ඉන්දීය සාගරයේ ‘චීන ව්‍යාප්තියට වැට බැඳීමට’ ඩොලර් බිලියන 1.3ක ඉන්දීය වරාය ලංකාවට තර්ජනයක් ද?

බෙංගාල බොක්ක ආසන්නයේ ඇති අන්දමන් දූපත් හි වරායක් ප්‍රතිනැව්ගත කිරීමේ වරායක් ලෙස දියුණු කිරීම සඳහා ඩොලර් බිලියන 1.3 ක ආයෝජනයක් කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ ලංකාවේ වරායවල ඇති වටිනාකම ප්‍රශ්ණගත භාවයකට ලක්ව ඇත.

මෙම තීරණය ඉන්දියාවට, ශ්‍රී ලංකාවට හා කලාපයටම දේශපාලනිකව මෙන්ම ආර්ථිකවත් බලපානු බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

ඉන්දියාවේ ප්‍රතිනැව්ගත බහාලුම් වලින් 80% ක් ම හසුරුවනු ලබන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිංගප්පුරුව වැනි කලාපීය වරායන් විසින් බැවින් ඉන්දියාවේ පිරිවැය ඉහල ගොස් ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ඉන්දියාවේ ඊශාන දිග වරායන් හි ගැඹුරු මඳ බව නිසා සහ එම වරායන් නිරන්තරයෙන් හැරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන හෙයින් විශාල නැව් ඉන්දියානු වරායන් වෙත ගෙන ඒමට නොහැකි තත්වයක් තුල ඉන්දියාවට එන හා ඉන්දියාවෙන් යන බහාලුම් කුඩා නැවු මගින් ගැඹුරු වරායන් වෙත අපනයනය කර එතැන් සිට විශාල නැව් මගින් ප්‍රතිනැව්ගත කිරීම සිදුකරයි. එමගින් ඉන්දියානු ව්‍යාපාරිකයන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බව දත්ත මගින් පෙන්නුම් කෙරේ.

2019 දී එක බහාලුමක් කොළඹ වරාය හරහා ප්‍රතිනැව්ගත කිරීමේ දී ඩොලර් 200-250ත් අතර අමතර වියදමක් ඉන්දීය ව්‍යාපාරිකයන්ට දැරීමට සිදුව ඇති බව දත්ත මගින් පෙන්නුම් කෙරේ.

BBC

මෙයට අමතරව පෝෂක යාත්‍රා, වරාය මෙහෙයුම්, නැව් බඩු පැටවීම හා බෑම, වරාය හසුරුවීම් ගාස්තු වැනි අමතර විශාල පිරිවැයක් ඔවුනට දැරීමට සිදුව ඇත.

අද ලොවෙහි සමුද්‍රීය ගමනාගමනයේ දියුණුවත් සමගම විශාල නැව් මගින් ප්‍රවාහනය කිරිම පටන් ගැනීමත් සමග විශාල නැව් තටාකගත කිරීමට හැකි ගැඹුරු වරායවල් කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී ඇති බව විශේෂඥයන්ගේ මතයයි. එවැනි තත්වයක් තුල ආර්ථිකමය වශයෙන් වාසි සහගත වන්නේ ගැඹුරු වරාය සෑදීම බව ඔවුන්ගේ මතයයි.

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක රඹුක්වැල්ල බිබිසී සිංහල සේවයට පැවසුවේ මෙවැනි ප්‍රවනතාවයන් මගින් නියත වශයෙන්ම ලංකාවේ වරායවලට තර්ජනයක් ඇතිවන බවයි.

“මොනයම් හෝ තරගකාරීත්වයක් අපට බලපෑමක් ඇතිකරනවා නමුත් අප එය හරියට තේරුම් අරගෙන ක්‍රියාමාර්ග ගත යුතුයි. අනිවාර්යයෙන්ම මෙතන භූ දේශපාලනය ක්‍රියාවට නැගෙන බව රහසක් නොවේ,” අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

BBC

චීනය තමන්ගේ “එක් තීරයක් එක් මාවතක්” ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමේදී ශ්‍රී ලංකාව එහි ප්‍රධාන කොටසක් කරගැනීම සහ විශාල වශයෙන් ආයෝජනය කිරීමට පෙළඹවීමත් සමගම අසල්වැසි ඉන්දියාව, මිතුරු ජපානය හා ඇමෙරිකාව වැනි රටවල ප්‍රබල අවධානයට ලක්ව තිබේ.

පහුගිය මහමැතිවරණ සමයේ කොළඹ වරායේ රජයට හිතවත් වෘත්තීය සමිති සේවකයන් විසින් සිදුකරන ලද උද්ඝෝෂණවලින් ඉල්ලා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාව හා ජපානය සමග දියුණු කිරීමේ සැලසුම නතරකර තනිවම වරාය අධිකාරිය මගින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය දියුණුකළ යුතු බවටය.

