සම්පත් බැංකුවේ මුළු වත්කම් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යයි

Covid-19 වසංගතය පැතිරීයාමේ කේන්ද්‍රය, චීනය සහ නැගෙනහිර ආසියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපයට මාරුවීමත් සමඟ ගෝලීය ආර්ථිකය දැඩි පසුබෑමට ලක් විය. බොහෝ රටවල් වසංගතය පාලනය කිරීමේ අරමුණින් දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි ඇඳීරිනීතිය පැනවීම සහ සංචරණ සීමාකිරීම සිදු කරන ලද අතර 2020 මාර්තු මස සිට එය ලොවපුරා ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි ලෙස බලපෑම් සිදු කරන ලදී.

මේ වනවිට ද අභියෝගයට ලක්ව ඇති දේශීය ආර්ථිකය, Covid-19 වසංගතය පැතිරීයාමෙන්, තවදුරටත් ආතතියට පත් විය. මෙම ආර්ථික අභියෝගයන්ට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව දෙවන කාර්තුවේදී, දෙවරක් ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2020 ජූනි 30 වන විට සම්මත තැන්පතු පහසුකම් අනුපාත (SDFR) සහ සම්මත ණය පහසුකම් අනුපාත (SLFR) පිළිවෙලින් 5.5% සහ 6.5% ක් දක්වා පහත වැටුණි. එසේම වෙළඳපල ද්‍රවශීලතා මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් 2020 මුල්භාගය තුළදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අදියර දෙකකින්, 5% සිට 2% දක්වා පහත හෙලන ලදි.

Covid-19 වසංගතය හමුවේ ආර්ථිකය හා බැංකු ක්ෂේත්‍රය, සමස්තයක් ලෙස පෙර අත්නොදකින ලද අභියෝගයන්ට මුහුණදෙමින් සිටි මධ්‍යයේ වුවද, සම්පත් බැංකුවට සිය මුළු වත්කම්, ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් ට්‍රිලියනය සීමාව පසුකර යාමට හැකි වූ බව සතුටින් දන්වයි. වසර 33 ක් වැනි කෙටි කාලයක් තුළදී, මෙවැනි සන්ධිස්ථානයකට ළඟා වූ ශ්‍රී ලංකාවේ ලාබාලතම ව්‍යාපාරික සංවිධානය ද සම්පත් බැංකුව විය හැක.

රට තුළ පැවති සංචරණ සීමා හේතු කොටගෙන, දැඩි ලෙස පීඩාවට පත් වූ සිය වටිනා ගනුදෙනුකරුවන්ට ඔවුන් මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා වූ සේවාවන් සැලසීමට, මෙම අසීරු කාලපරිච්ජේදය තුළදී බැංකුව අතිමහත් පරිශ්‍රමයක් දැරීය. සම්පත් බැංකුවේ පුළුල් ශාඛා ජාලයත්, තොරතුරු තාක්ෂණයේ ප්‍රවීණත්වය හා ඒ සම්බන්ධව සිදු කරන ලද සැලකිය යුතු ආයෝජනයන් හේතු කොටගෙන මෙම අභියෝගාත්මක කාල මධ්‍යයේ කිසිඳු බාධාවකින් තොරව කටයුතු කිරීමට සම්පත් බැංකුවට හැකි විය. රජය විසින් හඳුන්වා දී ඇති සියලුම සහන ක්‍රියාමාර්ග ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට බැංකුව කැප වූ අතර, රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද තාවකාලිකව ණය අයකිරීම ප්‍රමාද කිරීමේ ක්‍රමය යටතේ, බැංකුවේ ණය කළඹෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සහන සඳහා සුදුසුකම් ලැබීය. තවද රජය විසින් හඳුන්වා දුන් සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබා දීමේ දී බැංකුව ක්‍රියාකාරීව කටයුතු කළේ ය. එසේම, ප්‍රතිව්‍යුහගත කිරීම ද ඇතුළුව, සෑම අංශයකම දැඩිලෙස බලපෑමට ලක් වූ ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සියලු සහන සැලසීමට ද ක්‍රියාකාරීව පියවර ගන්නා ලදී.

