විලියම් සහ හැරී කුමරුන්ගෙන් ඩයනා කුමරියගේ ප්‍රතිමාවක්

වේල්ස් හි අදිපාදවරිය වූ ඩයනා කුමරියගේ හැටවන ජන්ම සංවත්සරය වෙනුවෙන් ඇයගේ පිළිරුවක් පිහිටුවීමට තීරණය කර තිබේ.

කේම්බ්‍රිජ් හි ආදිපාද විලියම් කුමරුගේ සහ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරුගේ නියමය පරිදි මෙම ප්‍රතිමාව ඉදි කෙරෙනු ඇති බව කෙන්සින්ටන් මාලිගාව නිවේදනය කළේය.

මෙම ප්‍රතිමාව ලන්ඩනයේ පිහිටි එම මාලිගය ඉදිරිපිට උද්‍යානයේ ස්ථානගත කිරීමට නියමිතව ඇත්තේ 2021 වසරේ ජුලි මස පළමුවැනිදා ය.

මෙම ප්‍රතිමාව තැනීමට විලියම් සහ හැරී කුමාරවරුන් 2017 වසරේ දී නියම කර ඇත්තේ සිය මව මිය ගොස් විසි වසරක් පිරෙන දිනයේ දී විවෘත කිරීමේ අරමුණ ඇතිවය.

AFP

නමුත් එම කටයුතු පමා වී ඇති අතර ඩයනා කුමරිය හදිසි අනතුරකින් මිය ගොස් වසර 23ක් පිරෙන්නේ ලබන සඳුදාට ය.

කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් ද මෙම ප්‍රතිමාවේ කටයුතු නිම කිරීම පමා වූ බව කෙන්සින්ටන් මාලිගය නිවේදනය කළේය. කෙසේ නමුත් මෙම පිළිරුව ලබන වසරේ විවෘත කෙරෙනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.

මෙම ප්‍රතිමාව තනනු ලබන්නේ Ian Rank-Broadley කලාකරුවා විසිනි. එක්සත් රාජධානියේ භාවිතා වන සියලුම මුදල් කාසි මත එලිසබත් මහ රැජිනගේ ප්‍රතිමූර්තිය නිමවා ඇත්තේ ද මෙම චිත්‍රශිල්පියා ය.

ඩයනා කුමරියගේ ප්‍රතිමාවේ නිර්මිතය පිළිබඳ සියලු විස්තර පසුව නිවේදනය කරනු ඇති බව කෙන්සින්ටන් මාලිගය දැනුම් දුන්නේය.

PA

මෙම ප්‍රතිමාව තැනීමට නියම කළ අවස්ථාවේ දී විලියම් සහ හැරී කුමාරවරුන් කියා සිටියේ කෙන්සින්ටන් මාලිගය නැරඹීමට පැමිණෙන සියලු දෙනාට, ඩයනා කුමරියගේ ජීවිතය සහ ඇය ලොවට දායාද කළ දේ නැවත ආවර්ජනය කිරීමට මෙම ප්‍රතිමාව උපකාරී වනු ඇති බවය.

“අපේ අම්මා බොහෝ දෙනාගේ හදවත් ස්පර්ශ කළා,” ඔවුහු පැවසූහ.

ඩයනා කුමරිය මිය ගියේ 1997 අගෝස්තු මස 31 වැනිදා ය. ඇය මිය යන විට විලියම් කුමරු ගේ වයස අවුරුදු 15ක් විය. හැරී කුමරු දොළොස් හැවිරිදි විය.

ඩයනා කුමරිය සිහි වීම පිණිස ලන්ඩන් නුවර බොහෝ දේ ඉදි කර ඇත. කෙන්සින්ටන් මාලිගයට යාබදව පිහිටි ඩයනා අනුස්මරණ ක්‍රීඩා පිටිය, හයිඩ් පාර්ක් හි ඩයනා අනුස්මරණ ජල ධාරාව සහ ඩයනා අනුස්මරණ අඩිපාර ඉන් කීපයකි.

කෙන්සින්ටන් මාලිගය අද්දර ‘වයිට් ගාඩ්න්’ නමින් හැඳින්වෙන උද්‍යානය ද නිර්මාණය කෙරුනේ ඩයනා කුමරියගේ විසි වැනි අනුස්මරණ සංවත්සරය වෙනුවෙනි.

ඇය

“පොදු ජනතාවගේ කුමරිය” ලෙස කිරුළු පළන් ඇය 1997 වසරේ අගෝස්තු 31 වෙනිදා මෙලොව හැර ගියේ ප්‍රංශයේ දී සිදු වූ මාරක රිය අනතුරකිනි.

ඇය මිය යන විට 36 වෙනි වියේ පසු වූවාය.

1981 වසරේ දී ඇය ඔටුන්න හිමි චාල්ස් කුමරු හා විවාහ වූ අතර ලොව පුරා කෝටි 75 ජනතාව එම විවාහ මංගල්‍යය රූපවාහිනිය ඔස්සේ නැරඹූහ.

1995 වසරේ ඩයනා කුමරිය චාල්ස් කුමරුගේ වෙන්වීමෙන් පසු ඇය බීබීසී වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාව රූපවාහිනී ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.

රාජකීය සම්ප්‍රදාය බිඳ දමමින් ඇය එහිදී සිය ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු හෙළි කළාය.

කාචයේ ඉලක්කය

එමෙන්ම HIV ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් සහ බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ඇය සමාජ මෙහෙවරක යෙදුනාය.

එසේම ඇය නිතර කැමරා කාචයේ ඉලක්කයක් බවට පත්විණි.

ඩයනා කුමරියටම අනන්‍ය වූ කොණ්ඩා මෝස්තරය සහ ඇයගේ ඇඳුම් පැළඳුම් ඒවාටම අනන්‍ය වූ සංස්කෘතික සංකේත බවට පත් විය.

ඔටුන්න හිමි කුමරෙකු හා අතිනත ගැනීමට පෙර ඩයනා ස්පෙන්සර් නම් වූ ඇය මරණින් මතු ජන හදවත් තුළ කිරුළු පැලඳුවාය.

Text by – bbc

Recommended For You

About the Author: Editor