ගොවියාටත් බෝනස් ! කුඹුරෙන් මතුවෙන ‘හතර මහා නිධානය’

යල මහ දෙකන්නය මැද තවත් කන්න දෙකක්

මේ තුන්වෙනි කන්නය ඇරඹෙන කාලයයි

රනිල බෝග ප්‍රවර්ධනයට තාත්වික තල්ලුවක්

අමතර ජලය, පොහොර කිසිවක් එපා

මැද කන්නය වැවුවොත් යල මහ දෙකන්නයත් සරුයි

2018 වසරේදී මුංඇට මෙට්‍රික් ටොන් 16,425 ක් අප ආනයනය කර ඇත්තේ රුපියල් කෝටි 223 ක මුදලක් වියදම් කරගෙනය. මෙරට නිපදවා තිබුනේ ටොන් 9856 ක් වන අතර ඒ සඳහා හෙක්ටයාර් 8615 ක් තුල මෙම බෝගය වගාකර තිබේ. එසේනම් අපට නිපදවන්නට හැකිවී තිබෙන්නේ රටේ අවශ්‍යතාවයෙන් 37% තරම් සුළු ප්‍රමාණයකි‍.

වැඩිපුරම මුං වවා ඇත්තේ පිලිවෙලින් මොනරාගල, හම්බන්තොට, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක වලයි. රටේ විශාල ප්‍රදේශයක වැවිය හැකි බෝගයක් නිසාද, දේශීය පරිසරයට උචිත ප්‍රභේදයන් අප විසින්ම නිපදවාගෙන ඇති නිසාද, මෙවන් මුදලක් අපේ අසල්වැසි ගොවියාගේ සාක්කුවට යන්නට ඉඩහැරීම අපරාධයකි.

අනෙක් අතට ආනයනික මුංඇට වවන්නේ කුමන පොහොර දමාදැයි අප දන්නේ නැත. ගුල්ලන් බෝනොවී අස්වැන්න කල්තබා ගැනීම සඳහා මුංඇට මල්ලට එකතුකෙරුවේ මෙන්න මේවායයි, ගෝනියේ පිට පැත්තේ ලියා එවන්නේද නැත. එසේනම් සාමාන්‍ය ජනතාවගේ ‘වසවිස’ පාරිභෝජනයට දේශීය ගොවියාගෙන් ලැබෙන සම්මාදමට වඩා කීප ගුණයකින් වැඩි දායකත්වයක් ආනයනික ආහාරයන්ගෙන් ලබෙනබව පැවසීම අසාධාරණ නොවේ.

කෙසේ වෙතත් දේශීයව නිපදවා ගතහැකි මෙවැනි බෝග වර්ග 16 ක් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නව රජය යටතේ ආරම්භකිරීම පැසසිය යුත්තකි. මුංඇට ඒ අතරද තිබේ. අතිරේක ආහාර බෝග වර්ග රාශියක් මෙරටදීම නිපදවා ගැනීමේ හදිස්සියක්ද මතුවී ඇති අවස්ථාවක් නිසා, භූමියේ කාර්යක්ෂමතාවය ඉහල නංවන ක්‍රමවේදයන්ගේ මතකය යලි අලුත් කරගැනීමට අප මේ සටහන ලියා තබමු.

වර්තමානයේදී මෙරට බොහෝවිට වගාකරන ගොයම මාස තුනක හෝ තුනහමාරක වයස් කාණ්ඩයේ ඒවා බැවින්, වසරෙන් හරි අඩක්ම පාහේ කුඹුරු ඉඩම් පවතින්නේ පුරන් තත්වය යටතේ බව බොහෝදෙනා අතින් මගහැරී යන කාරනාවකි. සාම්ප්‍රදායික වී ගොවියාද හුරුවී ඇත්තේ ඊටම ගැලපෙන විශ්‍රාමශීලී ගොවිතැනකටය.

