිරිමි ශාක ලෙස උපදින නිසාය. ඒවාහි කිසිදා ගෙඩි හටගන්නේ නැත. ගස පිරෙන්නට මල් පිපෙනවා පමණි.

ඔබගේ වත්තේ ඇති එවන් රඹුටන් ගසක් පුනර්ජනනීය කප්පාදුවක් හරහා ‘තිරිහන්’ කිරීමේදී අලුතින් ලියලා එන අංකුර වලට රසවත් රඹුටන් මාදිලියක් බද්ධ කරගැනීමෙන් ඔබ ලබනා තෘප්තිය සුළුපටු නොවනු ඇත. පිරිමි ගසක් නොවුනත්, ඇඹුල් රසැති, හොඳින් මදය නොගැලවෙන ගෙඩි දරනා රඹුටන් ගසක් වුවද මේ ක්‍රමයෙන් ‘මල්වාන’ රඹුටන් බවට පත්කළ හැකිවේ.

කප්පාදුව සඳහා තිබිය යුතු පරිසර තත්වයන් අඹ කප්පාදුවේ අකාරයටමය. එක වෙනසක් වන්නේ බීජ වලින් බිහිවූ බොහොමයක් රඹුටන් ගස් අතු බෙදෙන්නේ නැතිව, තනි කඳක් සේ සෑහෙන දුරක් වර්ධනයවූ ඒවා වීමයි. එසේනම් කප්පාදුවේදී පළමුව කල යුත්තේ අඹ ගසට සිදුකල පරිද්දෙන්ම එක අත්තක් ඉතිරි වන සේ අනෙක් අතු බිම හෙලා ගසේ බර අඩු කිරීමයි. අනතුරුව පොලොව මට්ටමට අඩියක් දෙකක් ඉහලින් ප්‍රධාන කඳේ භාගයක් පමණ ගැඹුරට හරස් කැපුම් දෙකක් යොදා, ඉංග්‍රීසි වී (V) අකුර හැඩැති තුනී දැව පෙත්තක් ඉවත් කර ගැනීමයි.

මෙහි ඇති ඡායාරූපයේ ඇත්තේ රඹුටන් නොවූවත්, කඳකට යෙදූ එවන් කැපුමකි. ගසේ බර කලින්ම අඩුකළ යුත්තේ මෙම දුර්වල ස්ථානයෙන් බිඳී ගස පෙරලීයාම වැලැක්වීමටයි. නොබෝ දිනෙකින් කැපුමට පහල ප්‍රධාන කඳෙන් රිකිලි ලියලා එනු ඇති. අඹ ගසට තරම් ඇන්ත්‍රැක්නෝස් හෝ කීඩෑ හානියක් මෙහිදී සිදුවන්නේ නැත. එහෙත් ලපටි දළු රිකිලි වල ආරක්ෂාව පිළිබඳව නිතර සොයා බැලිය යුතුවේ. සුළුවෙන් හෝ කෘමි හානියක් දක්නට ලැබෙන්නේ නම් සැර අඩු කෘමිනාෂකයකින් ගැටලුව විසඳා ගත හැකිය.

හොඳින් වැඩෙන රිකිලි තුන හතරක් වුවත් ඉතිරි කරගෙන අනෙක්වා ඉවත් කිරීමෙන් ඉතිරි කරගත් රිකිලිවල වර්ධනය වේගවත් වන අතර, බද්ධ කිරීම සිදු කල යුත්තේ මේවාටය. ඒ සඳහා අලුත් රිකිලි පැන්සලක් තරමටවත් මහත් වෙනතුරු ඉවසා සිටින්නට ඔබට සිදුවේවි.

ඉදිරි ලිපි

රඹුටන් වර්ග කීපයක් එකම ගසේ අතුවල ! වැටුනහම ගෙඩි අහුලන බෙලි,දිවුල්, දූරියන් වලට පුනර්ජනන කප්පාදුවක් කුමටද?

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor