සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අනාගතය ගැන ඇමැති ෂෙහාන්ගෙන් සහතිකයක්

සමෘද්ධි සහනාධාරලාභීන් සවිබල ගැන්වූ පිරිසක් බවට පත් කළ පසුව ද ඔවුන්ට එම ව්‍යාපාරය තුළින් ලැබෙන ප්‍රතිලාභ කිසිවක් අහිමි නොකරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කරයි.

දැනට ලක්ෂ 18කට ආසන්නව සිටින සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය. දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන් සමග අද (28) බත්තරමුල්ලේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සමෘද්ධි අධ්‍යක්ෂවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

අමාත්‍යවරයා එහි දී මෙසේ ද සඳහන් කළේ ය.

“2015 වසරේ දී අපි යහපාලන ආණ්ඩුවට රට භාර දුන් අවස්ථාවේ දී ඔවුන්ට ලැබුණ රට වගේ නෙවෙයි 2019 දී ඔවුන් අපට භාර දුන්නෙ. පැවැති පාලනයේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා රට අභ්‍යන්තර වශයෙන් බරපතල අර්බුදයකට ලක් වෙලා තිබුණ.

කුමන අර්බුදයට මුහුණ පා සිටියත් රටේ දුප්පත් ජනතාව සවිබල ගැන්වීම සඳහා ආරම්භ කර ඇති සමෘද්ධි ව්‍යාපාරය වෙනදාටත් වඩා ජනතා හිතවාදීව ඉදිරියට රැගෙන යන්න සූදානම්.

ලක්ෂ 18කට ආසන්නව සිටින සමෘද්ධි සහනාධාරලාභීන් සවිබල ගැන්වූ පිරිසක් බවට පත් කරවීමට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයේ ප්‍රමුඛ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් කළ යුතු සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට සූදානම්.

සමෘද්ධිලාභියකු සවිබල ගැන්වූ පසු ඔවුන් සමෘද්ධි ව්‍යාපාරයෙන් ඉවත් කිරීම හෝ ලබා දෙන සහන නවතා දැමීමට රජය කිසි විටෙකත් අපේක්ෂා නොකරයි. ඔවුන් සමෘද්ධි ව්‍යාපාරය තුළම රඳවා ගනිමින්, ඔවුන්ගේ ශක්තිය රටේ ආර්ථිකයට ලබා ගැනීම රජයේ අපේක්ෂාවයි.

ඒ වෙනුවෙන් නිලධාරීන් ලෙස ඔබ සියලු දෙනාගේ කැපවීම අපේක්ෂා කරන අතර ඔබ ඊට අදාළව ගන්නා සියලු ක්‍රියාමාර්ග සමග දේශපාලන අධිකාරිය සිටිනවා. ඒ සඳහා වන නීතිමය පද්ධතිය ශක්තිමත් කිරීමට ද අපි කටයුතු කරනවා.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Recommended For You

About the Author: Editor