යල මහ දෙකන්නයට අතරමැදිව, ජූලි මස අග සිට ඔක්තෝබරය දක්වා මාස දෙකහමාරක පමණ කාලයක් තිස්සේ වල් බිහිව තිබෙන පුරන් කුඹුර, සක්‍රිය නිෂ්පාදනයට යොදාගැනීමේ පර්යේෂණ, 80 දශකයේ මුල් භාගය වැනි ඈත කලකදී මහඉලුප්පල්ලම පර්යේෂණායතනයේදී  ඇරඹූ කෘෂි විද්වතෙකි  එස්. එන්. ජයවර්ධන මහතා.

යල මහ දෙකන්නය අතරමැදින් නිරපරාදේ ගෙවීයන දින හැත්තෑපහක පමණ කාලපරාසයත්, වාෂ්ප ලෙස වා තලයට එකතුවෙමින් අපතේ යන පොළොවේ රැඳි තෙතමනයත්, ගොයමට උරා ගත නොහැකිව තවමත් පසෙහි ඉතිරිව තිබෙනා පෝෂ්‍ය පදාර්ථත් වනාහී ගොවියාට බෝනස් දෙන්නට අවදිකරවා ගතහැකි සම්පත් සංචිතයන් බව අපට පෙනී යන්නේ ඔහුගේ සොයාගැනීම් හරහාය.

“70 දශකයට කලින් යල මහ දෙකන්නයට කුඹුරු කරන එක තමයි ප්‍රධාන වගා ක්‍රමය උනේ. නමුත් යල කන්නයට වාරි ජලය යටතේ කුඹුරුවල වෙනත් බෝග වවන, බෝග විවිධාංගීකරණය කියන සංකල්පය හඳුන්වා දුන්නට පස්සේ රටේ සමස්ත වශයෙන් රනිල බෝග නිෂ්පාදනය වැඩිඋනා. ඒත් 1997 න් පසු රටේ ඇතිවුණු ආර්ථික ප්‍රතිපත්ති හා ගොවිතැන දෙස සමාජය බලන කෝණයේ සිදුවූ අසමතුලිතතාවය හේතුවෙන්, අද දක්වාම මේවාහි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා. මේ නිසා රනිල ආනයනය සඳහා දැරිය යුත්තේ එසේමෙසේ වියදමක් නෙවෙයි.”

රනිල බෝග නිෂ්පාදනයේ මෙම පරිහානියට සරල හේතුව වන්නේ පිටරටින් එන ඇට වර්ග අපහසුවෙන් තොරව හා ලාභයට ගැනීමට කඩපිල්වල ගොඩගසා තිබීමයි. මුං බෝගය පමණක් සැලකීම වුවද තත්වය තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. 1990 දී මෙට්‍රික් ටොන් 26931 ක් වූ දේශීය නිෂ්පාදනය වසර 20 ක් තුල, එනම් 2010 දී ටොන් 11703 ක් දක්වා පල්ලම් බැස ඇත්තේ 57% කිනි. තවත් වසර අටක් ගියතැන 2018 දී දේශීය මුංඇට නිෂ්පාදනය ටොන් 9856 ක් වූවා යනු 1990 ට සාපේක්ෂව 63% බැස්මකි.

“යල කන්නයේ සිදුකල වී වගාවෙන් පස්සේ කුඹුරු ලියැදිවල අවශේෂ පෝෂක විතරක් නෙවෙයි සුළු තෙතමනයකුත් තිබෙනවා. මීට අමතරව හදිසියේ ඇවිත් යන වැස්සකින් වැටෙන ජලයත් ප්‍රයෝජනයට ගතහැකි. හොඳින් ජලය බැසයන දියසීරාව සහිත කුඹුරුවල ගොයම් කපනවත් එක්කම පැය 4-5 ක් ජලයේ පෙඟවූ මුං වැපිරීම කල හැකියි. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තිබෙන එම්.අයි. 5 , 6, 7 කියන ප්‍රභේද තුනම දින 65 න් අස්වැන්න ගතහැකි කෙටිකාලීන වර්ග. ඒ නිසා ඊළඟ මාස් කන්නයට කලින් අස්වැන්න ගන්න පුළුවන්.”

