ග්‍රාමීය වැව් 14,000ක් එකවර සක්‍රීයත්වයට පත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක්

ග්‍රාමීය වැව් 14,000ක් එකවර ප්‍රතිසංස්කරණය කර සක්‍රීයත්වයට පත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දියත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාව හමුවේ තබන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යථාර්ථයක් කරමින් මෙම ග්‍රාමීය වැව් 14,000 සක්‍රීය කිරීමේ ක්‍රියාන්විතය සිදු කෙරේ.

ඊයේ (26) වාරිමාර්ග අමාත්‍යංශයේදී පවත්වන ලද අමාත්‍යංශය සහ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමේදී එම තීරණය ගැනිණි.

මේ වන විට ග්‍රාමීය වැව්, අමුණු, ඇලවේලි 48,150ක් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග සහ මහවැලි යන ආයතන යටතේ හඳුනා ගෙන තිබෙන අතර මින් බොහොමයක් නිසි කලට හා නිසි ප්‍රමිතියට නඩත්තු කටයුතු නොකිරීම නිසා රටේ සමස්ථ කෘෂි නිෂ්පාදනයට අයහපත් ලෙස බලපා ඇති බව එම රැස්වීමේදී හෙළිවිණි.

ග්‍රාමීය වැව්, කුඩා වැව් නිසි ප්‍රමිතියෙන් තොරව අලුත්වැඩියා කිරීමට පසුගිය ආණ්ඩු අවසර දීමෙන් මෙන්ම විවිධ දේශගුණික වෙනස්වීම් ගොවි සංවිධාන ඇතුළු ප්‍රජාවගේ අවධානය අඩු වීම නිසා මෙම වැව් අමුණු වලින් වැඩි ප්‍රතිශතයක් අක්‍රීයත්වයට පත්ව ඇති බව ඇමැතිවරයාගේ විමසීම් හමුවේ හෙළිවිණි. ග්‍රාමීය කෘෂි ආර්ථිකය කඩිනමින් ඉහළ දැමීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ආරම්භ කර ඇති පුනර්ජීවන වැඩසටහනට සමගාමීව මෙම සියලු ග්‍රාමීය වැව් අමුණු සහ ඇලවේලි විධිමත් ක්‍රමවේදයක් යටතේ වහාම ප්‍රතිසංස්කරණය කළයුතු බව ඇමැති චමල් රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

එහි පළමු පියවර ලෙස ග්‍රාම නිලධාරී වසම් 14,000 ආවරණය වන පරිදි එක් ගමකට එක් වැවක් බැගින් තෝරා පිළිසකර කළ යුතු බව පෙන්වා දුන්නේ ය.

ඒ සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන විශේෂ කාර්ය සාධක බලකායක් ඉදිරි දින කිහිපය තුල ස්ථාපිත කිරීමටත් මහවැලි හා ගොවිජන අංශ ඇතුළත් වන පරිදි විශේෂ උප කමිටු පිහිටුවීමටත් තීරණය කළ අතර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදාගත යුතු යන්ත්‍රෝපකරණ හා ප්‍රතිපාදන සපයා ගැනීම සඳහා අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය ආයතන මූලිකත්වයෙන් උපදේශන කමිටු කිහිපයක්ද ස්ථාපිත කිරීමට තීරණය කෙරිණි.

ඉදිරි මාස් කන්නයේ වාර්ෂාව ආරම්භවීමට ප්‍රථම මෙම ග්‍රාමීය වැව් 14,000 ප්‍රතිසංස්කරණය කර අවසන් කළ යුතු බව අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අවධාරණය කළේ ය.

ස්ථාපිත කරන ලද විශේෂ කාර්ය සාධක බලකාය මෙන්ම වෘත්තීය උපදේශක කමිටුද මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා දැනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ස්ථාපිත කර ඇති ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා සමඟ සමීපව කටයුතු කිරීමටද උපදෙස් දුන්නේ ය.

එම විශේෂ සාකච්ඡාව සඳහා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක යන මහත්වරු ඇතුළු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, වාරිමාර්ග ගොවිජන සේවා මිනින්දෝරු මහවැලි අධිකාරියෙහි අධ්‍යක්‍ෂ ජනරාල්වරු සහ එම සියලුම දෙපාර්තමේන්තු හා ආයතනවලජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ ආරක්‍ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Recommended For You

About the Author: Editor