මෙවැනි උද්ඝෝෂණ නිසා අසල්වැසි ඉන්දියාව කලබලයට පත් වීම විමතියට කරුණක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නව රාජපක්ෂ රජය බලයට පත්වීමත් සමගම ජපානයේ ජයිකා ආයතනයෙන් ලබාගන්නා සහන ණයක් යටතේ කොළඹ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දැමීමට තීරණය වූ බව ද වාර්තාවිය.

චීනය මේවන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඔබ්බෙන් ඇති දකුණු පර්යන්තය කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය හෙවත් Colombo International Container Terminals (CICT) චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩින්ග්ස් (China Merchant Port Holdings) සමාගමට සියයට 85 හිමිකාරිත්වයක් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියට 15 කොටස් සහිත අවුරුදු 35ක හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන අතර 2014දී ඇරඹුණු එම සමාගම 2019 වසර වනවිට කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාවයෙන් සියයට 40 ක් සතු කරගැනීමට සමත් වී ඇත.

CICT දත්ත වලට අනුව 2019 වසර තුළ ඔවුන් බහාලුම් මිලියන 2.9 ක් හසුරුවා ඇති අතර එයින් සියයට 72ක් ම අති විශාල බහාලුම් වාහක හෙවත් Ultra Large Container Carriers (ULCC) මගින් සිදුව ඇති බව දක්නට ලැබේ.

කොළඹ වරාය

විශ්ලේෂකයන් පවසන්නේ, මෙවැනි පසුබිමක සිය බහාලුම් ලංකාව හරහා ප්‍රතිනැව් ගත කිරීම තුළින් අත්වන වාසිය චීනයට හෝ චීන රජයේ හිමිකාරිත්වය ඇති සමාගමකට ලබාදීමට ඉන්දියාව කොහෙත්ම සූදානම් නොවනු ඇති බවය.

“ලෝකයේ අනෙකුත් වරායවල් තවත් ජාත්‍යන්තර සමාගම් එක්ක එකතු වී තමයි තම වරාය මෙහෙයුම් පවත්වගෙන යන්නේ. එය සාමාන්‍ය ක්‍රියාවලියක්. උදාහරණයක් ලෙස ඕමානයේ ඇති සලාලා වරාය කොළඹ වරායට වඩා අලුතින් පටන් ගත් එකක්. ඔවුන් තවත් සමාගම් පහක් සමග එකතු වී තම වරාය දියුණු කිරීමට කටයුතු කෙරුවා. ඔවුන් අවුරුදු 20ක් ඇතුලත බහාලුම් මිලියන 4.1ක් හසුරවනවිට කොළඹ වරාය අවුරුදු 42ක දී බහලුම් මිලියන 7.2ක් හසුරුවනවා,” කොළඹ නැව්කරුවන්ගේ විද්වත් පර්ෂදයේ ප්‍රධාන විධායක නිලධාරි රොහාන් මාසකෝරාළ බීබීසී සිංහල සේවයට පැවසීය.

“අපගේ අපිම කළයුතුයි යන මතය නිසා කවමදාකවත් අපිට නැගී සිටින්න අමාරු වෙනවා. අප හැමවිටම කල්පනා කළයුත්තේ අන් අයගෙන් ගත යුතු දේ අරගෙන අපි නැගී සිටීමටයි. අප සිතිය යුත්තේ කොළඹ වරාය අපිම දියුණු කරනවා වෙනුවට වරාය අධිකාරිය වර්ධනය කර වෙනත් රටවලට ව්‍යාප්ත වන්නේ කෙසේද කියායි. උදාහරණයක් විදියට අද සිංගප්පුරුව, ඩුබායි හා චීනය වගේ රටවල් ඔවුන්ගේ වරායවල් වල වරායන් පවත්වාගෙන යනවාට වඩා වැඩි ආදායමක් උපයන්නේ වෙනත් රටවල වරායවල් හැසිරවීමෙන්.”

රොහාන් මාසකෝරාළ තවදුරටත් පැවසුවේ ලෝකයේ ප්‍රසිද්ධ විශාල නැව් සමාගම් හෝ ජාත්‍යන්තර වරාය කළමනාකරණ සමාගම් සමග එකතුවීමෙන් තම වරාය වෙත ඉතා ඉක්මනින් විශාල බහාලුම් හා නැව් ගෙන්වාගැනීම තුලින් ශ්‍රී ලංකාවේ වරාය ඉතා ඉක්මනින් දියුණු කළ හැකි බවය. ආයෝජකයන් පලවා හැරීම තුලින් රටට යහපත් නොවන බවත් ඔහු පැවසීය.