අඟුණකොළපැලැස්සේ පර්යේෂණ ස්ථානයේදී තුන්වෙනි කන්නයක වගතුග හා බැඳුනු පර්යේෂණ වර්තමානයේ මෙහෙයවන සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) නිලූකා ගුණතිලක මහත්මිය පවසන්නේ එවන් අදහසකි. ඉපනැල්ලේ ඇවිදිනවිට පා සලකුණු ඒ මත සටහන් වෙන තරමට පස තෙත්ව පවතින්නේ නම් වැඩේට භූමිය සූදානම් බව කියවෙන ඉඟියකි එය.

එසේ නැතිනම් පස් අහුරක් අතට ගෙන වරක් මිරිකා නොකැඩෙන ගුලියක් සෑදිය හැකිනම් එයද ප්‍රමාණවත් තෙතමනයක් ඇති බවට සාක්ෂියකි. වපුරන මුංඇට පසට යටකිරීම සඳහා ගැඹුරු නැතිව වරක් සීසෑම වුවද වරදක් නැත. උඳු හෝ මුං වපුරන්නේ නම් අක්කරයකට බීජ කිලෝග්‍රෑම් 20 ක් හොඳටම ප්‍රමානවත්වේ. කව්පි හෝ කොල්ලු වැනි බෝගයන්හි බීජ විශාලත්වයෙන් වැඩි බැවින් වැපිරීම සඳහා ඒවා සුදුසු නොවේ. ලියැද්දේ කුඩා ඇලි සලකුණු කරගෙන ඒ තුලට පේලියට බීජ දැමීම වඩාත් උචිත ක්‍රමයයි.

“උඳු කියන්නේ විශාල පරාසයක පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙන එකවර අස්වැන්න නෙලිය හැකි බෝගයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරලා තියෙන ‘අනුරාධ’ උඳු ප්‍රභේදය මාස දෙක හමාරකට කලින් පැහෙනවා. ඒ නිසා මැද කන්නයට හොඳටම ගැලපෙනවා.”

නිලූකා උඳු ගැන එසේ කීවද, කොල්ලු ගැන නම් ඇය එතරම් පුළුල් නිර්දේශයක් දෙන්නේ නැත. එය මෝරන්නට මාස තුනක් පමණ ගතවීම ඊට හේතුවයි. මහ කන්නය වගා නොකරන්නේ නම් හෝ මහ පටන්ගන්නට ප්‍රමාද වෙන්නේ නම් හෝ, කොල්ලු සිටුවීමට වුවත්  තුන්වෙනි කන්නය උචිත වේ. පෙර වගා කන්නයේදී ගොයමට හැලූ පොහොර ඉතිරියක් තවමත් පසේ තිබේ. ඒ ටික බොහෝවිට වගාවට ප්‍රමාණවත්ය. මුං බෝගයේ කොළ පැහැය මදියයි සිතෙන්නේනම්, පත්‍ර තරමක් කහ පාට වෙමින් නයිට්‍රිජන් ඉල්ලා සිටින්නේ නම්, අක්කරයකට යූරියා කිලෝග්‍රෑම් පහක් පමණ ඉස දැමීම සුදුසු බව එස්. එන්. ජයවර්ධන මහතා එකල ලියා ඇති වාර්තාවක සඳහන්වේ.