2020 මුල් අර්ධ වර්ෂයේ දී මුහුණ පෑමට සිදුවූ පෙර අත්නොදකින ලද අභියෝග හේතුකොටගෙන එම කාලයේ මුල්‍ය ප්‍රතිඵල 2019 මුල් අර්ධ වාර්ෂිකය සමඟ සංසන්දනය කිරීම, යථාර්ථවාදී නොවිය හැකි බවද සැලකිල්ලට ගත යුතු කරුණකි.

2020 පළමු භාගය සඳහා වූ සම්පත් බැංකුවේ මුල්‍ය ප්‍රතිඵල

2020 ජූනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් බැංකුව බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 5.32 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 3.97 ක් වාර්තා කර ඇත. 2020 මාර්තු මස මැද භාගයේ සිට පැවැති පෙර අත්නොදකින ලද අභියෝග මධ්‍යයේ වුවද , 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව බදු පෙර ලාභය සහ බදු පසු ලාභයෙහි පහත වැටීම පිළිවෙළින් 8% කට සහ 3.2% කට සීමා කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 වර්ෂය සඳහා ළඟාකරගැනීමට අපේක්ෂා කරන ඉලක්ක වෙත බැංකුව ශක්තිමත් ප්‍රගතියක් ලබා දී ඇති අතර, තාක්ෂණික දියුණුව හා සබැඳි විවිධාර්ගීකරණය වූ නිෂ්පාදන කළඹ සහ ශක්තිමත් පිරිවැය පාලන පියවරයන් මඟින් ලාභයට වන බලපෑම පාලනය කිරීමට බැංකුවට හැකි වී ඇත. 2020 ජුනි 30 දිනෙන් අවසන් වූ මාස හය සඳහා සම්පත් සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 7.7% සහ 4.2% කින් පහත වැටුණු අතර එය පිළවෙලින් රුපියල් බිලියන 5.48 ක් සහ රුපියල් බිලියන 3.99 ක් විය.

මේ අතර, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 13.30% ක් සහ මුළු ප්‍රාග්ධන අනුපාතය 16.77% ක් වශයෙන් පවත්වා ගනිමින් බැංකුව මනා ප්‍රාග්ධනීකරණයකින් යුතුව මෙහෙයුම් සිදු කර ඇත.

අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)

2020 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව සඳහා බැංකුවේ ශුද්ධ පොලී ආදායම සාධක දෙකක් හේතුකොටගෙන සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වූ අතර, එම සාධක වනුයේ, ආර්ථිකයට සහන ලබා දීම සඳහා ප්‍රතිපත්ති අනුපාත අඩු කිරීම සහ ණය අයකර ගැනිම් තාවකාලිකව අත්හිටුවීමේ ක්‍රමවේදය යටතේ ගනුදෙනුකරුවන්ට සහන සැලසීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස Covid-19 ණය අයකර ගැනීම් පමා කිරීමේ ක්‍රමවේදය යටතේ පළමු දින අලාභය (day 1 loss) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 9 (SLFRS-9) හි සඳහන් වන සංශෝධිත ක්‍රමය අනුගමනය කරමින් හඳුනා ගත් අතර පොලී ආදායමට එරෙහිව වාර්තා කරන ලදී. සමස්ථ පළමු දින අලාභයම මෙම කාලපරිච්ජේදයේදී වාර්තා කල බැවින් 2020 දෙවන අර්ධ වාර්ෂිකය තුළ වාර්තා කිරීමට Covid-19 ණය අයකිරීම් ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය ආශ්‍රිත අමතර අලාභ කිසිවක් ඉතිරිව නැත.

