ජනාධිපතිවරණයට ඉදිරිපත්විය හැකි වයස් සීමාව 30 දක්වා අඩු කිරීම මගේ යෝජනාවක් – ඇමැති ප‍්‍රසන්න

මත්තල කටුනායක ගුවන් තොටුපළ හා කොළඹ හා හම්බන්තොට වරායවල් එකතුකිරීමේ නව සැලැස්මක්

සංචාරක ආයෝජන සහ භාණ්ඩ හුවමාරු ගුවන් තොටුපළක් ලෙස මත්තල සංවර්ධනය කිරීමේ සුදානමක්

19 අහෝසි කර 20 ගෙනවිත් පසුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දෙනවා

රටට නව ව්‍යවස්ථාවක් ගෙන ආ හැකි අවසන් අවස්ථාව මෙය බවත් මෙවර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි වුවහොත් නැවත රටට නව ව්‍යවස්ථාවක් සකස් නොවනු ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කරන්නේ 19 අහෝසි කර 20 වෙනි සංශෝධනය ගෙන ඒමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම අහෝසි කොට රටට නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමට රජය අපේක්ෂා කරන බවයි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරික්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාව ඊයේ (30) පැවැත්විණි. චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩි.වි. චානක යන ඇමතිවරු ද ඊට එක්ව සිටියහ. ‍

මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී අවධාරණය කළේය. දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් සමග මීට අදාළ සාකච්ඡා සිදු කර තිබේ. මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනයාක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේය.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ දී මාධ්‍යවේදීන් ඇමතිවරයා වෙත යොමු කළ ප්‍රශ්න හා පිළිතුරු මෙසේ ය.

 ප්‍රශ්නය – 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න හදන්නේ ඇයි?

පිළිතුර – මේ රටේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වන වතාවක් සංශෝධනය වෙලාවත් ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නෑ. 19 කියන්නේ යහපාලන ආණ්ඩුව බටහිර රටවල උවමනාවට මේ රට විනාශ කරන්න හිතාමතා ගෙනාපු සංශෝධනයක්. 19 ගෙනාපු අයම 19 විවේඡනය කරනවා. අපිට උවමනාව තියෙන්නේ මේ රට එක රටක් එක නීතියක් යන සංකල්පය යටතේ සියලුම ජාතීන්ට එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම. අන්තවාදීන්ට, ජාතීවාදීන්ට නැවත මේ රට විනාශ කරන්න ඉඩක් තියන්න හොද නෑ. ඒ තිබ්බ හින්දා තමයි මේ රට විනාශ කළේ. 19 අහෝසි වෙන්න ඕනේ. අලුත් ව්‍යවස්ථාවක් ගේනකම් තමයි 20 වන සංශෝධනය අපි සිදු කරන්නේ. 19 හොද දේවල් තියෙනවා. ඒත් ක්‍රියාත්මක වුණේ නෑ. තොරතුරු පණත යටතේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කළා කිවුවට ආණ්ඩුව සමහර තොරතුරු දුන්නෙම නෑ. පණතට අනුව උපරිම කටයුතු කළත් ආණ්ඩුව තොරතුරු දෙන එක මග හැරියා. මම පෞද්ගලිකවම ඉල්ලපු තොරතුරු කීපයකට ඒක වුණා. ඒ කිසා 19 හොද දේ තිබුණත් යහපාලනය එය ක්‍රියාත්මක කළේ නෑ. ජනාධිපති ධූර කාලය වසර 05 කට සීමා කිරීම හොදයි. ජනාධිපතිධූරයට ඉල්ලන්න පුළුවන් දෙපාරයි කියලා තියෙන කොන්දේසිය හොදයි. අවුරුදු 35 ට අඩු අයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ කියන කොන්දේසිය ගෙනාවේ නාමල්ට ඡන්දය ඉල්ලන්න බැරි වෙන්න. මම ඒ කොන්දේසියට විරුද්ධයි. මේ අවුරුදු 05 ගතවෙනකොට කොහොමත් ඒක නාමල්ට අදාළ වෙන්නේ නෑ. නමුත් අපි කටින් විතරක් තරුණයක්ට අවස්ථාව දෙන බව කියලා වැඩක් නෑ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් වයස 35 සිට 30 දක්වා අඩු කළ යුතුයි. ඒක මගේ යෝජනාවක්.