“ඉන්දියාව හා ජපානය කියන්නේ ලෝකයේ විශාල වශයෙන් ගනුදෙනුකරන රටවල් ඔවුන්ව කොටස් කරුවන් කරගැනීම විශාල වාසියක්.”

ඉන්දියාව අන්දමන් දුපත් වල ඇති වරායක් සංවර්ධනය කිරිම අනිවාර්යයෙන්ම ලංකාවට මෙන්ම කලාපයේ අනෙකුත් රටවල් වල වරායන්ට ද තර්ජනයක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පවසන්නේ එය ලංකාවට තර්ජනයක් වුවත් ඔවුන්ට, ලංකාව රටක් හැටියට රටේ පිහිටීම මත ඇති සාපේක්ෂ වාසිය ලබාගැනීමට නොහැකි බැවින් එම සාපේක්ෂ වාසිය ශ්‍රී ලංකාවේ වර්ධනයට යොදාගැනීමට අප සමත් විය යුතු බවය.

අනෙක් රටවල් ඉදිරිය ගැන සිතා වරායන් දියුණු කරන අතර අපත් අපේ වරායන් දියුණු කළ යුතු බව වරාය අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

“1970 ගණන් වල ලලිත් ඇතුළත්මුදලි සමයේ ලංකාවේ වරායන් හි ස්වර්ණමය යුගය හැටියට සලකන්න පුළුවන් ඉන්පසුව නැවතත් 2010-2015 මහින්ද රාජපක්ෂ යුගය තමයි වරායන් සංවර්ධනය කළේ. පසුගිය රජය කිසිවක් කළේ නැහැ, නමුත් නැවතත් අපිට බලාපොරොතු තබාගන්න පුළුවන්,”විශ්‍රාමික මේජර් ජනරාල් දයා රත්නායක පැවසීය.

ඉන්දියාවේ එම තීරණය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට බලපෑමක් තිබෙන බවත් එම බලපෑම තේරුම් අරගෙන, රටේ පිහිටීම මත ඇති සාපේක්ෂ වාසිය, රටේ දක්ෂතාවය හා මිනිසුන්ගේ දක්ෂතාවය තේරුම් අරගෙන රටේ වාසියට පරිණාමනය කරගත යුතු බවත් ඔහු පැවසීය.

“ජාත්‍යන්තර දේශපාලනය හා භූ දේශපාලනය ගත්තොත් අපි චීනයට මෙතන හොඳම හා ලොකුම පර්යන්තය දීල හම්බන්තොට වරායත් දුන්නහම ඉන්දියාවට රටක් හැටියට එහෙම ඉල්ලීම ඉන්දියාව පැත්තෙන් බැලුවොත් එහෙම අසාධාරණයි කියන්ඩ බැහැ. එවකට හිටපු රජය මේවා දෙනකොට භූ දේශපාලනය හා අපේ තිබුණු සැලසුම් වැනි දේවල් කල්පනා කර නොකිරීම තුළ අපට මෙවැනි තත්වයන්ට මුහුණදීමට සිදුවෙලා තියෙන්නේ.”

දයා රත්නායක පවසන්නේ, කොළඹ වරායේ ඊශාන පර්යන්තය පිළිබඳව ඉන්දියාවට ඇතිවී තිබෙන ගැටලුවට වඩා භූ දේශපාලනයේදී චීනයේ මෙම කලාපයේ ව්‍යාප්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ ඇති බවත් ඔවුන්ගේ නව සාගර මාලා ප්‍රතිපත්තිය එහි එක් අරමුණක් වීම නිසා ඔවුන් ඔවුන්ගේ වරායවල් දියුණු කරමින් සිටින බවත් ය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ, ලංකාව දූපත් බවත් එය ඉන්දීය සාගරයේ ඉන්දියානු බලය කේන්ද්‍ර කර ගෙන පිහිටා ඇති බව අමතක නොකළ යුතු බවත් භූ දේශපාලන යථාර්තය තේරුම් ගත යුතු බවත් ය.

“අපි චීනයත් එක්ක කොච්චර මිත්‍රශීලී උනත් අපි තේරුම් ගන්න ඕන චීනය අපෙන් බොහෝ ඈත සිටින බලවතෙක් කියන එක පකිස්ථානය මියන්මාරය වගේ නෙමෙයි චීනය සහ අපිව යා කරන ගොඩබිම් මාවතක් අපිට නෑ හේතුව අපි දූපතක්. දූපතක් හැටියට අපේ එකම අසල්වැසිය මේ මහා ඉන්දියාව.”