ඉහත සඳහන් කළ හේතුන් මත, බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2019 අනුරූපී කාලපරිච්ජේදයට සාපේක්ෂව 2020 පළමු භාගය තුළ 11.9% පහත වැටී ඇති අතර එය රුපියල් බිලියන 17.4 ක් ලෙස වාර්තා විය. ශුද්ධ පොළී ආදායමට බලපාන සාධක කළමනාකාරීත්වය විසින් සමීපව අධීක්ෂණය කරන අතර, බැංකුවේ වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුව විසින් ශුද්ධ පොලී ආදායම ප්‍රශස්ත මට්ටමට කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත. සමස්තයක් වශයෙන්, සමලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා පොලී ආදායම රුපියල් බිලියන 5 කින් පහත වැටී, රුපියල් බිලියන 46.2 ක් ලෙස වාර්තා වූ අතර, එය 2019 වර්ෂයට අදාළ අනුරූපී කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 51.2 ට සාපේක්ෂව 9.8% ක අඩු වීමකි. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 31.4 ට සාපේක්ෂව, 2020 දෙවන කාර්තුවේ ද මුළු පොලී වියදම රුපියල් බිලියන 28.8ක් විය. එය 8.5% ක අඩුවීමකි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් , 2020 වර්ෂයේ පළමු අර්ධ වර්ෂය සඳහා වූ ශුද්ධ පොලී ආන්තිකය, 2019 දී වාර්තා වූ 4.46% ට සාපේක්ෂව 3.57% ක් විය.

අරමුදල් මත පදනම් නොවන ආදායම (NFBI)

ණය ,වෙළඳ , කාඩ්පත් හා විද්‍යුත් මාර්ග ආශ්‍රිත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා රුපියල් බිලියන 3.8 කට සීමා වූ අතර, එය 2019 වර්ෂයේ පළමු භාගයෙහි වාර්තා වූ අගයට වඩා 18.9% ක පහත වැටීමකි. මෙම පහත වැටීමට ප්‍රධාන සාධකය වූයේ, මෙම අභියෝගාත්මක කාලපරාසය තුළ ගණුදෙනුකරුවන්ට සහන සැලසීම අරමුණු කර ගෙන පනවා තිබූ සීමාවන් හේතුවෙන් ණය ආශ්‍රීත ගාස්තු සහ කොමිස් ආදායම අඩුවීම ය. මේ අතර, සම්පත් විශ්ව (app) හා අනෙකුත් විද්‍යුත් මාර්ග ආශ්‍රිත නිෂ්පාදන පුළුල් භාවිතය හේතුවෙන් විද්‍යුත් මාර්ග ආශ්‍රීත ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර ඇත.

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.7% කින් අවප්‍රමාණය වූ අතර ඒ හේතුවෙන් උපලබ්ධි විනිමය ආදායම වැඩිවීම නිසා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම, 2020 වර්ෂයේ පළමු භාගයේ දී 509% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයේ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 642 ක් වූ අලාභයේ සිට 2020 වර්ෂයේ පළමු මාස හය සඳහා වූ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.6 ක් දක්වා වර්ධනය විය. අනෙත් අතට ඉහත සඳහන් කල විනිමය අවප්‍රමාණය හේතුවෙන් ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 107 ක ශුද්ධ වෙළඳ අලාභයක් දැරීමට සිදු විය. එබැවින්, සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා විදේශ විනිමය ගනුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 1.8 ක් විය.

මෙහෙයුම් වියදම්

මෙහෙයුම් වියදම්, 2019 වර්ෂයේ පළමු භාගයෙහි රුපියල් බිලියන 10.1 ක් වූ අතර, එය සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ රුපියල් බිලියන 9.6 ක් දක්වා අඩුවිය. එය 5.2% ක වාර්ෂික පහත වැටීමකි. බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පිරිවැය පාලන උපායමාර්ග මෙම පහත වැටීම කෙරෙහි ඉවහල් වී ඇත. 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා කල 38.8% සිට බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය (මුල්‍ය සේවාවන් මත වූ එකතු කල අගය මත බදු ඇතුළත් නොවූ) 2020 පළමු මාස හය තුළ 40.2% ක් දක්වා අන්තික වර්ධනයක් සිදු වී ඇත.මෙම ආන්තික වර්ධනයට ප්‍රධාන හේතුව වූයේ, 2020 මුල් භාගය තුළ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් පහත වැටීම වේ.

