දිවයින පුරා අතුරු මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ

දිවයින පුරා අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ගම්පහ  දිස්ත්‍රික්කයේ වත්තල ආසනයෙන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කෙරේ. ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග වලට තදබදයකින් තොරව ඇතුලු විය හැකි ආකාරයට මෙම මාර්ග සංවර්ධනය සිදුුකෙරේ. මෙය “ ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්තිමය වැඩසටහන් සඳහන් ව්‍යාපෘතියකි. අතුරු මාර්ග වලට පිවිසෙන සියලු අභ්‍යන්තර හා ග්‍රාමීය මාර්ග ද මේ යටතේ සංවර්ධනය කෙරේ.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සංකේතවත් කරමින් මුලින්ම හැඳල මරදාන ප්‍රධාන පාර හා මරදානවත්ත අතුරු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරිණ. මේ අනුව හැඳල මරදාන ප්‍රධාන පාර හා අතුරු මාර්ග කිලෝමීටර් 3.5ක් කාපට් කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රු. ලක්ෂ 475කි.

මෙම සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ යහපාලන ආණ්ඩුව පහුගිය කාලය තුළ රටේ කිසිම සංවර්ධන වැඩක් සිදුනොවූ බවයි. මහින්ද රාජපක්ෂ රජය යටතේ වැඩ බිමක්ව පැවැති රට පහුගිය යහපාලන රජය සමයේ මුඩු බිමක්ව පැවැති බවත් මේ වන විට රට නැවත සංවර්ධනය කරා යොමුවෙමින් තිබෙන බවත් ඔහු කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“ පහුගිය මහ මැතිවරණය අවසන් වෙලා සති දෙක තුනක් යද්දී අපිට මේ රටේ සංවර්ධනය නැවත අරඹන්න පුළුවන් වෙලා තියෙනවා. පවතින රජය විසින් නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා අබලන් වී ඇති ප්‍රධාන මාර්ග පද්ධති වගේම රට පුරා විහිදෙන සියලු මාර්ග සම්පූර්ණයෙන්ම අන්තර්ජාතික ප්‍රමිතියට අනුව නවීකරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

යහපාලන ආණ්ඩුව වසර 4 ½ ක් මේ රට පාලනය කළා. හැබැයි යහපාලන ආණ්ඩුව තරම් ජනතා අප්‍රසාදයට පත් වුණු වෙනත් ආණ්ඩුවක් නැහැ. අපි පහුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළත් මේ රටේ එතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි යාන්ත්‍රණයක් සැකසුනේ නෑ. විපක්ෂය අපේ කකුලෙන් ඇද්දා. ඒ නිසා තමයි අපි පහුගිය මහ මැතිවරණයේදී ස්ථාවර ආණ්ඩුවක් ඉල්ලුවේ. දැන් රටට ස්ථාවර ආණ්ඩුවක් බිහි කර ගැනීමේ ප්‍රතිඵල ජනතාවට ලැබෙමින් පවතිනවා. ජනතාව මේ ආණ්ඩුව ගැන විශාල බලාපොරොත්තුවක් තියලා තියෙනවා. අපි කිසිසේත් ජනතා විශ්වාසය පළුදු කරන්නේ නෑ. පහුගිය කාලේ තිබුණේ ජනාධිපති කියන දේ අගමැති අහන්නේ නැති, අගමැති කියන දේ ආණ්ඩුව අහන්නේ නැති යුගයක්. අපි ඒකට තිත තිබ්බා. දැන් අපි කරන්න ඕනේ සියලු වාදභේද අතහැරලා මේ රට දියුණු කිරීමයි.”

ග්‍රාමීය මාර්ග සංවර්ධන හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතා –

දිවයින පුරා තිබෙන ග්‍රාමීය මාර්ග හා අතුරු මාර්ග සංවර්ධනය කිරීම මේ රජයේ ප්‍රධාන ව්‍යාපෘතියක්. අද වත්තල ආරම්භ වෙන මේ ව්‍යාපෘති දෙකෙහි වටිනාකම රු.මිලියන 60ක් පමණ වෙනවා. මේ මාර්ගය කාපට් යොදා සංවර්ධනය කලා වගේ මේ මාර්ග නඩත්තුවත් අතිශය වැදගත්. ඒ වෙනුවෙන්ද අපි ඉදිරියේදී කටයුතු කරනවා.

Recommended For You

About the Author: Editor