20 වෙනි සංශෝධනය ගෙනවිත් රට යළිත් වැඩ කරන තැනකට ගෙන යා යුතුයි. ඉන්පසු සම්පුර්ණයෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අහෝසි කර රටට නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. රටට නව ව්‍යවස්ථාවක් ගෙන ආ හැකි අවසන් අවස්ථාව මෙයයි. මෙවර එය කර ගත නොහැකි වුවහොත් නැවත අවස්ථාවක් නෑ.

ප්‍රශ්නය – මත්තල ගුවන් තොටුපළ පහුගිය රජය වි ගබඩා කරලා නැත්තටම නැති කළා. අලුත් ආණ්ඩුවට මෙය ගොඩගන්න පුළුවන් ද?

පිළිතුර – පහුගිය ආණ්ඩුව මේ මත්තල ගුවන් තොටුපළ ලෝකයේ අසාර්ථකම ගුවන් තොටුපළ බවට පත් කරන්න විවිධ උත්සාහයන් ගත්තා. දැන් අපේ වගකීම තමයි කටුනායකට සමගාමී ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට මත්තල පත් කිරීමයි. ඒ සදහා අපි දැනටමත් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මේ ගැන අපි ගුවන් සමාගම් සමග සාකච්ඡා කළා. බොහෝ දෙනෙකු මත්තලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කරන්න එකගයි.

අපි මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය හා කොළඹ වරාය හා කටුනායක ගුවන් තොටුපළ එකට යාවෙන අධිවේගී මාර්ග පද්ධතියක් සකසනවා. එවිට අපිට මත්තල ගුවන්තොටුපළ සංචාරක භාණ්ඩ මෙහෙයුම් හා ආයෝජන ප්‍රවර්ධන කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කළ හැකියි. ඒක තමයි අපේ ඉලක්කය. ගිය ආණ්ඩුවට සැලැස්මක්, වැඩපිළිවෙලක් තිබුණේ නෑ මත්තල දියුණු කරන්න. ඔවුන්ට ඕන වුණේ රාජපක්ෂවරුන්ට මඩ ගහන්න මත්තල යොදා ගන්න විතරයි. මත්තල ක්‍රියාකාරී ගුවන් තොටුපළක් බවට පත් කිරීම තරමක් ප්‍රමාද වුණේ කොවිඩ් වසංගතයත් සමග සංචාරක කර්මාන්තය බිද වැටුණු නිසායි.

ප්‍රශ්නය – කොවිඩ් වසංගතය අවසන් විමත් එක්ක දිනයක් තියෙනවාද එයාර්පෝට් අරින්න.?

පිළිතුර – කොවිඩ් වසංගතය අවසන් වෙන දිනයක් නෑනේ. අපිට සිද්ධ වෙලා තියෙනවා කොවිඩ් එක්ක ජීවත් වෙන්න. ඒ නිසා සෞඛ්‍ය අංශ නිර්දේශ ලැබුණොත් අපි ගුවන් තොටුපළ විවෘත කරන්න ලෑස්තියි.

ප්‍රශ්නය – කොච්චර කාලයක් යයිද?

පිළිතුර – සෞඛ්‍ය අංශ උපදෙස් අනුවයි කටයුතු කරන්න වෙන්නේ. සෞඛ්‍ය උපදෙස් නොසලකා කටයුතු කරලා වසංගතය උඩු දිව්වොත් අපි ඉන්දියාව වගේ තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව ආරක්ෂිත කරමින් මේක කරන්නේ. විදේශගත ශ්‍රමිකයන් ගෙන්වන්න ඕනේ. ගුවන් තොටුපළ විවෘත කරන්න ඕනේ. මේ දෙකම ගැටළුවක් නැතිව කරගන්නයි අපි මේ උත්සාහ කරන්නේ.

ප්‍රශ්නය – මත්තල ගුවන් තොටුපළට අලි ආවා පහුගිය කාලේ. ආයෙත් එයි ද?

පිළිතුර – අලි එළවලනේ තියෙන්නේ බය වෙන්න එපා.

Recommended For You

About the Author: Editor