ණය හා ලැබීම් මත අපහායන අයකිරීම්

පවත්නා ආර්ථීක අවපාතය හේතුවෙන් ණය අවදානම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති ගනුදෙනුකරුවන් සඳහා බැංකුව විසින් සැලකිය යුතු ප්‍රතිපාදනයක් සිදුකර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, 2019 වර්ෂයේ අනුරූප කාලපරිච්ජේදයේ වාර්තා වූ රුපියල් බිලියන 2.5 සිට 2020 වර්ෂයේ මුල් භාගයේදී තනි ලෙස සැලකිය යුතු ගනුදෙනුකරුවන්ට එරෙහි අපහායන අයකිරීම් රුපියල් බිලියන 4.3 දක්වා ඉහළ ගොස් ඇත. තවද, ආර්ථික පසුබෑම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, සම්පත් බැංකු කළමණාකාරිත්වය, සාමුහික අපහායන ප්‍රතිපාදනයන්ද වැඩි කිරීමට තීරණය කරන ලදී. කෙසේ වුවද, 2020 වර්ෂයේ මුල් මාස හය සඳහා වූ සාමුහික අපහායන අයකිරිම්, පසුගිය වසරේ මුල් භාගයට සාපේක්ෂව අඩු වී ඇති අතර, ඊට අදාළ වූ හේතුන් පහත පැහැදිලි කර ඇත. 2019 අප්‍රේල් මස සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ණය කළඹෙහි ගුණත්මකභාවය දැඩි ලෙස බලපෑමට ලක් වූ අතර, එමඟින් 2019 දෙවන කාර්තුවේ දී සාමුහික අපහායන අයකිරිම් ඉහළ දැමීමට බැංකුවට සිදුවිය.

ව්‍යාපාර වර්ධනය

සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුළ සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 4.5% (වාර්ෂික 9%) කින් වර්ධනය වූ අතර එය 2020 ජූනි 30 දිනට රුපියල් ට්‍රිලියන 1 ට ළඟා විය. එය 2019 දෙසැම්බර් 31 වන විට රුපියල් බිලියන 962 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා රුපියල් බිලියන 28 ක වර්ධනයක් වාර්තා කරමින්, 2020 ජුනි 30 දිනට දළ ණය සහ අත්තිකාරම් 3.9% ( වාර්ෂික 7.8%) කින් වර්ධනය වී රුපියල් බිලියන 748 දක්වා ළඟා වී ඇත. එම කාලපරිච්ජේදය තුළදී 10% (වාර්ෂික 20%) වර්ධනයක් සහිතව මුළු තැන්පතු පදනම රුපියල් බිලියන 72 කින් වර්ධනය වී, වාර්තා කරන දිනට රුපියල් බිලියන 790 ක් ලෙස වාර්තා විය. මේ අතර ජංගම ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA) 2019 දෙසැම්බර් 31 දිනට 35.2% සිට 2020 ජූනි 30 වන විට 36.6% ක් දක්වා ආන්තිකව වර්ධනය වී ඇත.

කාර්යසාධන අනුපාත

බදු පසු ලාභයෙහි සිදුවූ පහත වැටීම හේතුකොටගෙන 2019 දෙසැම්බර් 31 වන විට 11.78% ක් වූ සාමාන්‍ය ස්කන්ධ මත ඉපැයීම් අනුපාතය (ROE) (බදු පසු ) 2020 ජූනි 30 දිනට 7.56% ක් දක්වා අඩු වී ඇත. තවද 2019 දෙසැම්බර් 31 දිනට 1.66% ක් වූ ආදායම් බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය වත්කම් මත ඉපැයුම් අනුපාතය ද (ROA) 1.09% ක් දක්වා, පහත වැටී ඇත.

දේශීය බැංකු ඒකකය හා අක්වෙරළ බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශිල වත්කම් අනුපාතය (SLAR) මෙම කාලසීමාව පුරාවට 20% ක අවම සීමාවන් වලට වඩා ඉහළින් පැවති අතර 2020 ජූනි 30 දිනට පිළි‍වෙලින් 28.12% සහ 33.88% දක්වා වර්ධනය වී ඇත.

ප්‍රාග්ධන ප්‍රමාණත්මතාව

2020 ජූනි 30 දිනට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවලින් 13.30% , 13.30% සහ 16.77% ක් වූ අතර, වාර්තා කරන දිනට ඊට අනුරූප ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම සීමාවන් වන 6.5%, 8% සහ 12% ට වඩා ඉහළ අගයකින් පැවතුණි.

Recommended For You

About the Author: Editor