එස්. එන්. ලාගේ 80 දශකයේ පර්යේෂණ තුන්වෙනි කන්නයක් මතින් නතර වී නැති බවද පෙනේ. මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු, යල කන්නය තෙක් ඇති පෙබරවාරි – අප්‍රේල් කාල පරාසය සඳහාද ඔවුන් ගොවිතැනක් යෝජනා කර ඇත. එසේනම් එය අවුරුද්දක් ඇතුලත උදාවෙන හතරවෙනි කන්නයයි. නවම් මහේ ගොයම් කපා නිමවෙනවිට සති දෙකකට පමණ සෑහෙන තෙතමනය ප්‍රමාණයක් පසෙහි ඉතිරිව තිබේ. එසේම දින 8-10 ක සාමාන්‍ය වැස්සක්ද එතැන් සිට විටින්විට පතිත වන්නේය. මේ සියල්ලෙහි වාසියද හතරවෙනි කන්නයේදී වගාකරනා රනිල බෝගයටයි. එසේම මේ වනවිට බොහෝ කුඩා වැව්වල වතුර මුරයක් හෝ දෙකක් දෙන්නට ප්‍රමාණවත් ජල සංචිතයක්ද ඉතිරිව තිබේ. වාෂ්පවී වියලී යන බැවින් එය ඉදිරි යල කන්නය තෙක් තබාගන්නටද බැරිය. හතරවෙනි කන්නය වෙනුවෙන් අතරමැද්දේදී මේ වතුර ටික නිදහස් කරගන්නට හැකිනම් ඉතා හොඳ රනිල අස්වැන්නක් ලැබෙන බවට මෙම පර්යේෂණ වාර්තා සාක්ෂි දරයි.

මෙවැනි අතරමැදි කන්න දෙකක් වගාකිරීම හරහා ප්‍රධාන කන්නයන්හි කෙරෙන වී ගොවිතැනට ඇති හිතකර බලපෑමද පර්යේෂකයින් පෙන්වා දී තිබේ.

“රනිල බෝග විසින් පසට නයිට්‍රජන් එකතු කරනවා. වෙනත් රටවලදී කර ඇති පර්යේෂණ තොරතුරු වලට අනුව මුං හෝ කවුපි වගාවක් මගින් ඊට පසුව එන ගොයමට, අක්කරයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 20 ක් පමණ ලබාදෙන බව පෙන්වාදී තිබෙනවා. මෙය යූරියා කිලෝග්‍රෑම් 40 ක පමණ වාසියක්. මහඉලුප්පල්ලමේදී පවා සනාථ කරගෙන ඇත්තේ කවුපි වගාවකට පසුව අස්වැද්දූ කුඹුරකින් අක්කරයකට බුසල් 10 ක පමණ අතිරේක අස්වැන්නක් ලැබෙන බව. රසායනික පොහොරත් සමග පාංශු සත්කාරකයක් ලෙස යම් කාබනික පොහොර ප්‍රමාණයක් යෙදීම බොහොම පැරණි නිර්දේශයක් වුවත් බොහොමයක් කුඹුරුවල මෙවැන්නක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කරල් ටික කඩාගත්තට පස්සේ මුං වගාවෙන් කුඹුරේම ඉතුරුවෙන  අවශේෂ කියන්නෙත් කාබනික පොහොරම තමයි. එය මැද කන්නය විසින් ගොවියාට ලබාදෙන තවත් වාසියක්.”

කෘෂි විද්‍යාඥ එස්. එන්. ජයවර්ධනගේ විස්තරය ඉතාමත් පැහැදිලිය. අතරමැදි කන්නයක් කුඹුර පුරන්ව නොතබා රනිල වගා කිරීමෙන් භූමියේ වල්පැල වැඩෙන්නේ අඩුවෙන්ය. මේ නිසා ඒවායින් පොළොවට වල්බීජ හැලෙන්නේ අඩුවෙන්ය. එසේනම් ඊළඟ කන්නයේ ගොයම අතරතුර වල් උපදින්නේද අඩුවෙන්මය. කුඹුරේ වල් මර්දනය අතින් මෙය ගොවියාට සහනයක් නොවන්නේද?

රජය විසින් විශාල මුදලක්ද යටකරමින් මෙරට වැවිය හැකි බෝගයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට  අතගසා තිබියදී, කෘෂි බලධාරීන්ද මේ මොහොතේ උනන්දු විය යුත්තේ ප්‍රධාන කන්නයන්ට අතරමැදිවී නිකරුනේ නාස්තිවී යන මාස පහක පමණ කාලයට අර්ථයක් ලබා දෙමින් තුන්වෙනි හා හතරවෙනි කන්න, ප්‍රාණවත් කරවන්නටයි.

සනත් එම්. බණ්ඩාර

Recommended For You

About the Author: Editor