ආසියාවේ ප්‍රධාන බලවතා වන්නේ කවුද, නැතිනම් ආසියාවේ කොයි කොයි පැතිවල කවුරුන් බලවතා දැයි තීරණය කිරීම වර්තමානයේ දැවෙන ප්‍රශ්ණයක් වී ඇති බව පවසන ආචාර්ය ජයතිලක පවසන්නේ දකුණු චීන සාගරය තමන්ගේ බලප්‍රදේශය ලෙසට සලකන ආකාරයටම ඉන්දියාව ඉන්දියානු සාගරය තමුන්ගේ බල ප්‍රදේශය ලෙස සලකන බව නියතයක් බවයි.

“ලංකාව පිහිටල තියෙන්නේ ඉන්දියානු බල ප්‍රදේශය තුළ. නමුත් ලංකාව තුළ සහ ලංකාවේ ආණ්ඩුව මත ප්‍රධාන බලපෑම චීනයේ බලපෑමයි කියල, ලංකාවේ ප්‍රධාන මිත්‍රයා චීනය කියල ජාත්‍යන්තර වශයෙන් යම්කිසි මතයක් තියෙනවා. එම තත්වය තුල අපි යම්කිසි අසමමිතික තාවයකට නැත්නම් යම්කිසි ප්‍රතිවිරෝධතාවයකට මුහුණදීලා තියෙනවා,” ආචාර්ය දයාන් ජයතිලක පවසීය.

“අපි ඉන්නේ ඉන්දියාවේ බල ප්‍රදේශය තුළ. නමුත් චීනයේ බල ප්‍රදේශයට අයිති විදිහට තමයි රටේ ආණ්ඩුවේ මානසිකත්වය හැඩගැහිලා තියෙන්නේ. ඉතින් මෙතන පරස්පරයක් තියෙනවා. ඇත්ත යථාර්තය සහ මානසිකත්වය අතර පරස්පරයක් තියෙනවා. ඔය පරස්පරය පියෙව්වෙ නැත්නම් අපි විශාල අමාරුවක වැටෙනවා. එවැනි දෙයක් එක සැරයක් උනා, 1980 ගණන්වල. එවැනි දෙයක් නැවත නොවේවායි කියල මම ප්‍රර්ථනා කරනවා.”

1987 අප ඉගෙනගත් පාඩම අදටත් වලංගු බව පැවසූ ඔහු, අප ඒකපාර්ශවියව කටයුතු කරන්නට යාමෙන් ඉන්දියාවේ ප්‍රතිරූපයට හානිවීමෙන් 1987 අත්විදි කටුක අත්දැකීම් නැවතත් අත්විදීමට සිදුවිය හැකි බවත් සඳහන් කළේය.

“අප තේරුම් ගන්න ඕන ලංකාව අද පිහිටලා තියෙන්නේ ඇමරිකානු, ඉන්දියානු, චීන ත්‍රිකෝණයක් තුළ. ඇමරිකාව, ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් එක් පැත්තකිනුත් අනිත් පැත්තෙන් චීනය. අපි ප්‍රබුද්ධව කටයුතු කරනවානම් අපි මෙතැනදී නොබැඳි සහ තුලනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕන.”

ඇමරිකාව හා ඉන්දියාව චීනය සම්බන්ධයෙන් යම් අවබෝධයකින් කටයුතු කරන බවත් විශේෂයෙන්ම ඉන්දු පැසිපික් සාගර කලාපයේ ඔවුන් යම් අවබෝධයකින් කටයුතු කරන බව ආචාර්ය ජයතිලක පැවසිය.

“මේ පොඩි දුපතකට අධිපතිකම් කිවුවයි කියල ආණ්ඩුවක් හිතාගෙන ඉන්නවනම් ඕන විදියකට කටයුතු කරන්න පුළුවන් කියල ඒක එහෙම නෑ. ඒ බාහිර යථාර්තයට මුහුණදෙන්න වෙනවා. ඒ බාහිර යථාර්තය අපට සතුටු දෙයක් නෙමෙයි එක සතුටුදෙයක් වෙන්නේ අපේ ඔලුවේ ව්‍යාජ විඥ්ඥානයක් තියෙනවනම් විතරයි.”

“එකෙන් කිසිවිටකවත් කියන්නේ නෑ පහුගිය රජය වගේ ලංකාව පාපිස්සක් කරන්න ඕන කිලය ඕන කෙනෙකුට. පාපිස්ස්සක් වෙන්න ඕනත් නෑ. ඇස් දෙක බැඳගෙන තමන්ට ඕන ව්දිහට නටන්න ඕනත් නෑ. ඔය අන්ත දෙකට මැදි යථාර්තවාදී මැද මාවතක් ඔස්සේ ගියොත් ලංකාවට නිරුපද්‍රිතව මේ චණ්ඩමාරුතය පසුකරන්න පුළුවන්.”

Text by bbc sandesaya

Recommended For You

About the Author: Editor